පළකල දිනය : Tue, Aug 13th, 2019

නෝනයි මහත්තයයි හොඳම නළුවයි නිළියයි වෙයි

මෙවර සිග්නීස් සම්මාන උළෙලේදී වසරේ හොඳම ටෙලි නාට්‍ය රංගන ශිල්පියා ලෙස තුමිඳු දොඩන්තැන්නත්” වසරේ හොඳම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිය ලෙස කළනි දොඩන්තැන්නත් සම්මානයට පාත‍්‍ර වනවා’ මෙම මොහොත අපේ කලා ඉතිහාසයට තුමිඳු හා කලණි යන කලා ශිල්පීන් දෙපළට මෙන්ම ඔවුන්ගේ රසික රසිකාවියන්ටත් සුවිශේෂ අවස්ථාවක් වනවා’ එයට හේතුව කූඹියෝ හි ජෙහාන්ගේ චරිතය හා ඒකාත්මික වෙමින් තුමිඳු කළ කැපකිරීම මෙන්ම සහෝදරයා හි උත්තරා දේවී වූ කළණිගේ රංගන ශක්‍යතාවට නිසි වටිනාකමක් ලැබීම පමණක්ම නෙවෙයි” එකම සම්මාන උළෙලක එකම වසරක එකම වේදිකාවක අඹුසැමියන් දෙපළක් හොඳම නළුවා හා හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීමේ දුලබ අවස්ථාව මෙම සම්මාන රාත‍්‍රියෙන් පසු අපේ කලා ඉතිහාසයේ සනිටුහන් වීමයි’

තුමිඳු” සම්මානනීය රංගන ශිල්පියෙක් විදිහට ඔබ ලබන මෙම සම්මානය තවත් එක් සම්මානයක් පමණද?

නැහැ’ ඒක විශේෂයි’ ඒකට හේතුවෙන කාරණා කිහිපයක් තියෙනව’ එකක් මට නළුවෙක් විදිහට පසුගිය අවුරුදු කිහිපයේම පේ‍්‍රක්ෂකයන්ගේ විශාල ඇගයීමකට ලක්වීමේ අත්දැකීම තියෙනව’ හැබැයි විනිශ්චය මණ්ඩලයකින් ප‍්‍ර‍්‍රථම වතාවටයි හොඳම නළුවා කියන සම්මානය මට හම්බ වෙන්නෙ’ ජනප‍්‍රියම නළුවා” සහය නළුවා කියන සම්මාන මට ලැබිලා තිබුණත් මින්පෙර හොඳම නළුවා කියන සම්මානය මට හිමිවෙලා තිබුණෙ නැහැ’ ඒ තේරුමෙන් ගත්තම මෙම සම්මාන උළෙලේදි හොඳම නළුවා කියන වර්ග කිරීම යටතේ මගේ රංගනය ඇගයීමට ලක්වීම විශාල සතුටක් සහ එය මට විශේෂත්වයක් වෙනවා’

මෙම සම්මානය මෙන්ම සම්මාන උළෙලම ඔබට විශේෂ වීමට බලපාන කාරණය එය පමණද?

නැහැ’ සහෝදරයා ටෙලිනාට්‍යයේ උත්තරා දේවිගේ චරිතය නිරූපණය වෙනුවෙන් කළනිගේ කැපවීම මම දකිනවා’ එයා මුලූ ජීවිතයෙන්ම එම කාලයේ ඒ චරිතයත් එක්ක ගතකළා’ එයාගේ කැපවීම ඒ විදිහට ඇගයීමට ලක්වීම ගැන මට ගොඩක් සතුටුයි’ ඒ අනුව ගත්තහමත් මෙම සම්මාන උළෙල මට සුවිශේෂයි’

අනිත් පැත්තෙන් අපි දෙදෙනා එකම සම්මාන උළෙලක හොඳම නළුවා හා හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීම කියන දෙයිනුත් මෙම අවස්ථාව මට විශේෂයි’

ඒ වගේම මගේ අයියා හොඳම නිෂ්පාදකවරයා ලෙස මෙම සම්මාන උළෙලේදි සම්මානයට පාත‍්‍රවීමත් ලොකු සතුටක්’ මොකද පුංචි කාලෙ ඉඳන් අපි දෙන්නම කලාවට ආස වුවත් මම කලාව පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරල කලා ක්‍ෂේත‍්‍රයට පිවිසෙද්දි අයියා ගණිත අංශයෙන් අධ්‍යාපන කටයුතු කරල බැංකු ක්‍ෂේත‍්‍රයට ඇතුල් වුණා’ නමුත් අයියගෙ ආසාව තිබුණෙ කලාවට එන්න’ මෙම සම්මාන උළෙලෙදි අයියත් හොඳම නිෂ්පාදකවරයා ලෙස අගැයෙනව’ එයත් මට සතුටක්’

ඒ වගේම මමත් කළනිත් වැඩ කළ නිර්මාණ දෙකක් විදිහට කූඹියෝ ටෙලි නාට්‍යයට හා සහෝදරයා ටෙලි නාට්‍ය වලට සම්මාන ලැබීමත් මට ලොකු සතුටක්’ ඔය වගේ තේරුම් ගණනාවක් නිසා මට මේ අවස්ථාව විශේෂයි’

හොඳම නළුවාගේ සම්මානය රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිණියගේ රංගන දිවියට බරක් එක් කරනවද?

අපි චරිතයකට ගෙනෙන නිර්මාණාත්මක ප‍්‍රවේශය අගැයීමට ලක්වුණාම ඒ ගැන විශ්වාසයක් අපි තුළම නිර්මාණය වෙනව’ ඒ ධෛර්යය තමයි සම්මානයක් කියල කියන්නෙ’ මම හිතන්නෙ නැහැ ඒක බරක් හෝ වගකීමක් විදිහට ඔළුවට දැනන දෙයක් කියල’ හැබැයි ඒ ලැබෙන හයිය තමන් නැවත රඟපානකොට තමන් යම්කිසි තලයකට ඔසවා ගත්ත නම්” තමන්ගෙ රඟපෑම් හැකියාව” තමන්ගේ තලය ඒ මට්ටමටම පවත්වා ගෙන යෑමේ උත්සාහය” ඒ කියන්නෙ නිර්මාණයකට නිකම්ම පෙනීහිටින්නන් වාලේ පෙනී නොසිටීමට තමන්ව පොළඹවනව’

කූඹියෝ හා සහෝදරයාගෙන් පසුව මෙතෙක් ඔබ ටෙලි නාට්‍ය සඳහා දායකත්වය ලබාදී නැහැ නේද?

මම තෝරාබේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ’ ඉන්පසුව තවමත් මට සතුටු වෙන්න පුළුවන් පිටපත් සහ වැඩක් හම්බ වුණේ නැහැ’ ඒ නිසා ඒ සඳහා කාලය වෙන් කරන්න හිතුවෙ නැහැ’ හැබැයි සිනමාව ඇතුළෙ මට වැඩ කිහිපයක් කරන්න අවස්ථාව ලැබුණා’

ඒ නිර්මාණ මොනවද?

තරුණ නිර්මාණකරුවෙක් වන ඩිලංක රංගනාථගේ ‘ඩිංකා’ චිත‍්‍රපටය” ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප‍්‍රියගේ ‘යූ ටර්න්’ චිත‍්‍රපටයේ රඟපෑවා’ මේ වෙලාවේ ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් වලට සහභාගි වෙනව’

ඔබ රංගනයේදී සිනමාවට වැඩි ඉඩක් දෙන රංගන ශිල්පියෙක්ද?

සිනමා නිර්මාණවලදි නිර්මාණාත්මක විදිහට දායක වෙන්න පුළුවන් කලාත්මක ප‍්‍රවේශයක් සහිත තැන් වැඩියි’ ඒ නිසා වැය කරන කාලය ප‍්‍රයෝජනවත් විදිහට ගත කරන්න පුළුවන්’ ඒ නිසා පහුගිය කාලයේ ඔය නිර්මාණවලට දායක වූවා’ නමුත්

අපිට රූපවාහිනියද” සිනමාවද” වේදිකාවද කියලා වෙනසක් නැහැ’ හොඳ වැඩ කරන්න පුළුවන් තැන අපි වැඩ කරනව’

නැවත ඔබගේ” ලක්මාල් ධර්මරත්න හා ඔබ ගේ සහෝදරයාගේ නිර්මාණවල සුසංයෝගය රූපවාහිනියට හිමි නැතිද?

මෙහෙම එකක් තියෙනව’ අපි කූඹියෝ 2 නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව’ දැන්ම ඒ ගැන නිශ්චිත දේවල් කියන්න අමාරුයි’ මෙම සිනමා කෘතියෙ කටයුතුවලින්් පසුව එම ටෙලි නිර්මාණය අරන් එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ’

ඔබගේ ආරම්භය වන වේදිකාව දැන් ඔබට ඈතයිද?

මම රාජිත දිසානායකගේ ආදර වස්තුව නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සෙ වේදිකා නාට්‍යයකට දායක වුණෙ නැහැ’ මගේම වේදිකා නාට්‍යයක් නිර්මාණයට ආසාවක් තියෙනව’ මේ දවස්වල මම මගේ උසස් අධ්‍යාපන කටයුතුවල යෙදිලා ඉන්න නිසා ඒ කාර්ය ටික කාලයකට කල් දමලයි ඉන්නෙ’

කලාව ඇතුළෙ කොතරම් දේ කළත් ඔබ වෘත්තිය රංගන ශිල්පියෙක් නෙවෙයි නේද?

මම වෘත්තිය රංගන ශිල්පියෙක් නෙවෙයි’ මම වෘත්තිය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්’

මේ කාර්යබහුල දිවිය තුළ ඔබ ප‍්‍රමුඛතාව දෙන්නෙ කොතනටද?

මම වැඩිම කාලයක් වෙන් කරන්නෙ අපේ පවුල වෙනුවෙන්’ අපේ පුංචි පුතාට තවම අවුරුදු එකහමාරයි’ එයාගෙ ළමා කාලය අම්මා තාත්තා එක්ක ගතකරන්න ඕනෑ කියල මම විශ්වාස කරනව’ මොන දේ වුණත් මොන තත්ත්වයන් ඔස්සේ ගත කළත් අන්තිමට ගෙදර ගිහින් ගත කරන මොහොත තමයි ජීවිතය විඳින මොහොත’ ඒ මොහොත වෙනුවෙන් ජීවිතය ආරක්ෂා කරගන්න ඕනෑ’ මගේ පවුලේ අයත් එක්ක ගතකරන මොහොතට මම ගරුකරනවා’ හා මම හරිම කැමතියි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා හෝ සම්මානනීය නළුවාට වඩා ගෙදරදි ආදරණීය තාත්තා කෙනෙක් වෙන එක’ එ්ක මට ගොඩක් වටිනව’

තුමිඳු දෙයක් කියනව නම් එතන ඇත්තක් තියෙනව, තමන්ගේ පළමු ටෙලි නාට්‍යයෙන්ම ලැබෙන මේ විසල් අගැයීම ඔබ විඳගත්තේ කෙසේද?

මේ මම බලාපොරොත්තු වුණේ නැති සම්මානයක්’ මේක මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍ය වගේම මට හිමිවුණ පළවෙනි සම්මානය’ ඇත්තටම ඒක සතුටක් වගේම මට හරිම පුදුමයක් වුණා’

උත්තරාදේවිට ලැබුණ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර සමගින් මෙවන් අගැයීමක් ඔබට හිමිවිය යුතුයි යන සංඤාවක් හෝ තිබුණෙ නැද්ද?

උත්තරාදේවි කියන චරිතයට ආදරය කරපු විශාල පිරිසක් සිටියා’ ඒ අය ඒ චරිතය ගැන මාත් එක්ක කතාකරලා අදහස් බෙදාගෙන තිබුණා’ නමුත් මම කරපු පළවෙනි ටෙලි නාට්‍ය තමයි සහෝදරයා කියන්නෙ’ ඒකෙන් මට ගොඩක් අත්දැකීම් ලැබුණා’ ඉතින් එතනදි මේ වගේ විශේෂ අගැයීමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ’ මට ලොකු සතුටක් හා ගෞරවයක් දැනෙනව ඒ සම්බන්ධව’

ඔබට සමාන්තරව ඔබගේ සැමියා හොඳම නළුවා ලෙස ඒ වේදිකාවේම සම්මාන ලැබීම?

තුමිඳු සම්මානයක් ගන්න හැම වෙලාවෙම මම ඒ ගැන ගොඩක් සතුටු වෙන කෙනෙක්’ නමුත් මම කවදාවත් බලාපොරොත්තු වෙලා තිබුණෙ නැහැ තුමිඳු එක්ක එකට සම්මාන ගන්න ලැබෙයි කියලා’ මට ඒ සතුට කියා නිම කරන්න බැරි තරම්’ මගේ සැමියාට සම්මානයක් ලැබීම වගේම එයත් එක්ක මටත් සම්මානයක් ලැබීම පවුලක් විදිහට අපිට හරිම විශේෂයි’

මේ සම්මානය ඔබගේ රංගන දිවියට කළ බලපෑම කුමක්ද?

ඇත්තටම මම වෙනත් රැකියාවක් කරමින් තමයි රංගනයට දායක වෙන්නෙ’ මට ටිකක් අඩුවෙන් තමයි රංගන කටයුතු වලට දායක වෙන්න ඉඩ ලැබෙන්නෙ’ මට ගැළපෙන” මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම මට පුළුවන් විදිහට ඒ චරිතයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනව’ ඇත්තටම මම වගේ් ක්‍ෂේත‍්‍රයට අලුත් කෙනෙක්ට මේ සම්මානය හරිම බරයි’ මේක විශේෂ සම්මානයක්’ ඒ සම්මානයේ තියෙන ගෞරවයත් රකින්න ඕනෑ’

තවදුරටත් ඔබ සම්මානනීය තලයට ඔසවා තබන චරිතද ඉදිරියේ තොරගන්නෙ?

මම කලාවට ගොඩක් ආදරෙයි’ සම්මාන ගැන නම් බලාපොරොත්තුවෙන් මම නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ’ මේ සම්මානයත් මම බාලාපොරොත්තුවෙන් සිටි සම්මානයක් නෙවෙයි’ මම හැම වෙලාවෙම හිතන දේ තමයි කලාව කියන දේ අපි ගාව තියෙනව නම් අපි යහපත් මිනිසුන් බවට පත්වෙනවා කියලා’

ඔබ කලාව තුළින් උපයා ගැනීමට වඩාත් ප‍්‍රිය වන්නේ මොනවාද?

චිත‍්‍රකලා මනෝචිකිත්සකවරියක විදිහට වැඩ කරන එක ඇතුළෙත් මම ලබන්නෙ මානසික තෘප්තියක්’ මම චිත‍්‍ර අඳින්නේත් මගේ මානසික තෘප්තිය උදෙසා’ ඉතින් මම නිර්මාණයකට දායක වෙන්නෙත් මගේ මානසික තෘප්තිය සඳහායි’ අපි වගේ අලූත් කලාකරුවන්ට සම්මානය ලොකු අගැයීමක්’ ඉදිරියටත් මම නිර්මාණවලට දායක වෙලා ආත්ම තෘප්තියක් ලබන්න උත්සාහ කරනව’

රංගනයේදී මුදල්මය ගෙවීම ගැන ඔබ සැළකිළිමත් නැතිද?

නිර්මාණයකට රංගනයෙන් දායක වනවිට ඒකට නියමිත මුදලක් ලැබිය යුතුයි’ ඒ චරිතයට මහන්සිවෙන ප‍්‍රමාණයට ඒ සඳහා කරන කැපකිරීම අනුව නිසි මුදලක් ලැබිය යුතුයි කියලා මම හිතනව’

සම්මානයට පෙර සහෝදරයා ඔබට දායාද කළ දේ ගැන සඳහනක් කරනවා නම්?

සහෝදරයා කියන්නෙ මගේ ජීවිතයට අලූත් අත්දැකීමක් එක්කළ නිර්මාණයක්’ නිර්මාණය පටන් ගත්ත දවසේ පටන් ඉවර වෙන දවස වෙනතුරුම මට ගොඩක් අත්දැකීම් ලැබුණා’ මාත් එක්ක මෙම නිර්මාණයට දායක වුණේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් වන චමිලා අක්කා” චාන්දනී අක්කා” රොෂාන් අයියා” තුමිඳු” උදයන්ති අක්කා වැනි ප‍්‍රවීණයන්’ එයාලත් එක්ක එක ෆේ‍්‍රම් එකක වැඩ කරන්න ලැබීමම මම භාග්‍යයක් විදිහට හිතනව’

මෑත කාලයේ ඔබ දායක වූ නිර්මාණ පිළිබඳ තොරතුරු මොනවද?

වෛද්‍ය කපිල සුරිආරච්චිගෙ සිනේමා කියන චිත‍්‍රපටයට හා රොෂාන් රවින්ද්‍ර අයියගෙ තණමල්විල කොල්ලෙක් කියන ටෙලි නාට්‍යයකට දායක වුණා’

මේ වන විට මම නිර්මාණ හතරකටයි සම්බන්ධ වෙලා තියෙන්නෙ’ ඒ හැම එකක්ම වෙනස් චරිත’ ඒ හැම චරිතයකටම මම ආදරෙයි’ තනමල්විල කොල්ලෙක් එකේ මම කරන්නෙ මරියා කියන චරිතය’ සිනේමා එකේ මම වෙද්‍යවරියක්’

ක්‍ෂේත‍්‍රයේ අපූරු චරිතයක් වන තුමිඳු දොඩන්තැන්නගේ බිරිය ලෙස ඔබ ජීවිතයට අත්කරගෙන සිටින කාරණා මොනවද?

තුමිඳු කියන්නෙ මට ලොකු සහයෝගයක් දෙන සැමියෙක්’ රංගනයේදි විතරක් නෙවෙයි” ජීවිතයේ හැම තීරණයකදිම එයා මාත් එක්ක ඉන්නව’ මම නිර්මාණයකට දායක වෙද්දි පමණක් නෙවෙයි” ජීවිතයේ පුංචිම පුංචි කාරණාවකදි පවා අපි දෙන්නගෙ එකඟතාව අනුවයි මම තීරණ ගන්නෙ’ එයා රංගනයෙදි මගේ අඩුපාඩු පෙන්වල දෙනව’ තුමිඳු දෙයක් කියනව නම් එතන ඇත්තක් තියෙනව’ ඒක මම හරියට විශ්වාස කරනව’ ඒ නිසයි මම හැම දෙයක් ගැනම එයත් එක්ක කතාකරන්නෙ’ මට විශ්වාසයක් තියෙනව මගේ අම්මා තාත්තා හැරුණම මාව හොඳටම දන්න කෙනා තුමිඳු කියලා’

ධම්මිකා සුරංජි පතිරණ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button