පළකල දිනය : Mon, Aug 12th, 2019

මේ මගේ තේරීම නොවේ. ඔබේ තේරීමයි

මේ දවස උදාවෙන එක වළක්වා ගන්නයි මේ ආණ්ඩුව පසුගිය කාලේම උත්සාහ කළේ. මේ මුළු රටේම ජනතාව අතරින් එක පවුලේ තුන් දෙනෙක් තෝරාගෙන ඒ අයට දේශපාලනයට එන්න බැරි වෙන විදිහට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. බොරු නඩු පවරලා, විශේෂ උසාවි පිහිටවලා, ඒත් බැරි වුණාම ඡුන්ද පවා කල් දැම්මේ ජනතාව ප‍්‍රාර්ථනා කරන මේ දවස එන එක වළක්වන්න. එහෙම කරලා ඔවුන් අපේ පෞද්ගලික නිදහස උදුරා ගත්තා. නමුත් අපි කවුරුවත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දුන්නේ නෑ. අපි අප‍්‍රමාණ නින්දා අපහාස වින්ද, හිරබත් කෑවා. නමුත් අපි රට නින්දාවට පත් කරන්න ඉඩ දුන්නේ නෑ. ඉඩ දෙන්නෙත් නැහැ

මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් වටින්නේ මගේ රටයි. ගෝඨා එය ඔබටත් එසේ විය යුතු යැයි හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මේ මාගේ තේරීම නොවෙයි. මා තේරුවත් නැතත් ඔහු කවුද කියල ඔබ තීරණය කරලා ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. දැන් මම ඔහු ඔබේ සහෝදරයා ලෙසට භාරකරන බවත් හෙතෙම පැවැසීය.

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඊයේ (11 දා) පස්වරුවේ පැවැති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රථම ජාතික මහ සමුළුව අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

අද මේ රටට ආදරය කරන ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටපු දවසක්. අද මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගලවාගන්න, මේ රට නැවත විනය ගරුක, නීති ගරුක රටක් බවට පත් කිරීමට අපි භාර ගන්නා දිනයයි.
එසේ සියලූම පුරවැසියන්ට ජාති, ආගම්, පක්ෂ, භේදවලින් තොරව එකට සිට වැඩ කළ හැකි පක්ෂයක් අපි බිහි කළා. ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පක්ෂය නිර්මාණය කිරීමටත් ගොඩ නැඟීමටත් මුල්වූ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සියලූම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය සමස්ත ජනතාව වෙනුවෙන් පුද කරනවා.

ඒ වාගේම 2015 ජනවාරි 08 වැනිදා ගෙදර ගිය මොහොතේ ඉඳන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එදා ඉඳන් තංගල්ලට ඇවිත් අපිත් එක්ක ඉන්න බවට සපථ කළා. අපිට මහා ධෛර්යයක් දුන්නා. ඒ ජනතාව වාගේම පක්ෂ ගණනාවක නායකයෝ ආණ්ඩුවේ සියලූම මර්දනයන්ට මුහුණ දිදී අපිත් එක්ක සිටියා. මර්දනයන්ට මුහුණ දුන්නා විතරක් නොවෙයි යූ.එන්.පී ආණ්ඩුව දුන්න මැති ඇමැතිකම් තානාන්තරවලට පයින් ගහල ජනතාව වෙනුවෙන් කැප වෙන්නත් ඒ අයට ධෛර්යය තිබුණා. ඒ කැප කිරීම කළ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලූ පක්ෂ නායකයන්ට මාගේ ආචාරය අද පුද කරනවා.

මේ දවස අපට නිකම්ම උදාවුණ දවසක් නෙවෙයි. මේ දවස අපි බොහොම මහන්සිවෙලා, කැපවෙලා, සටන් වැදිලා උදා කර ගත්ත දවසක්. මේ වෙනුවෙන් අපේ ගෞරවණීය මහා සංඝරත්නය හිරබත් කෑවා. ඉතිහාසයේ කවදාවත් නොඇසූ නින්දා අපහාසවලට ලක්වුණා. මේ රටේ රණවිරුවෝ දඟ ගෙවල්වල දුක් වින්දා. තමුන්නාන්සේලා උද්ඝෝෂණ කරලා, මහා ජන ගංඟා ඇවිත් කොළඹ වට කරලා කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාරවලට මුහුණ දුන්නා. ඒ සියල්ල මේ රට වෙනුවෙන් කළ උදාර කැප කිරීම්.

මේ දවස උදාවෙන එක වළක්වා ගන්නයි මේ ආණ්ඩුව පසුගිය කාලේම උත්සාහ කළේ. මේ මුළු රටේම ජනතාව අතරින් එක පවුලේ තුන් දෙනෙක් තෝරාගෙන ඒ අයට දේශපාලනයට එන්න බැරි වෙන විදිහට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. බොරු නඩු පවරලා, විශේෂ උසාවි පිහිටවලා, ඒත් බැරි වුණාම ඡුන්ද පවා කල් දැම්මේ ජනතාව ප‍්‍රාර්ථනා කරන මේ දවස එන එක වළක්වන්න. එහෙම කරලා ඔවුන් අපේ පෞද්ගලික නිදහස උදුරා ගත්තා. නමුත් අපි කවුරුවත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දුන්නේ නෑ. අපි අප‍්‍රමාණ නින්දා අපහාස වින්ද, හිරබත් කෑවා. නමුත් අපි රට නින්දාවට පත් කරන්න ඉඩ දුන්නේ නෑ. ඉඩ දෙන්නෙත් නැහැ.

අපිව ජාතිවාදීන්, ආගම්වාදීන්ගේ ගොඩට දාලා ලෝකෙන් කොන් කරන්න හැදුවා. මොන තරම් දරුණු ඛේදවාචක හමුවේවත් කිසිම ජාතියකට අපි නින්දා කළේ නෑ, අපහාස කළේ නෑ. නමුත් මේ ආණ්ඩුව මේ රටේ සියලූ ආගම්වලට ගැරහුවා. පිං පෙට්ටියටත් සීල් තිබ්බා. අස්ගිරියේ නායක හාමුදුරුවන්ගේ ඉඳන් කාදිනල්තුමා දක්වා ආගමික නායකයන්ට ගැරහුවා. කිසිම ආගමකට, ධර්මයකට මේ ආණ්ඩුව සැලකුවේ නෑ. ඒවාට ගරු කළෙත් නෑ.

මේ වෛරක්කාර දේශපාලනයට යා හැකි දුර දැන් තීන්දුවෙලා ඉවරයි. බොහොම දෙනෙක් හිතනවා අපිට කළ දේට අපි වෛර කරයි කියලා. නෑ. වෛර කරලා දිනා ගන්න දෙයක් මට නෑ.
එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිතුමාට සාහසිකයෙක් වෙඩි තිබ්බා. නමුත් එතුමා අන්තිම මොහොතෙත් කිව්වේ මට වෙඩි තියපු ඒ මෝඩ මනුස්සයාට සමාව දෙන්න කියලයි. අපි වටා එක්රොක්වෙලා තියෙන ජාතික බලවේගය හික්මවලා තියෙන්නේ ඒ දර්ශනයෙන්. මට මතකයි 1977 බලයට ආව යූඑන්පීය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළා වසර හතකට. වසර 17 ක් තිස්සේ හදිසි නීතිය, ඇඳිරි නීතිය, ප‍්‍රා, කහ බළල්ලූ, ටයර් සෑ නාඳුනන තුවක්කුකාරයෝ මැද්දෙයි අපි වැඩ කළේ.

ඒ වගේ තත්ත්වයක් යටතේ දේශපාලනය කරලා හැදුන වැඩුන අපිට මේවා දරාගන්න පුළුවන්. වෛරය ඉදිරියට ගෙනි යන්න අපි කවුරුවත් දේශපාලනයට එන්නේ නෑ. අපි බලය ගන්නේ අපේ වෛරක්කාරයෝ දිහා බලන්න නෙවෙයි. අපි බලන්නේ අපිට ආදරය කරන රටට ආදරය කරන මිනිස්සු දිහා.

අපි හැමදාම සටන් කළේ අධිරාජ්‍ය ගැතිවූ යූ.එන්.පි.යට එරෙහිව. මට මතකයි බණ්ඩාරනායක මහත්තයා, මගේ පියා ඞී. ඒ. රාජපක්ෂ ඇතුළු නායකයෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා එදා ප‍්‍රකාශයට පත් කළ ලියවිල්ල. ඒ ලියවිල්ලේ තිබුණේ විජාතික බලවේගවලට එරෙහිව වැඩ කරන්න එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග ඒකරාශි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හදනවා කියලයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ රටේ විජාතික බලවේගවලට එරෙහි ප‍්‍රගතිශීලී ජනතාව ඒකරාශී කළ ප‍්‍රධාන තැන. ඒ නිසා තමයි එදා බණ්ඩාරනායක මහත්තයා ත‍්‍රිකුණාමලයේ තිබුණ බි‍්‍රතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කළේ. බි‍්‍රතාන්‍යයත් එක්ක තිබුණ ආරක්ෂක ගිවිසුම අවලංගු කළේ.

බණ්ඩානායක මැතිනිය 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් ගෙනැත් මේ රටට පූර්ණ නිදහස ගෙනාවා. ඒ නිසා තමයි මේ රටේ ජාතික බලවේග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ පක්ෂය හැටියට සැලකුවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවපු දා ඉඳන් කළේ යූ.එන්.පි.යට එරෙහිව සටන් කරන එක.

ඒත් 2015 ජනාවාරි 9 වැනිදායින් පස්සේ ඉතිහාසයේ පළවැනි වතාවට මේ ජාතික බලවේග අන්ත අසරණ වුණා. යූ.ඇන්.පී විරෝධී ජාතික බලවේග ඒකරාශි කරපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිරිකොතේ හෙවණැල්ල වැටුණාම රටට ආදරය කරන ජාතික බලවේගවලට එතැන ඉන්න බැරිවුණා. 2015 අගෝස්තු මාසයේ ඡුන්දෙන් පස්සේ යූ.එන්.පී ආණ්ඩුව හැදුවේ යූ.ඇන්.පී විරෝධී අපේ ඡුන්දවලින්. යූ.ඇන්.පිය ගෙනෙන පනත් යූ.එන්.පි.යට විරුද්ධව දුන්න අපේ ඡුන්දවලින් සම්මත වුණා.

මේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණනකොට, මත්තල වී ගබඩා කරනකොට, මේ රටේ ජනතාවට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති මතක් වුණා. ආණ්ඩුව ජිනීවාවලට ගිහින් රටේ විරුවන්ට එරෙහිව, ගිවිසුම් අත්සන් කරනකොට ජනතාවට, අපිව මතක් වුණා. තෙල් පෝලිමේ ඉන්නකොට, කඳු නාය යනකොට, බුලත් විටටත් බදු ගහනකොට, මහ දවාලේ ඇවිත් පාතාලේ මිනී මරණකොට, අපි ලබාදුන් නිදහස මතක් වුණා. කොළඹ කුණු කඳු ගොඩගැහිලා ගඳ ගහන කොට අපිවම මතක් වුණා.

මේ ආණ්ඩුව පළාත් සභා, ප‍්‍රාදේශීය සභා ඡුන්ද කල් දමනකොට වෙලාවටත් කලින් ඡුන්දේ තියලා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් ගෙදර ගිය අපිව ජනතාවට මතක් වුණා. කොළඹ කොච්චිකෙඬ් ඉඳන් මඩකලපුවේ සියොන් දේවස්ථානය දක්වා බෝම්බ පිපිරෙනකොට අපි ගැන සියලූ ජනවර්ගවලට මතක් වුණා. ඒවායින් අසරණ වුණ ජනතාවට යූ.එන්.පී.යත් එක්ක එකතු වුණ ශ‍්‍රී ලංකා එකේ ඉන්න බෑ. ඒ ජනතාවට යන්න තැනක් නෑ. ඒ ජනතාව වෙනුවෙන් තමයි අපි පොහොට්ටුව හැදුවේ.

දැන් ආණ්ඩුවෙ කාලේ ඉවර වේගෙන යනවා. කාලය විසින් අපව නිර්දෝෂ කරලා ඉවරයි. ඒ වගේම අපිව රටට නිර්දේශ කරලත් ඉවරයි.

අපිට භාර ගන්න වෙන්නේ 2005 ටත් එහාට ගිය විනාශ වුණ රටක්. මේ රටේ පළමුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ජාතික ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් රටක් ගොඩනඟන්න බෑ. ජාතික ආරක්ෂාව බිඳ වැටුණ හැම රටක්ම අවුල් වුණා. 21 වැනිදා බෝම්බ ප‍්‍රහාරය වාගේම, ඇමෙරිකාවේ සැප්තැම්බර් 11 දා ප‍්‍රහාරයෙන් ඉගැන්වෙන පාඩම ඒකයි.

අපේ දරුවන්ව ඉස්කෝලෙ යවල අම්මලා ගේට්ටු මුර කරන්න යන්න වෙන කාලේ හමාරකරන්න ඕනෑ. දරුවෙක් මළොත් ලක්ෂයක් වන්දි දෙනව, ඉස්කෝලෙ යවන්න කියලා කියන වගකීම් විරහිත ප‍්‍රකාශ ඇහුන කාලේ අපි සමාප්ත කරන්න ඕන. වෙසක් පෝයට සිල් සමාදම් වෙන්න පන්සලට යන්න බය නැති රටක් අපි හදන්න ඕනෑ. තොරණක් ගහන්න, පෙරහැර බලන්න යන්න, දන්සලක් දේවස්ථානෙ යාච්ඤා මෙහෙයට යන්න පුළුවන් රටක් හදන්න ඕන. හින්දු භක්තිකයාට කෝවිලට යන්න පුළුවන් රටක් අපිට ඕන. හැම මුස්ලිම්වරයාම ත‍්‍රස්තවාදියෙක් කියලා හිතන්න වෙන්නෙ නැති රටක් අපිට ඕනෑ.

කොටින්ම ත‍්‍රස්තවාදීන් ගැන සෝදිසියෙන් ඉන්න කියලා ජනතාවට කියන්නෙ නැති, තුන්තිස් පැයේම ජාතික ආරක්ෂාව ගැන සෝදිසියෙන් ඉන්න මිනිහෙක් අපේ රටට ඕනෑ. අනාගතයේ එන අනතුර නවත්වා ගන්න පුළුවන් වෙන්නෙත් එයාටයි.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළාට පස්සේ අපට වෙනවා රට ආයෙත් ගොඩනඟන්න. ඒකට විනය, නීතිය අත්‍යවශ්‍යයි. ලෝකයේ ඇවිදින කවුරුත් අද කියන්නේ විනය, නීතිය නැතිව රට හදන්න බැරි බවයි. මන්නාරමෙන් තෙල් මතු වුණත් අහසින් රත්තරං වැස්ස වැටුණත් විනයක්, නීතියක් නැත්නම් ඒ රටට ඒවායින් වැඩක් ගන්න බෑ.

ඒ නීතිය මහ බැංකුව කොල්ල කාපු, ඒකට උදව් කරපු අයට සිංගප්පූරුවෙ සැප විඳින්නන්, ෆෙස් බුක් එකේ පෝස්ට් එකක් දැම්ම නම් එයා තුන්හාර මාසයක් හිරේ තියෙන එකක් වෙන්න බෑ. දිනපතා ආයුධ කල්ලි මහා දවාලේ මිනී මරලා යනවා නම් ඒ රටේ නීතියක් නෑ. තමන්ගේ පන්තියට, පක්ෂයට කියලා නීතිය නවන්නේ නැතිව කාටත් නීතිය සාධාරණව යොදවන්න හිතන ධෛර්යය තියෙන කෙනෙක් රටට ඕනෑ.
විනයක් ඇතිව හැදුන වැඩුන කෙනකුට විතරයි රට විනයානුකූල මාවතකට ගන්න පුළුවන් වෙන්නේ.

මේ රටේ ආණ්ඩු පිහිටෙව්වට පස්සේ කිසිම රජයක් කරන්න හීනෙකින්වත් හිතුවෙ නැති දැවැන්ත කාර්යයන් රාශියක් අපි කරගෙන ආවා. ලංකාවේ තිබුණ ලෝකෙ දරුණුම ත‍්‍රස්තවාදය පරාද කරන්න පුළුවන් කියලා 2005 කවුරුවත් හිතුවේ නෑ. තමන්ගෙ දරුවෙක්ට නිදහසේ යාපනේ ඉඳන් කෝච්චියෙන් කොළඹ එන්න ලැබෙයි කියලා දෙමළ ජනතාවම හිතුවෙ නෑ. වසර 28 ක් අනාථ නිවාසවල හිටපු මුස්ලිම් ජනතාව ආයෙත් ගමට යන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. දිනපතා පාන්දර කුණු ඉවත් කරලා කොළඹ ලෝකෙ පිරිසිදුම නගරයක් හදන්න පුළුවන් වෙයි කියලා කවුරුවත් හිතුවෙ නෑ. ලංකාවේ මේ ඓතිහාසික පරිවර්තනය කරන්න දායක වුණ කෙනකුට තමයි මේ රට හදන්න පුළුවන් කියන එක හිතන්න ධෛර්යය තියෙන්නේ.

කොටින්ම මේ මහ පොළොවේ තියෙන සම්පත් විතරක් නෙවෙයි, මහා සාගරයේ තියෙන සම්පත් ගොඩගන්න සාගර ආර්ථිකයක් හදන්න ඕනැයි කියලා හිතපු කෙනෙක් තමයි අපි ජනාධිපතිවරණයට ගෙනෙන්නේ. න්‍යායන් ටොන් ගණනකට වඩා රාත්තල් ගණනින් හෝ වැඩ කිරීමේ සුදුසුකමයි වටින්නේ. මම කරනවා කියලා කියන කෙනෙක් නෙවෙයි කරලා පෙන්නපු මිනිහෙක් අපි ගෙනෙන්නේ.

මේ රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, සාමය ගෙනෙන්න වෙලා. අවුරුදු 30 ක් තිස්සේ උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වැළලිලා තිබුණා. යු.එන්.පී ආණ්ඩුව යාපනේ පුස්තකාලෙට ගිනි තියලා සංවර්ධන සභා ඡුන්දෙ කොල්ල කෑවාට පස්සෙ ඒ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය නැති වුණා. ඒ සිද්ධියෙන් දශක ගණනාවකට පස්සේ පළවෙනි වතාවට අපියි උතුරේ පළාත් සභා ඡුන්දෙ තියන්න ඉඩ හදල දුන්නේ. ඒ ඡුන්දෙන් පස්සෙ තමයි ටී. එන්. එ් එකට උතුරට ගිහින් නිදහසේ ඡුන්දෙ කරන්න ලැබුණේ. දැන් උතුරේ පළාත් සභා විසුරුවලා මාස ගණනාවක් ගත වෙලා. උතුරේ ජනතාවට මහ ඇමැතිකම්, ඇමැතිකම් පළාත් සභා මන්ත‍්‍රීවරු දැන් නෑ.

උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උදුරාගෙන ඉවරයි. අපි උතුරේ ජනතාවට අහිමි වුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය යළි ලබා දෙන්න ඕනෑ. උතුරේ පළාත් පාලන ඡුන්දය තියන්න ඉඩ හදා දෙන්න ඕනෑ. උතුරු පළාතේ මහ ඇමැතිත් කියනවා එයාට උතුරට වැඩ කරන්න ඉඩක් ලැබුණෙ නැතිලූ. එහෙම නම් අපේ කාලේ කරගෙන ගිය උතුර නැගෙනහිර නඟා සිටුවීමේ වැඩපිළිවෙළ ආයෙත් කි‍්‍රයාත්මක කරන්න ඕනෑ.

උතුරේ ලක්ෂ ගණනක් අවතැන් වුණ ජනතාව යළි පදිංචි කළ ඔවුන්ව නිදහස් කර ගන්න දායක වුණ කෙනෙක් තමයි ඒ ජනතාවගේ නියම ප‍්‍රශ්න දන්නේ. ඒ විතරක් නෙවෙයි, වසර දහය, පහළොව අනාථ කඳවුරුවල හිටපු මුස්ලිම් ජනතාවට ආයෙත් නිදහසේ ගමට යන්න අවස්ථාව දීපු කෙනෙක් තමයි අපේ අපේක්ෂකයා විය යුත්තේ. දෙමළ මුස්ලිම් ජනතාවට අවංකව ගනුදෙනු කරන්න පුළුවන් ඒ අයව රවටන්නේ නැති කෙනෙක් තමයි අපේ ජනාධිපති අපේක්ෂකයා.

තරහා කාරයන්ගෙන් පළිගන්න නීතිය නවන කෙනෙක් ඔබින්නේ නෑ. ඒ වෙනුවෙන් විශේෂ අධිකරණ පිහිටුවලා නීතියේ ආධිපත්‍යය හෑල්ලූවට ලක්කරන කෙනෙක් රටට ඔබින්නේ නෑ. අපිට ඕන නීතියේ අධිපත්‍ය රකින කෙනෙක්. ඒ වගේම මේ රටේ කඩා වැටුණු කෘෂිකර්මාන්තය නංවන්න හිතන කෙනෙක්. කෘෂිකර්මාන්තයේ වැදගත්කම දන්න කෙනෙක් තමයි අපට ඕනෙ.

එදා උපාධිධාරීන්ට රැුකියා දීම ආණ්ඩුවේ යුතුකමක් හැටියට අපි සැලකුවේ. 1948 ඉඳන් 2005 වෙනතෙක් රාජ්‍ය සේවයේ හිටියේ ලක්ෂ හතයි. 2015 වෙනකොට අපි ලක්ෂ හත, ලක්ෂ පහළොව දක්වා වැඩි කළා.

ඒත් අද උපාධිධාරී තරුණයෝ සතියකට තුන් වතාවක් රස්සා දියව් කියලා පෙළපාලි ගිහින් කඳුළු ගෑස් කනවා. එදා රැුවටුණ තරුණ පිරිස දේශපාලනය කියන වචනයටත් වෛර කරනවා. අන්තිම බාල බොළඳ විදිහට මේ රටේ තරුණයන්ව රැුවැට්ටුවා. ෆ‍්‍රී වයි ෆයි දෙනවා කිව්වා. නමුත් ෆෝන් කාඞ් එකටත් සියයට පනහක බද්දක් පැනෙව්වා. ෆෙස්බුක් තහනම් කරන්නේ හරියට ගංජා විකුණන එක තහනම් කරනවා වාගේ. තරුණ තරුණියන්ට පුංචි කාර් සිහිනයක්් දුන්නා. දැන් ඒ සිහිනය ගැන රටට කියපු තරුණ තරුණියන්ට කාර් එකක තියා පාරේ බැහැල යන්නත් ලැජ්ජයි. ඊට කලින් බ්‍රේස්ලට් දෙනවා කිව්වා, චුවින්ගම් දෙනවා කිව්වා දැන් මේ රටේ තරුණයන්ට අගමැතිතුමා වගේ ඇඟ හදාගන්න ජිම් එක ගාණේ දෙනවලූ.

එදා ටයර් සෑ තිබුණු හන්දිවල මේ ජිම් ඉදිකළා නම් ජනතා විමුක්ති පෙරමුණ සතුටුවේවි. මේ ආණ්ඩුව තරුණයන් අත තිබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උදුරාගෙන වෛරය අතට දුන්නා. ඒ නිසා අපිට ඕන මේ තරුණයන් රවට්ටන්නේ නැති නායකයෙක්. 2020 නෙවෙයි 2030 දිහා බලන කෙනෙක්. එයා මේ රටේ දුප්පත්කම, හොරකම, ¥ෂණය, මත්ද්‍රව්‍ය ජාවාරාම කම්මුතු කරන කෙනෙක් වෙන්න ඕන.

තරුණයන්ට ඕනෑ ස්ථිරසාර රටක්, නොනවතින ජාතික වැඩපිළිවෙළක්. මේ රටේ බාල, මහලූ, තරුණ කවුරුත් ඉල්ලූවේ ඒ වගේ රටට ආදරේ ජනතාවට ආදරේ කෙනෙක්.
මගේ තේරීම නොවෙයි මට වැදගත් වන්නේ රටේ තේරීමයි, මට වැදගත් වන්නේ. මේ රටේ අනාගත තරුණ පරපුරේ දර්ශනය එක්ක යන්න හැකි තරුණයන්ගේ තේරීමයි.

මේ රටේ ජනතාව මේ සියලූ දේ ගැන හිතා බලලා අලූත් කෙනෙක් ගැන සෙව්වා. ජනතාවට ඕනෑ කළේ තමන්ගෙ ජීවිත ආරක්ෂා කරන, රටේ නීතිය, විනය රකින, ව්‍යාජ සංහිඳියාව නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින ජාතීන් අතරේ සැබෑ සුහදතාවය ගොඩනඟන, ප්‍රෝඩාවල් කරන්නේ නැති විනයකට අනුව ජීවිතය ගත කරන ජනතා පරමාධිපත්‍යයට ආචාර කරන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කයිවාරු නැති, ඒත් වීර්යයෙන් වැඩ කරන අවංක කෙනෙක්.

දරුවන්ට ආදරය කරන, හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහුගේ භාර්යාව ආර්යා මානසිකත්වයේ නොසිටින කෙනෙක් වෙන්න ඕනේ. මේ නිර්නායක හැදුවේ මම නොවෙයි. මේ රටේ ජනතාව. මේ රටේ ඉතිහාසය විසින් ඉල්ලා සිටින අනාගතය ගොඩනඟන මිනිහෙක් ගැන මම හිතුවා. මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි. මම තේරුවත් නැතත් ඔහු ඔබේ හදවත දිනාගෙන ඉවරයි.

ව්‍යවස්ථාවෙන් ඔහුව නතර කරන්න හැදුවා, හිරේ විලංගුවේ යවන්න හැදුවා. නමුත් මේ රටේ මහා සංඝරත්නයයි, ආගමික නායකයෝ, රටට ආදරේ ජනතාව, ඔහුව රැුක ගත්තා. ඔහුව ඔබේ සහෝදරයා හැටියට භාර කරනවා.

එ් ගෝඨාභයයි, ගෝඨාභය, මම මේ දේ කියන්න ඕනෑ. ගෝඨා කවදාවත් මාව රටේ ජනාධිපති කරන්න කියලා කාගෙන්වත් ඉල්ලූවේ නෑ. මගේ දෑත් ශක්තිමත් කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලලා අඬා වැටුණෙත් නෑ. ඔබ එන්නේ මේ ජනතාවගේ දෑත් ශක්තිමත් කරන්න. ඒ නිසා මට පළමුවත් වටින්නේ මගේ රට. දෙවනුවත්, තෙවනුවත් වටින්නේ මගේ රට. ගෝඨා, එය ඔබටත් එය එසේ විය යුතුයි.

Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button