පළකල දිනය : Sun, Aug 18th, 2019

නිළියගේ කතාව

හරි යන්නෙත්” වරදින්නෙත් මිනිසුන්ටය. එහෙත් මේ සා වැරැදීමක් නම් විශ්වාස කිරීමට ද අසීරු තරම්ය. කියන කතාව සහ පෙන්වන ලියැකියවිලිවලට අනුව ඇයගේ ජීවිතයට දෛවය නපුරු වී ඇති අපූරුව හොඳින්ම පැහැදිළි වේ. එමෙන්ම වැරදුණු ජීවිතයට සහනයක් ලබාගැනීමට ඇය කොතරම් වෙහෙසුණ ද ඒ සියල්ල ගඟට කැපූ ඉණි බවට පත් වී ඇත. අවසානයේ ඇය හදවත පාරවන කඳුළු කතාව ද සිරකරගෙන .දිවයින. කාර්යාලයට පැමිණ ඇත්තේ කිසිවකුගේ පිළිසරණක් නැති තැනය. ඒ ඇයගේ කතාව රටට කියන්නටය. මේ ඒ කතාවය.

දළුගමගේ ජයමිණි උදය ලංකා හැඩකාර කාන්තාවකි. උසේ තරමට පිරිපුන් ඇය තළෙලූය. සඳ මෙන් ආලෝකය විහිදිය හැකි වතමඬල අඳුරු වලා පටලයකින් වැසී ඇති අයුරු හොඳින්ම දිස් විය. වියළුණු දෙනෙත් නලියන අතරේ හදවත තුළ තෙරපෙන වේදනාව වචන කරන්නට ඇයගේ මුව පොපියන අයුරු ද මම දුටිමි.

.ජයමිණි කොහේ ඉඳල ද ආවේ…. මම කතාවට ප‍්‍රවේශයක් ගත්තෙමි.

..උපන් ගම එඬේරමුල්ල. දැන් අපි පදිංචි වෙලා ඉන්නෙ ඒකල… කුලී ගෙදරක….. ඇයගේ හඬ කනට නොඇසෙන තරම්ය හීනිය.

..කුලී ගෙදරක ඉන්නෙ ඇයි… ඔයාලටම කියලා ගෙයක් නැද්ද….. ඇය කිසිවක් නොකියා මා දෙස බලා සිටින්නීය. මගේ පැනයෙන් අයගේ තැවුණු සිත තවත් පෑරුණාදැයි මා ද තැවිණි.

..මම කල්පනා කළේ කතාව කොතැනින් පටන් ගන්නද කියලා….. ඇය ගමන් බෑගයක් විවෘත කර විශාල ලිපි ගොනුවක් මේසය මතින් තැබුවාය.

..මගේ වයස අවුරුදු තිස්එකයි. දරුවො දෙන්නෙක් ඉන්නවා. වැඩිමහල් පුතා. පොඩි දුව. දෙන්නම තාම ඉස්කෝලෙ යනවා. පුතාට වයස අවුරුදු එකොළහයි. දුවට නවයයි. දරුවො චූටි කාලෙ අපි හරි ලස්සනට ජීවත් වුණා. මහත්තයා කොම්පැණියක ස්ථිර රියැදුරෙක් විදිහට වැඩ කළා. මම රාගම ෆාමසියක වැඩ කළා. එහෙම වැඩ කරන ගමන් රූපලාවන්‍ය පාඨමාලාවක් කළා. ඊට පස්සෙ සැලොන් එකක් පටන් ගත්තා. මනාලියන් හැඩගැන්වීමත් කරගෙන ගියා. ඒ කාලෙ හැටියට මාසයකට රුපියල් ලක්‍ෂයක්” දෙකක් හම්බ කළා. ඊට අමතරව චිත‍්‍රපටවල රඟපෑවා. ‘එක ඉත්තක මල්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය මමයි. තවත් චිත‍්‍රපට රාශියක සාමාන්‍ය චරිත රඟපාලා තියෙනවා…..

මේසය මත තබා තිබුණු ලිපි ගොනුව අවුස්සමින් ඇයගේ තරුණ කාලයේ පින්තූරයක් මා වෙතට දිගු කළාය. පිපුණු මලක් සේ ඇයගේ මුහුණ අතිශයින් සුන්දර වූ සිනාවකින් විකසිතව තිබෙන අයුරු ඒ ඡායාරූපයෙන් පෙනිණි. ඡායාරූපයේ දිස් වන ඡවි වර්ණයෙන් දිලිහෙන ඇයගේ රූප සොබාව දුටු විට මගේ සිත තිගැස්සී ගියේ මා ඉදිරියේ සිටින්නේ වෙනත් කාන්තාවක් දෝ යන කුතුහලයෙනි. ඡායාරූපයේ සිටින ඇය එතරම් හැඩකාරය. සුන්දරය. පිරිපුන්ය.

‘ඔයාගේ රූපය දැන් ගොඩක් වෙනස් වෙලා නේ…. මගේ පැනයට ඇයගේ නෙතු අග සිනාවක් මතු විය. එහෙත් ඒ සිනාව උපන් හැටියේම මැකී ගියාය.

ඒ ලස්සනම තමයි මගේ ජීවිතයට හෙණ ගෙඩියක් වුණේ. දැන් මම ලෙඩෙක්. ඔලූවේ කටුවත් නෑ….. කන වැකෙන ඒ වචන සමඟ මගේ දෙනෙත් ඇයගේ හිස දෙසට ඉගිලිණි. කොණ්ඩය පිළිවෙළට පීරා පසුපසට ගැට ගසා තබුණු හිසේ බැලූ බැල්මට වෙනසක් නැත. එහෙත් හොඳින් විපරම් කර බලන විට හිසේ වම් පැත්ත ඇතුළට නෙරා ගොස් ඇති අයුරු හොඳින් දිස් විය. හිසේ හැඩය වෙනස් වී ඇති අයුරු ද පෙනිණි. ඇය හිස කරකවමින් අබාධිත තත්ත්වය පෙන්වන අතරේ නැවත ඇය පහත් ස්වරයෙන් හඬ අවදි කළාය.

සීදුවේදී පාර මාරුවෙනකොට කහඉර උඩදී මාවයි” තව ගෑනු කෙනෙක්වයි වාහනයක් හප්පගෙන ගියා. මගේ ඔලූව දෙබෑ වෙලා ඇස් දෙක එළියට පැනලා තිබිලා. එක අතක් උරහිසෙන්ම පැනලා. අනතුර වෙලා සතියකට විතර පස්සෙ තමයි සිහිය ආවේ. එතකොට මම හිටියේ කොළඹ ජාතික රෝහලෙ….. අතු” රිකිලි ලියලමින්” මල් බර වීගෙන පැමිණි ඇයගේ ජීවිතයේ වසන්ත කාලය විනාශ කර දමා ඇත්තේ නොහික්මුණු මග මරුවෙකි. 2013 අවුරුද්දේ අප‍්‍රියල් මාසෙ 11 වැනිදා සිංහල අලූත් අවුරුදු උදාවත් සමඟ සිදු වූ රිය අනතුරින් පසු නැවත ඇය පියවි සිහියට පැමිණ ඇත්තේ 2018 අවුරුද්දේය.

අනතුර වෙනකොටත් මම කසාද බැඳලා දරුවො දෙන්නත් හිටියා. මම කසාද බැන්දෙ අවුරුදු විසිඑකේදී. පේ‍්‍රම සම්බන්ධතාවකින්. එතකොට මම ගොඩක් ලස්සනයි. සුදුයි. අනතුරෙන් පස්සෙ මගේ රූපය සම්පූර්ණයෙන්ම විරූපී වුණා. එයා මාත් එක්ක හිටියේ මගෙ ලස්සනට. මම චිත‍්‍රපටවල රඟපාලා” සැලොන් කරලා හොඳට මුදල් හම්බ කරන නිසා. මම අවලස්සන වෙලා අබ්බගාත තත්ත්වයටම පත්වෙයි කියලා හිතලා එයා හීන්සීරුවේ මගෙන් ඈත් වෙලා ගියා. දැන් ඉන්න තැනක්වත් හොයාගන්න නෑ. ඉඩම් කඩම් සේරම විකුණලා ගමෙනුත් ගිහින්….. ඇය දිගු සුසුමක් හෙළන්නීය. ජයමිණිට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ වැඩකි. එහෙත් සැමියාගේ දෙබිඩි චරිතය තේරුම් ගැනීමට හැකිවීම ගැන ඇය සතුටු වන්නීය.

..මාව හප්පගෙන ගියෙත් හිතාමතාමයි. ඒ මනුස්සයා මාත් එක්ක යාළුවෙන්න ගොඩක් උත්සාහ කළා. ඒත් මට වඩා අවුරුදු විසිගාණක් වයසක කෙනෙක් එක්ක සම්බන්ධතාවක් ඇති කරගන්න මට පිස්සුවක් තිබුණෙ නෑ. ඒ තරහාට තමයි මාව යට කළේ. ඒත් එයා උසාවියට කියලා තියෙන්නෙ මාව අඳුරන්නෙ නෑ. විනාඩි දහයකට නින්ද ගිහින් තමයි මේ අනතුර වුණේ කියලා. කහඉර මැදදි අපිව යට කරගෙන යනකොට මගීන්ට පාර මාරු වෙන්න සිග්නල් ලයිටුත් වැටිලා තිබුණා. අපිට ඉදිරියෙන් පොලිසියේ තුන්දෙනෙකුත් හිටියා…..

මම ඇයගේ කතාව මැදට පැන්නෙමි. පළිගැනීමේ චේතනාවෙන් එම අනතුර සිදු වූයේද… නොදැන සිදු වූයේද… යන්න සෙවීම නීතියට භාර රාජකාරියකි. එහෙත් මහ මඟ නිදිමරගාතේ අපරීක්‍ෂාකාරීව රිය ධාවනය කරවමින් කාන්තාවන් දෙදෙනකු කහඉරක් මත යට කරගෙන යෑම බරපතල වරදකි. එම කාන්තාවන් දෙදෙනාගෙන් එක අයකු සුළු තුවාල ලබා සුවපත් වී සිටියද අනතුරට පත් ජයමිණි සදාකාලික රෝගියෙකි. දැන් ඇයගේ මොළ ගෙඩිය ආවරණය වී ඇත්තේ උපන් හිස් කබලෙන් නොව” කෘත‍්‍රීම හිස් කබලකිනි.

..වාහනේ හැපිලා මම පාර මැද වැටිලා ඉන්නකොට පොලිසියේ තුන්දෙනා මගේ බොඩි එක දිහා බලාගෙන සාකච්ඡා කරලා මිසක් රෝහලකට ගෙනියන්න උනන්දු වෙලා නෑ. එයාලා හිතලා තියෙන්නෙ මම එතැනම මැරිලා කියලා. පොලිස් නිලධාරීන් තුන්දෙනා හනිකයෙන් ක‍්‍රියාත්මක වෙලා මාව ඉස්පිරිතාලයකට ගෙනිච්චා නම් මට ඔලූ කටුවක් දාන්න වෙන්නෙ නෑ. දෙබෑ වෙච්ච ඔලූ කටුවම බද්ධ කරන්න තිබුණා කියලා වෛද්‍යවරු මට කිව්වා. පොලිස් නිලධාරීනුත් මට කළේ අසාධාරණ. දැන් මගේ ඔලූවට කෘත‍්‍රීම කට්ටක් දාල තියෙන්නෙ. අවුරුදු තුනක් නැඟිටගන්නවත් බැරිව හිටියා.

ඉස්පිරිතාලයෙන් ඇවිත් සිංහල වෙදකනුත් කළා. අන්තිමේ රාගම වෙදමහත්තයෙක් වෙදකම් කරලා තමයි මට නැවත ඇවිදින්න වරම් අරගෙන දුන්නෙ. ඒ වගේම අනතුර වෙලා අවුරුදු හයක් විතර යනකම් හරියට කතා කරන්න බැරි වුණා. තාම හරියට කන් ඇහෙන්නෙ නෑ. ඇස් පෙනීම දුර්වලයි. ඒත් මට වෙච්ච අපරාධයට දැන් අවුරුදු හතක් නඩු කියනවා තාම මාව හප්පගෙන ගිය මනුස්සයා රුපියලක වන්දියක් දීලා නෑ. දැන් ඒ මනුස්සයා නඩුවට එන්නෙත් නෑ…..

..මේ නඩුව ඉදිරියට ගෙනියන්න බෑ කියලා මගේ ලෝයර්ලූත් අයින් වුණා. දැන් මට අලූත් ලෝයර් කෙනක් හොයාගන්නත් වෙලා. ඒත් මම කල්පනා කරන්නෙ තවත් මේ නඩුව ඇදගෙන ගිහිල්ලා හැරමිටියෙන් යනකොට වන්දි ලැබිලත් වැඩක් නෑ. අසරණ මගේ දරුවො දෙන්නා ජීවත් කරවන්න දැන් තමයි මට සල්ලි ඕනෑ. මේ අනතුර වෙනකොට මා ළඟ රුපියල් ලක්‍ෂ තිහක් විතර තිබුණා. ලක්‍ෂ ගානක රත්තරං බඩු තිබුණා. බැංකු පොත්වල තිබුණු සල්ලි වියදම් වුණාට පස්සෙ” රත්තරං බඩු උගස් කරලා වියදම් කළා.

ඒ සේරම සල්ලි වියදම් වුණේ මගේ බෙහෙත් හේත්වලට. නඩු කියන්න. අන්තිමේ මම ගෙවීමේ ක‍්‍රමයට අරගෙන තිබුණු ඉඩම් කෑල්ලත් විකුණලා බෙහෙත්වලට වියදම් කළා. මම හිඟමනටම වැටුණා. මගේ අම්මා” සහෝදරයො මාවයි” දරුවො දෙන්නවයි බලන්නෙ නෑ. මට රස්සාවක් කරන්නත් බෑ. එක දිගට වැඩක් පලක් කෙරුවොත් ක්ලාන්තය දාලා වැටෙනවා. දැන් මම දරුවො දෙන්නා එක්ක තනි වෙලා. කර කියාගන්න දෙයක් නැතිව” ගෙවල් ගානෙ ගිහිල්ලා දුක කියලා කීයක් හරි ඉල්ලගෙන තමයි දරුවො දෙන්නා ජීවත් කරවන්නෙ…..

..ගොඩක් දස්වලට අපි තුන්දෙනා කන්නෙ දෙවේලයි. දරුවො දෙන්නත් නිතරම කියන්නෙ .අම්මාගේ බෙහෙත්වලට සල්ලි ඉතුරු කරගන්න. තියෙන විදිහට ජීවත් වෙමු. කියලයි. මගේ බෙහෙත්වලට ලොකු මුදලක් වියදම් වෙන එක ඇත්ත. තව උපරේෂන් තුනක් කරන්නත් තියෙනවා. හිටි හැටියේ ඔලූවට ඉඳිකටුවලින් අනිනවා වගේ රිදෙනවා. ඒ වේදනාව ඉවසන්න බෑ. වෛiවරු කියන්නෙ තත්ත්වයෙන් උසස් කෘත‍්‍රීම ඔලූ කට්ටක් දැම්මා නම් ඒ රෝගී තත්ත්වය ඇරිල යයි කියලා. එහෙම ඔලූ කට්ටක් දාන්න රුපියල් ලක්‍ෂ පනහක්” හැටක් වැය වෙනවා. එච්චර මුදල් දැන් මා ළඟ කොහෙන්ද…..

..දුක්මහන්සි වෙලා ඉගෙනගත්ත දෙයින් මම හොඳට සල්ලි හම්බ කළා. හොඳට කෑවා බිව්වා… ඇන්දා පැළඳුවා… දැන් මම අඳින්නෙ ගෙවල් ගානෙ ගිහිල්ලා එකතු කරගන්න ඇඳුම්. දරුවන්ට කන්න දෙන්න හිඟමනෙන් ලැබෙන සොච්චමෙන්. අනේ… මට මෙහේම වුණේ මොන කරුමයක් කළාට ද කියලා හිතාගන්නවත් බෑ. මිනිහෙකුට හොඳක් කළා මිසක් කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නම් කරලා නෑ. ඒත් මට ජීවිතය වැරැදුණා.

නැවත හදාගන්න බැරි විදිහටම වැරැදුණා….. මහා වර්ෂාවකට පසුව වක්කඩයකින් වතුර ගලන්නා සේ ඇයගේ මුවින් වචන ගලන්නීය. මෙපමණ කාලයක් හදවතේ සිරකරගෙන සිටි වේදනාව මොහොතකට හෝ සමනය වන්නට ඉඩ දී මම ඇයගේ දෙනෙත් පත්ල දෙස බලා සිටියෙමි. ඇයගේ මුවින් පිට වන වචන කෙතරම් දුක්බර වුවද ඒ දෙනෙත් පත්ලේ කඳුළක් උපදිනා සේයාවක් හෝ නැත. ඒ ඇයගේ දෙනෙත්වල උපදින්නට තවත් කඳුළු නැති නිසා විය හැකිය.

.හිඟ මං ඉල්ලගෙන හරි කාලා බීලා වැටිලා ඉන්න කියලා සජිත් පේ‍්‍රමදාස මහත්තයාගෙන් ගෙයක් ඉල්ල ගන්න එතුමාව මුණගැහෙන්න කිහිප දවසක් ගියා. අපේ ගමට ආපු වෙලාවෙත් සජිත් මහත්තයා මුණගැහෙන්න උත්සාහ කළා. ඒත් පේ‍්‍රමදාස මහත්තයාගේ සිකියුරිටි එකෙන් එක දවසක්වත් එතුමා ගාවට යන්න දුන්නෙ නෑ. සමහර අවස්ථාවල සිකියුරිටි එකේ ඉන්න නිලධාරිණියන් මාව සමච්චලයට ලක් කරලා හිනා වුණා. ඊට පස්සෙ මම නිවාස අමාත්‍යාංශයට ලියුම් දැම්මා. ඒවටත් කිසිම පිළිතුරක් ලැබුණේ නෑ. මම පුදුමාකාර පව්කාරියක්. යන” යන තැන ගල් වැහි….. ජයමිණිගේ දුක්ගැනවිල්ල මගේ හදවතට ද බර වැඩි විය. එහෙයින් ඇයගේ මුවින් ගලා යන කතාව මැදට පැන බලහත්කාරයෙන් මෙන් මගේ කතාව පටන් ගත්තෙමි.

තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ස්වාභාවික කුණාටුවක් කල්තියා හඳුනාගත හැකිය. එහෙත් ජීවිතවලට එන කුණාටු සිහිනෙන් හෝ නොපෙනෙන බව සැබෑය. ජයමිණිගේ ජීවිතයට පැමිණ ඇත්තේ කුණාටු රැල්ලකි. ඇයගේ ජීවිත බලාපොරොත්තු සියල්ල ගසාගෙන ගොස් හමාරය. දැන් ඇයට කිසිවකුගේ හව්හරණක් ද නැත. දරුවන් දෙදෙනාට කන්න අඳින්න දීමට සහ අධ්‍යාපනය ලබාදීමට” ඇයගේ බෙහෙත් සඳහා මාසයකට විශාල මුදලක් වැය වේ. නීති ආධාර ලබාගැනීමට පවා මුදල් නැත. එහෙයින් ඇයගේ නඩුවට පෙනී සිටීමට නීතිඥයෙක් ද නැත. එමෙන්ම ඇයට වැටී සිටීමට ඔවුන්ටම කියා අතු පැලක්වත් නැත.

හිසට බද්ධ කර ඇති කෘත‍්‍රීම ඔලූ කට්ට වෙනුවට තත්ත්වයෙන් උසස් කල්පවතින කෘත‍්‍රීම ඔලූ කට්ටක් බද්ධ කිරීමට ලක්‍ෂ පනහක්” හැටක් වැනි විශාල මුදලක් වැය වන බව ද වෛද්‍යවරුන් ඇයට පවසා ඇත. ඇය වැටී සිටින අසරණ තත්ත්වය හමුවේ එවැනි මුදලක් එකතු කරගැනීම දවල් සිහිනයක් වැනිය. එහෙත් යහමින් මුදල් ඇති සත් ගුණවත් මහත්ම” මහත්මීන්ට ඇයගේ ගැටලූවලට විසඳුම් ලබාදීම පුංචි දෙයකි. ඇයට ඔබගේ උපකාරය මිස ජීවත්වීමට වෙනත් මගක් නැත. එහෙයින් ලේ මස්වලින් ප‍්‍රති ප‍්‍රයෝජන බලාපොරොත්තු නොවන ඔබට 0764644765 මේ දුරකථන අංකයට ඇයට කතා කර දුක බෙදාගත හැකිය. එසේ නොමැති නම් ලංකා බැංකුව” ඇවරිවත්ත ශාඛාවේ විවෘත දළුගමගේ ජයමිණි උදයලංකා 82964816 බැංකු ගිණුම් අංකයට ඔබේ ආධාරය ඇය වෙනුවෙන් තැන්පත් කළ හැකිය.

පමා නොවන්න: මේ දරු පවුල ජීවත්කරවීමට ඔබට කළ හැකි උපරිමය කිරීමට මැලි නොවන්න.

තරංග රත්නවීර
ඡායාරූප සමන් රණවීර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button