පළකල දිනය : Sun, Aug 25th, 2019

අඟහරු වෙත ගිය යානයේ විද්‍යුත් පරිපථය හදපු ලංකාවේ වීරවරිය

මෙලනි නිලන්ති මහආරච්චි දරුවන් තිදෙනකුගෙන් යුක්ත පවුලේ බාලයා වූවාය. බාළකාලයේ පටන් ඇයට ලොකු සිහින දකින්නට කැමැත්තක් තිබුණ ද තමාගේ පවුලේ ආර්ථික වපසරිය දන්නා හෙයින් ඉංජිනේරු වෘත්තිය, ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණය වූ ලොකු සිහින හඹා යෑමේ අදහසක් හිතේ ගොඩ නැඟුනේ නැත. එහෙත් තමාගේ සහජ හැකියාවන්ගෙන් විපුල ඵල ප‍්‍රයෝජන ලබා ගැනීමටත් මේ දිරිය දියණිය අමතක කළේ නැත. විද්‍යාවට, ගණිතය වැනි විෂයන් වෙනුවෙන් උපන් හපන්කම් දැක් වූ නිසාම ඒ වෙනුවෙන් ලබා දුන් පන්ති ත්‍යාගය ඇයට කිසිදා වැරදුණේම නැත.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ මෙලනි උසස් අධ්‍යාපනය සඳහා බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් වූවාය.

ඉගෙනුමට සීමාවන් නැත විවාහයෙන් පසුව 2003 වසර අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියේ සැමියා රන්මාල් සහ බ්‍රෙහාන්, ෂනාරා දරුවන්ද සමගයි. එතැනදී ඇයගේ හිතට අලූත් සිහිනයක් මෝදු විය. මේ වන විට ඇය දෙදරු මවකි. ඒත් ඉගෙනුමට වයස හෝ මාතෘත්වය බාධාවක් නොවන බැව් ඇය මනා සේ පසක් කර ගෙන සිටියාය.

මේ නිසා ඇය බාල කාලයේ පටන්ම වැඩි කැමැත්තක් දක්වනු ලැබුයේ ගණිත විෂය වෙනුවෙන් නිසා ඉංජිනේරු ක්ෂේත‍්‍රය ඔස්සේ තව දුරටත් අධ්‍යාපනය ලැබීම සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ University of California, Los Angeles (UCLA) හෙන්රි සැමුවාලි ඉංජිනේරු පාසලට ඇතුළත් වූවාය.

සිහින ගොඩනඟන්නට කාලයක් වයසක් නැත වසර හතරකින් පසුව ඇය ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ගුවන්යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ වෘත්තිය ආරම්භ කළාය. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉවත් වන විටම ඇයගේ හිතේ තවත් සිහිනයක් නොදැනීම ගොඩනැඟී තිබුණි. සිහින ගොඩනඟා ගන්නට කාලයක, සීමාවක් හෝ දේශයක් නොමැති බැව් ඇය සඳහන් කරන්නේ මහත් වූ අභිමානයෙන්. මගේ සිහින අවදි වෙන්න පටන් ගත්තේ එවිටයි. මට ඉලක්කයක් ඇති වුණා.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ University of California, Los Angeles (UCLA) අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම මෙලනි ලොස් ඇන්ජලිස්හි නාසා ජෙට් ප‍්‍රවාලන විද්‍යාගාරයේ ශිෂ්‍ය පර්යේෂිකාවක් ලෙසින් සේවය කළ අතර ඇගේ මෙහෙවර නිසාම 2008 වසරේ කීර්තිමත් ඇමරිකානු කාන්තා ඉංජිනේරු සංගමයේ ගෞරවයට පාත‍්‍ර වූවාය. මෙම මෙහෙවර වෙනුවෙන් සම්මානයට පත් සෙසු සිසුවියන් වූයේ කැලිෆෝනියා, නෙවාඩා සහ ඇරිසෝනා යන තිදෙනාය. එහෙත් ඇගේ එක්වීම ශ‍්‍රි ලාංකීය අපට අභිමානයක් වන්නේ කාන්තා ඉංජිනේරු සංගමය විසින් ශ‍්‍රී ලංකාවට ගෞරවයක් හිමි වීමේ පළමු අවස්ථාව මෙය වීමයි.

උපාධියෙන් පසුව මෙලනි කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස්හි පිහිටි එල්-3 සන්නිවේදන ඉලෙක්ට්‍රෝන ටෙක්නොලොජිස් බෝයිං සමාගමේ සහ ෆෝචුන් 100 සමාගමේ යාන්ති‍්‍රක ඉංජිනේරුවරියක් ලෙසින් සම්බන්ධ වූවාය.

SpaceX ආයතනය

ඇමරිකානු රොකට් සමාගමක් ලෙස SpaceX අද සාර්ථක ගමනක් උදා කර ගෙන ඇත. SpaceX පිළිබඳව කථා කරනව විට නම් ඉලොන් මස්ක් (Elon Musk)පිළිබඳව සටහනක් නොතබන්නේ නම් එය බලවත් අකෘතඥතාවයකි. එලොන් මස්ක් උපතින් අපි‍්‍රකානු ජාතිකයෙක් වූයේය. අවුරුදු දහඅට සපිරෙත්ම හමුදා සේවයට අනිවාර්යෙන්ම සම්බන්ධ වීමේ නීතියක් පැවැති නිසා ඉලොන් මස්ක් හමුදා සේවයට සම්බන්ධ වුණත් සුදු ජාතිකයෙක් ලෙස හමුදාවේදී කළු ජාතිකයන්්ට හිරිහැර කිරීමේ ප‍්‍රතිපත්තිය ඔහු ඉවසුවේ නැත. මේ නිසා කැනඩාවට සංක‍්‍රමණය වුණ ඉලොන් මස්ක් 1992 වසරේදී ඇමරිකාවේ පදිංචිය ලබා ගත්තේය. නමුත් ඔහු පසුබැස්සේ නැත. නාසා ආයතනය සහ එහි සේවයේ නියුතු විද්‍යාඥයින් මෙන්ම විශ‍්‍රාම ලත් බුද්ධිමතුන්ගේ සම්මාදමෙන් තම දවල් හීනය හීනයක් නොවන තැනට කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.

2006 වසරේදී ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ මුල්ම දරුවා වූ ෆෝල්කන් 1 රොකට්ව සාර්ථක විය. නාසා ආයතනය විසින් 2008 වසරේදී මෙම ආයතනය වෙත ඩොලර් බිලියන 1. 6 ක මුදලක් ලබා දෙන ලදි. 2011 වසර වෙන විට අභ්‍යවකාශ නැවතුමේ සිටින ගගනගාමීන් වෙත ආහාරපාන සහ වෙනත් අවශ්‍යතාවයන් සපයන අභ්‍යවකාශ ෂටල් විශ‍්‍රාම ගැන්වීමේ වැඩසටහනට සමගාමිව විකල්ප විසඳුම් අවශ්‍යව තිබුණි. 2012 වසර වෙන විට ස්පේස් එක්ස් (SpaceX )සමාගමේ ෆැල්කන් නයින් (Falcon Nine) අධිබල රොකට්ටුව ඩ‍්‍රැගන් අභ්‍යවකාශයානය සමග අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ විය.

පෞද්ගලික සමාගමක් මගින් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යානයක් සාර්ථක ලෙසින් කක්ෂගත වීමක් ලෙසින් වූ සුවිශේෂී අවස්ථාවක් ලෙසින් මෙම සංසිද්ධිය ඉතිහාසයට එක්ව ඇත. ටෙස්ලා සමාගමේ විධායක නිලධාරි ‘‘එලොන් මස්ක් ’’ යටතේ SpaceX ආයතනය 2050 වන විට අඟහරු ග‍්‍රහයා මත මිනිස් ජනපදයක් පිහිටුවීමේ අරමුණ ඇතිව කටයුතු කරන ආයතනයකි. මෙලනි මහආරච්චි සඳහන් කරන අන්දමට මෙම ආයතනය විසින්ද අඟහරු ග‍්‍රහයා මුල් කර ගෙන නාසා ආයතනයට නොදෙවෙනි මෙහෙවරක් ඉටු කරනු ලැබේ.

ඇය Space x සමාගම සමග සම්බන්ධ වූවාය.

2010 වසරේදී මෙලනි Space x සමාගම සමග සම්බන්ධ වූවාය. ‘‘ෆැල්කන් 9 රොකට්ටුව සඳහා ‘‘ මර්ලින් ’’ එන්ජිම නිර්මාණය කළ කණ්ඩාමට ඇය එක්ව සිටින්නේ ගෙවුණ කාලය පුරා කැපවීමෙන් සහ නොපසුබට උත්සාහයෙන් අභියෝග ඉදිරියේ මුහුණ දුන් ශක්තිය නිසාය. 2012 වසරේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග එක් වෙලා ‘‘ ඩ‍්‍රැගන් ’’ යානාවේ විදුලි පරිපථ සියල්ල නිර්මාණය වූයේ ඇගෙන් ලද දායකත්වයෙන් බැව් මෙලනි සඳහන් කරයි. 2014 වසරේදී බෝයං සමාගම සමග සම්බන්ධ වෙලා බෝයිං 777 සහ 787 වැනි යානාවන්හි දායකත්වයටත් විශාල අනුග‍්‍රහයක් මෙලනිගෙන් ලැබී තිබේ.

ඇගේ හැකියාවන් නිසාම මාස තුනක් ගෙවෙත්ම විදුලි පරිපථ නිර්මාණ අංශයේ ප‍්‍රධානී ලෙසින් උසස්වීමක් ලබා ගැනීමට හැකියාව ලබා ගත්තාය. එහෙත් මේ තනතුර තුළ වූ වගකීම් සම්භාරය කාන්තාවක් ලෙසින් ලෙහෙසි පහසු වූයේ නැත. ඒ බැව් ඇය අතීතාවර්ජනය කරන්නේ මෙසේය.

විදුලි පරිපථ අංශයේ මට තිබුණ වගකීම් ලෙහෙසි පහසු නැහැ. මට රස්සාව දාලා ආපහු ගෙදර එන්න හිතුණා. ඒත් ඇය උත්සාහය අත්හැරියේ නැත. ඒ නිසාම මෙලනි මහආරච්චි ෆැල්කන් 9 අභ්‍යවකාශ යානයේ ගුවන් යානා නිර්මාණ ඉංජිනේරුවරියක ලෙසින් කටයුතු කිරීමේ භාග්‍යය ලබා ගත්තාය. බොහෝ අභ්‍යවකාශ කැප්සි්‍යුල නිර්මාණයට මම දායක වුණා. ඒවා දැනටත් අභ්‍යවකාශයේ තිබෙනවා. ඒ ගැන හිතන විටත් මට නිහතමානී ආඩම්බරයක් හිතේ ඇති වෙනවා.

හිතේ අධිෂ්ඨානයක් ඇති වීම.

මම නාසා ආයතනයට සම්බන්ධ වෙලා Mars Rover ව්‍යාපෘතියට එක් වෙනවාම කියලා අධිෂ්ඨානයක් හිතේ තිබුණා. සඳ තරණයෙන් පසුව මිනිසුන් එතැනින් නැවතුනේ නැහැ. ඔවුන්ගේ අවධානය අඟහරු වෙතට යොමු වෙන්න පටන් ගත්තා. මේ අතරවාරයේ මගේ ප‍්‍රධානියා මට පණිවිඩයක් එවලා තිබුණා LinkedIn හරහා මේ වෙනවිට මම බෝයිං සමාගමේ සේවය කරනවා. ඒ ආයතනයෙත් මට ව්‍යාපාති දෙක තුනක්ම පැවරිලා තිබුණා. ප‍්‍රධානියාගෙන් පණිවිඩය ලැබුණේ අලූත් රැකියා අවස්ථාවක් ගැන. නමුත් මට බෝයිං සමාගමේ කිසිම ගැටලූවක් තිබුණේ නැහැ ඉවත් වෙන්න. ආකර්ශනීය විදිහට වැටුප් ගෙව්වා. මගේ භාරයේ වගකීම් බොහොමයක් පැවරිලා තිබුණා. මම මේ ගැනත් සඳහන් කරලා අන්තිමට මෙහෙම කිව්වා.

මාව Mars Rover නිර්මාණ සැලසුම් අංශයට බඳවා ගන්නවා නම් විතරක් එන්න කැමැත්තක් තිබන බව කිව්වා. මට කැඳවීමක් ලැබුණා. එදා සම්මුඛ පරීක්ෂණයට දහ දෙනෙක් ඇවිත් හිටියා. පැය අටක කාලයක් සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණා. අන්තිමේදි මාව බඳවා ගන්න ඔවුන් එකඟ වුණා.

2015 වසරේ මම නාසා ආයතනයට සම්බන්ධ වුණා. නාසා ආයතනය අඟහරු ගැන බොහෝ අධ්‍යනය කරනවා. තවමත් අඟහරු මත මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද දන්නේ නැහැ. අතීතයේ සිටි බවටත් සාක්ෂි තහවුරුව නැහැ. මේ සියලූ සාක්ෂි අරගෙන පෘථිවි වැසියන්ට අනාගතයේදී අඟහරු සමග ගනුදෙනු කරන්නේ කොහොමද යන අධ්‍යනයි ‘Mars Rover’ ව්‍යාපෘතියේ අරමුණයි.

ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වුණොත් ?

දැන් ‘Mars Rove’r යානයේ විද්‍යුත් පරිපථ යාන්ති‍්‍රක (Electrical system mechanical layout) නිර්මාණය කිරීමේ කටයුත්ත පැවරුණා. මම අපේ ප‍්‍රධානියාට කිව්වා මේක හරිම සංකීර්ණ වැඩක්. තුන් හතර දෙනෙක් කරන්න ගියොත් නම් ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේ වෙන්න පුළුවනි. ඒ නිසා මම මේ කටයුත්ත තනියම කරන්නම් කියලා. ඔහු ඊට ඉඩ දන්නා.

රොකට් විද්‍යාඥයකු වීමට ඇයට තිබූ සිහිනය දැන් තෘප්ත වී අවසානය. ඊට ඇවැසි ලෙසින් වූ පරිසරයත් සූදානම් විය. ඇය නව නිර්මාණවලට සම්බන්ධ වූවාය. සංකල්ප පරීක්ෂා කිරීම සහ තෙරපුම් විෂමතා සමග කටයුතු කිරීම තුළින් මෙලනි ඉදිරියට ගියේ මේ සියලූ අභියෝගයන්ට මුහුණ දෙන ස්ථිරසාර අධිෂ්ඨානය සමගයි. විටෙක ඇය කාන්තාවක වීම මේ දැවැන්ත අභියෝග ඉදිරියේ ඇය පසුබට වූයේ නැත. පිරිමින් සමග උරිනුර ගැටී කටයුතු කිරීමටත් ඇවැසි පරිසරය මෙලනිට පවුල වෙතින් උරුම වී තිබුණි. ඇගේ පවුලේ එකම ගැහැනු දරුවා ලෙසින් පිරිමි සහෝදරයින් සමග හැදී වැඩුණ අතර විවාහයෙන් පසුවත් සැමියාගේ පවුලේ සිටියේ පිරිමි සහෝදරයන් පමණි.

මේ නිසා පිරිමින් සමග කටයුතු කිරීම ඇයට ආගන්තුක අත්දැකීමක් වූයේ නැත.

තවමත් රජකරන පුරුෂාධිපත්‍ය

එහෙත් ගුවන් තාක්ෂණ සහ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත‍්‍රයන්හි පුරුෂාධිපත්‍යයේ ඇති ඌනතාවයන් ගැන මෙලනි මහආරච්චි මෙසේ සඳහන් කරයි.

වර්තමානය වන විට ගුවන් තාක්ෂණ සහ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත‍්‍රයන්හි පුරුෂාධිපත්‍යය උපරිමයි. මගේ අදහස නම් එය වෙනස් කරන්න ඕන. සමහර පිරිමි හුඟක් වයසයි. නාසා ආයතනයේ හිටිය තරුණම සාමාජිකයා මම. හැමදාම රැස්වීම් තිබුණා. කාන්තාවෝ ඉතාම සීමිතයි. මගේ අංශයේ රැස්වීම්වලදි කාන්තාවකට හිටියේ මම විතරයි.

සමාජ සත්කාර්ය

මේ නිසා මම 2019 වසරේ නාසා ආයතනයෙන් අයින් වුණාට පසුව ගණිතය, තාක්ෂණය ඉගෙන ගැනීමට ගැහැනු ළමයි ධෛර්ය කිරීමටි iSTEM without Borders නමින් සංවිධානය පිහිටුවා ගත්තා.

අපේ ගැහැනු ළමයි ඉංජිනේරු විෂය, ගණිතය වැනි අංශවලින් ඉගෙන ගන්න අකමැතියි. ඒ තත්ත්වය අපේ ශ‍්‍රී ලංකාවට විතරක් නොවෙයි ලෝකයේ බොහොමයක් රටවලට පොදු තත්වයක්. නමුත් අපි එක රාමුවක කොටු වෙන් හොඳ නැහැ. මම කතෝලික ආගමික කාන්තාවක් වුණත් භක්ති ගීත තරගවලටත් සහභාගී වුණා. මම උපාධිය අවසානයේදී තේරුම් ගත් එකම දෙය තමයි ගැහැනු ළමයි රැස්වීම්වල කතා කරන්න කැමැති නැහැ. නමුත් පෞරුෂ වර්ධනය පාසල් කාලයේ පටන්ම ගොඩනඟා ගැනීම ඉතාම වැදගත්. මේ නිසාම ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති විසින් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ගැහැනු ළමයි සවිබල ගැන්වීමට ආරම්භ කළ ව්‍යාපෘතියේ උපදේශිකාවක් විදිහට මම කටයුතු කරනවා යැයි මෙලනි සඳහන් කර ඇත.

බීබීසි ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button