පළකල දිනය : Fri, Aug 16th, 2019

මිතුරාගෙන් ලක්‍ෂ දහයක් කප්පම් ඉල්ලයි

මෙසේ අත්අඩංගුවට පත්වූයේ බණ්ඩාරගම, රයිගම ප‍්‍රදේශයේ පදිංචි 37 සහ 29 වියේ පසුවන දෙදෙනෙක් බව පොලිසිය පවසයි.

පැමිණිල්ල සිදුකළ තරුණයා සහ කප්පම්කරුවන් දෙදෙනා කලක් දැඩි මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් මීට මාස කිහිපයකට ප‍්‍රථම රහසිගතව සිදුකළ කාර්යයක් ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.

පැමිණිලිකාර තරුණයා තව දින කිහිපයකින් විවාහ වීමට සූදානම්ව සිට ඇති අතර මේ බව දැනගත් මිතුරන් දෙදෙනා ජංගම දුරකථනයේ අඩංගු දර්ශන විවාහයට පෙරදින බිරිඳගේ පවුලේ ඥාතීන් ඉදිරියේ පෙන්වන බවත්, නොඑසේ නම් රුපියල් ලක්‍ෂ 10 ක කප්පම් මුදලක් ලබාදෙන ලෙසත් පවසා ඇත. දැඩි භීතියට පත් විවාහ වීමට යෝජිත තරුණයා රුපියල් ලක්‍ෂ පහක් දක්වා කප්පම් මුදල අඩුකර ගෙන තිබේ. ඔහුගේ වෙනස්වීම් සහ කළකිරීම් ස්වභාවය පිළිබඳ අවබෝධ කරගත් සොහොයුරා මේ පිළිබඳ විමසීමෙන් පසු බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇත.

පසුව බණ්ඩාරගම පොලිසිය විසින් පානදුර පොලිස් අධිකාරී ඞී. එස්. වික‍්‍රමසිංහ මහතාට මේ බව දැනුම් දීමෙන් පසු පානදුර නීතිය බළගැන්වීමේ ඒකකය සහ බණ්ඩාරගම පොලිසිය කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පිඹුරු පත් සකස් කර තිබේ.

සැලසුමට අනුව ඊයේ (15 දා) පෙරවරුවේ කප්පම්කරුවන් කප්පම් මුදල ලබා ගැනීමට ති‍්‍රරෝද රථයකින් පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ති‍්‍රරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඞී. එස්. වික‍්‍රමසිංහ, සහකාර පොලිස් අධිකාරී ඞී. යූ. පී. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සී. ජයවර්ධන, උප පොලිස් පරීක්‍ෂක අසංක රාජකරුණා ඇතුඵ පොලිස් කණ්ඩායමක් වැටලීමට එක්වූහ.

බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button