පළකල දිනය : Sat, Aug 24th, 2019

අභිමානයේ දෑතින් දැයක් ලියකම් කරන සාඩම්බර යුවතියෝ

“අපි උඹට මෙච්චර ඉගැන්නුවේ මහන්න යන්නද?” එදා අම්මයි, තාත්තයි මට කෑ ගහපු හැටි අද වගේ මතකයි.

ඒත් මම ඒ කතා වලට කන් දුන්නේ නැහැ. මගේ අනාගතය හදා ගන්න ඕනේ මමමයි. මගේ යාළුවො රජයේ රැකියාවක් ලැබෙනකම් බලා ගෙන ඉද්දි මම ළඟම තිබුණු ඇඟලුම් කර්මාන්තශාලාවේ වැඩට ගියා.

“ගෙවල් වලට තවත් බරක් වෙන්න බැහැ දෙයියනේ.” මගේ හොඳම යාලුවා අවුරුදු 3කට පස්සේ හඬා වැටෙමින් කියද්දී මම ඇඟලුම් කර්මාන්තශාලාවේම විධායක තනතුරකටත් පත් වෙලා ඉවරයි.

ඔබට ඔබේම කියලා ජිවිතයක් ලැබිලා තියෙන්නේ එය ගොඩ නඟා ගැනීම වෙනුවෙනුයි. ජීවිතය ඉදිරියට රැගෙන යාමේ වගකීම තමන්ගේ අතට ගත්තම සීමා මායිම් වල හිර වෙන්න හොඳ නැහැ. ඉදිරියට යාමට පහසු තැනින් රිංගලා ඉදිරියට යන්නේ නැතිව, තමන්ව කවුරුන් හෝ ඉදිරියට රැගෙන යන තුරු බලා සිටීම නිෂ්ඵල දෙයක්. රැකියා වෙළඳපොළට ඇතුළු වීම ගොඩක් වැදගත් දෙයක්. ඒක තමයි ඔබේ මුල් පියවර. ඊට පස්සේ ඔබට යා හැකි දුර අනන්තයි.

ගොඩක් දෙනා ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට යන්න පොඩ්ඩක් පස්ස ගහනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ සමාජයේ ඇඟලුම් ක්ෂේත්‍රය ගැන තියෙන දුර්මත. මේ විදිහට දුර්මත පතුරුවන්නන් ඒ දේවල් කියන්නේ අත්දැකීමෙන් නෙවෙයි.

රටට, සමාජයට, පවුලට බරක් වෙවී, යැපෙන්නන් ලෙස ජීවත් වීම තමයි ඇත්තටම ලැජ්ජා විය යුතු කරුණ. එහෙම නැතුව ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවකට යාම නෙවේ. එය ආඩම්බර විය යුතු කරුණක්. හොඳ ආර්ථික ශක්තියක් තියෙන, කාගෙන්වත් යැපෙන්නේ නැති දියණියක් ඉන්න එක පවුලට ආභරණයක්.

විවාහක කාන්තාවකට පවා හොඳින්ම ගැලපෙන රැකියාවක් තමයි මේ. තමන්ගේ දෙමව්පියන්ට සලකන්නත් සැමියාගෙන් මුදල් ඉල්ලිය යුතු තත්වයට මේ යුවතියන් කවදාවත් පත් වෙන්නේ නැහැ. ඔවුන් පවුලට ශක්තියක්. ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නියැලෙන කාන්තාවක් ඉන්න නිවසක හැම බරම සැමියාගේ පිටට වැටෙන්නේ නැහැ. පවුල ඉදිරියට අරගෙන යන්න බිරිඳත් සම දායකත්වයක් සපයනවා. මේ වගේ පවුල් වල දරුවනුත් සතුටින්. ඔවුන්ට අඟහිඟ කම් නිසා දුක් විඳින්නට වෙන්නේ නැහැ. පාසල තුලදී සම වයස් මිතුරන් අතරේ පහසුකම් අඩු ගැටලුව නිසා කොන් වෙන්නට සිදු වෙන්නේ නැහැ.

ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන යුවතියන්ට ලැබෙන්නේ මුල්‍යමය ප්‍රතිලාභ විතරක් නෙවෙයි. ඔවුන්ගේ දැනුම, හැකියාවන් වර්ධනය කර ගන්න අවශ්‍ය පිටුවහලත් ඔවුන්ට ලැබෙනවා. තමන්ගේ උත්සාහය හා කැපවීම මත වේගයෙන් ඉහලට යෑමේ අවස්තාව ඔවුන්ට හිමි වෙනවා.

ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ක්ෂේත්‍ර සලකා බැලූ විට ඇඟලුම් ක්ෂේත්‍රයට ලැබෙන්නේ දෙවන ස්ථානයයි. ශ්‍රී ලංකාවේ අපනයන සලකා බැලූ විට ඇඟලුම් අපනයන ඉන් 45%ක ප්‍රමාණයක් ගන්නවා. ඉතින් ශ්‍රී ලංකාවේ වර්ධනයට මේ සා දායකත්වයක් සපයන සාඩම්බර ක්ෂේත්‍රයක රැකියාවකට සම්බන්ධ වෙන එක ඔබට ලැබෙන ලොකු අවස්තාවක්.

ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ ඔබට උපරිම මානසික තෘප්තිමත් භාවයකින් රැකියාවක නියැලෙන්න පුළුවන් ක්ෂේත්‍රයක්. වෙනත් රැකියා වලට සාපේක්ෂව විශාල පහසුකම් ගොන්නක් ඔබ වෙත සපයන්න මේ ක්ෂේත්‍රය සමත් වෙනවා. ඉහල වැටුපක්, නොමිලේ කෑම බීම සහ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න ඔවුන් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඔබේ ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවක් ඇති. කාටවත් අත නොපා ජිවත් වෙන ශක්තිමත් මුල්‍ය හැකියාවක් ඇති කාන්තාවක් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා ඇති.

එහෙනම් ඔබට සීමා මායිම් පනවන දේවල් ගැන හිතන්න යන්න එපා. ඔබේ අනාගතය ඔබේ අතින්ම ලියකම් කර ගැනීමේ වැඩ පිළිවෙලට අදම එකතු වෙන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button