පළකල දිනය : Mon, Sep 2nd, 2019

විස්සයි විස්සට ඉදිරියේදී නොහිතන අය එන්න පුළුවන්

2020 ලෝක කුසලාන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ඉලක්කය වෙනුවෙන් නවසීලන්තය සමග පැවැත්වෙන තරගාවලියේ සිට වැඩ අරඹන බව ශ‍්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි. ඊයේ (01 දා) දෙරට අතර පැවැති පළමු තරගය පල්ලකැලේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර ශ‍්‍රී ලංකාව වසරකට පසු විස්සයි විස්ස ජයක් අපේක්‍ෂාවෙන් තරගයට පිවිසියේය.

‘‘අපිට 2020 ලෝක කුසලාන තරගාවලියට කලින් තරග 19 ක් විතර තියෙනවා ක‍්‍රීඩා කරන්න. ලෝක කුසලානයේදී මම නායකයා වුණත් නැතත් මේ තරගාවලියේ සිට මම බලාපොරොත්තුවෙන්නෙ ඒ ඉලක්කය වෙනුවෙන් කණ්ඩායම සකස් කිරීමයි. ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ඉදිරියේදී හොඳ සංයුතියක් ලබාදෙන්න මා බලාපොරොත්තුවෙනවා.’’

දැනට සිටින ක‍්‍රීඩකයන් මෙන්ම කවුරුත් නොසිතන ක‍්‍රීඩකයන් ඉදිරියේදී විස්සයි විස්ස කණ්ඩායමට පැමිණිය හැකි බවද ලසිත් මාලිංග ඉඟි පළ කර සිටියේය.

‘‘සමහර විට කවුරුත් බලාපොරොත්තු නොවන ක‍්‍රීඩකයන් ඉදිරියට එන්න පුළුවන්. ආරම්භක පිතිකරුවන් මෙන්ම පළමු පිතිකරුවන් හතර දෙනා වෙනස් වෙන්න පුළුවන්. මොකද

පසුගිය කාලයේදී විස්සයි විස්ස ක‍්‍රීඩා කරපු ක‍්‍රීඩකයන්ට මොනවද කරන්න පුළුවන් සහ ඒ අය මොන තැනටද සුදුසු කියලා බලන්න ඕන. ඔවුන්ට සාධාරණ ස්ථානයක් ලබා දෙන්න තමයි බලන්නෙ. ළාබාල ක‍්‍රීඩකයන් කණ්ඩායමේ ඉන්නවා. නමුත් ඔවුන් ජාත්‍යන්තර ක‍්‍රීඩකයන්.’’

විස්සයි විස්ස ශේ‍්‍රණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාව පහළින් සිටියද එය අංකයක් බවත් අවශ්‍ය වන්නේ දක්ෂතාව දක්වා තරග ජය ගැනීම බවත් මාලිංග පවසයි.

‘‘අපි 2014 දී විස්සයි විස්ස ලෝක කුසලානට යන කොට ශ්‍රේණිගත කිරීම්වල හිටියේ අංක හයේ හෝ හතේ. නමුත් අපි එදා ලෝක ශූරතාව දිනා ගත්තා. ඒ වගේම 2019 ලෝක කුසලානට යන කොට අපි හිටියේ එක්දින ශ්‍රේණිගත කිරිම්වල අටවැනි ස්ථානයේ. නමුත් ලෝක ශූරතාව දිනා ගත්ත එංගලන්තය පවා අපි පරාජය කළා. ඒ නිසා ශ්‍රේණියේ ඉන්න තැන අපිට වැදගත් නැහැ. ශ්‍රේණිගත කිරීම් කියන්නෙ මට අංකයන් විතරයි. ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාව තුළ ඉන්නවා.’’

පීඩනය කළමනාකරණය කරන හැටි කණ්ඩායමේ සඟයන්ට ඉගැන්වීමටද මාලිංග සුදානමින් සිටියි.

‘‘ලෝකයේ ඕනෑම කණ්ඩායමකම පිතිකරුවන් හතක් සහ පන්දු යවන්නන් හතරක් ක‍්‍රීඩා කරනවා. නමුත් පිතිකරුවන් අතර පන්දුවාර හතරක් යවන්න පුළුවන් අය ඉන්න ඕනා. ක‍්‍රීඩකයන් හොඳට පුහුණු වුණාට තරගය මැදට ගිහිල්ල ඒ අය පීඩනයට ඔරොත්තු දෙන විදිහට දක්ෂතාව එළියට දාන්න ඕන. මට පුලූවන් විදිහිට මම දන්න අත්දැකීම් ඔවුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්පූර්ණ පීඩනය මම බාර ගන්නත් කැමැතියි.’’

ලොව විස්සයි විස්ස පන්දු යවන්නෙක් දවා ගත් පළමු කඩුලූ සියය දවා ගැනීම සඳහා මාලිංගට අවශ්‍ය වන්නේ තවත් කඩුලූ තුනක් පමණි.

‘‘මට තව කඩුලූ තුනක් දවා ගත්තොත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල පළමු කඩුලූ සියය දවාගත් පන්දු යවන්නා වෙනවා. මට කඩුලූ එකද කඩුලූ සියයද කියන එකට වඩා මට හැම කඩුල්ලක්ම වටිනවා. කඩුලූ තුනක් මට දවා ගන්න පුළුවන්නම් ඒ තරගය ජය ගන්න පුළුවන්. තරගය ජය ගන්න අපි දායකත්වය ලබාදෙන විට තත්ත්පරයක් ඇතුළත ගොඩක් දේවල් කරන්න වෙනවා. තරගයක් අනිත් පැත්තට හරවන්න අභියෝගය භාර ගන්න ඕන. මම නම් හැම තිස්සෙම පීඩනය කියන අභියෝගය භාර ගන්නවා. පීඩනයේදී ගන්න සමහර දේවල් හරි යයි. සමහර දේවල් වරදිනවා. නමුත් මම බලාපොරොත්තු වෙනවා කඩුලූ සියය පැත්තක තියලා තරගය දිනවන්න.’’

නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වීමට පෙර දිනයේදී ලසිත් මාලිංග මෙම අදහස් පළ කර සිටියේය.

Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button