පළකල දිනය : Wed, Aug 28th, 2019

සුපිරි නළුවාගේ පොඩ්ඩි අලුත් පාරකින් කරලියට

ගිරිරාජ් කෞෂල්‍ය කියන්නෙ රටක් දන්න චරිතයක්. නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස පුංචි තිරයේ, රිදී තිරයේ, වේදිකාවේ, හපන්කම් දක්වන ගිරිරාජ් ලොකු දුවලා දෙන්නෙක්ගෙ තාත්තෙක්. මේ සුප්‍රකට තාත්තා ගෙ පොඩි දුවත් තාත්තාගේ අඩි පාරෙ යන්න පටන් ගත්තෙ අද ඊයෙ නෙමෙයි.

වැඩි සද්ද බද්ද නැතුව පොඩි කාලෙ ඉදන්ම කලාවට හිතවත් වුණු ඇය නමින් අමන්ද්‍යා උත්පලී. තාත්තා නළුවෙක් වුණාට පොඩි දෝණි දක්ෂ ගායනයට. අනුන්ගෙ ගීත ගායනා කරලා ජනප්‍රිය වෙන ගායක ගායිකාවන් අතරෙ අමන්ද්‍යා පුංචි කාලෙ ඉදන්ම තමන්ගෙම ගීත ගායනා කළා. ඇය මේ දිනවල අලුත් ගීතයක් එක්ක අලුත් බලාපොරොත්තුවක පැටලිලා. අපි ඇගෙන් ඇහුවෙ ඒ බලාපොරොත්තුව ගැන.

අලුත් ගීතයක්, අලුත් බලාපොරොත්තුවක්…. අපි කතා කරමු ඒ ගැන?
“මගේ ලෝකෙන්…..” ඒ තමයි මම මේ දවස්වල පැටලිලා ඉන්න අලුත්ම බලාපොරොත්තුව. සහන් රන්වල මගේ ගුරුවරයා පද රචනය හා තනු නිර්මාණය කරපු මේ ගීතය සංගීත සංයෝජනය කළේ පසන් ලියනගේ අයියා. මේ ගීතය මගේ හිතට හුඟාක් දැණුන ගීතයක්. ඒ වගේම මම පළමුවෙන්ම රූප රචනාවක් කළෙත් මේ ගීතයට.

ඒ තරමට “මගේ ලෝකෙන්” ගීතය ඔබේ ලෝකෙ ලොකු ඉඩක් අරගෙන?
ඔව්. ඒ වචන වලට මම හුඟාක් කැමතියි. මම මේ ගීතය තෝරා ගන්න හේතුවත් ඒ වචන වලට , අර්ථයට ඇති කැමැත්තමයි.

එච්චරටම හිතට දැනුණෙ අර්ථය ඔබේ ජීවිතයට සමීප නිසාද?
හුඟ දෙනෙක් ගෙ ජීවිතයට මේ ගීතය සමීපයි. කාර්ය බහුල අපිට නූතන තාක්ෂණයත් එක්ක අපේ සම්බන්ධතා මඟ ඇරෙන්න පුළුවන්. මේ ගීතයෙන් කියැවෙන්නෙ එහෙම මඟ ඇරුණු සබඳතාවක් ගැන.

ඔබේ ජීවිතයෙත් එහෙම මඟ ඇරීමක් සිද්ද වුණා ද?
නෑ.. තවම නෑ.. මගේ තාත්තා කොයිතරම් කාර්ය බහුල වුණත් ඔහුට අපිව මඟ ඇරුණෙ නෑ. දෙමාපිය දූදරු සබඳතාවය අපේ ජීවිත වල හරිම ශක්තිමත්. ඒත් අපි දකිනවා මේ සමාජයේ දෙමාපිය දූදරු, නෑ හිත මිතුරු, අඹු සැමි සබඳතා විවිධ හේතු නිසා ලිහිල් වෙලා යනවා.

කවුද ගීතයේ රූප රචනාව කළේ?
අතුල ජයසිංහ අයියා තමයි රූප රචනාව කළේ. කොරියෝ ග්‍රැෆි කළේ තුසිත ලක්නාත් අයියා. මේ දෙන්නත් එක්ක ලොකු කණ්ඩායමක් රූප රචනාව සාර්ථක කරගන්න උදව් කළා.

කවුද ගීතයේ බර පැන දැරුවේ?
සහන් සර් නම් ගුරු ගෝල සබඳතාවට මට ගීත රචනාව පරිත්‍යාග කළා. ඉතුරු බර පැන දරුවෙ තාත්තා.

තාම බර පැන දරන්න කෙනෙක් හොයා ගත්තෙ නැද්ද?
ම්…. ඉන්නවා…. ඒත් බර පැන දරන්න තරම් නීත්‍යානුකූල අයිතියක් නෑනේ.

දැන් කවදාද රසිකයන්ට මේ ගීතය රසවිඳින්න පුළුවන්.
වැඩි දවසක් බලන් ඉන්න වෙන්නෙ නෑ. සති අන්තයේම ඒ අවස්ථාව උදා වෙනවා.

අලුත් ගීතය ගැන සතුටින් ඉන්න වෙලාවෙ උදව්කරපු අය ගැන මතක් කරන්නත් ඇති?
මාලනී බුලත්සිංහල, එඩ්වඩ් ජයකොඩි, සහන් රන්වල ඇතුළු මට සංගීතය කියා දුන් ගුරුවරුන්ට. මෙ ගීතයේ පද රචනාව සහ තනුව සහන් රන්වල.. සංගීත සංයෝජනය පසන් ලියනගේ. මගේ අම්මට තාත්තාට අතුල, තුසිත ඇතුළු මියුසික වීඩියෝවට උදව් කරපු හැමෝටම මේ වෙලාවෙ අවංකව ස්තූතිවන්ත වෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button