පළකල දිනය : Tue, Sep 3rd, 2019

කලාව ජීවිතය කරගත් අනුරාධපුරයේ කලා ගුරුවරිය

කලාව යනු හුදෙක් මිනිසාගේ පියවි ඇස පිනවන නිර්මාණයකි. ඒ කලාවට ජීවය දෙන්න මව්බිමට රජ රටින් බිහිවූ ඇය කලා ගුරුවරයෙකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලත්තෑව ගම්මානයේ පදිංචි චාමිනී බුද්ධිකා වීරසූරිය කුඩා කල සිටම කලාවට ලැදි ඇයගෙ කතාව අපට මෙසේ පැවසීය.

මම පදිංචි වෙලා ඉන්නෙ අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ කලත්තෑව මහ විද්‍යාලයේ. පාසලේ හොදම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ලබාගෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුල්වෙන්න මට අවස්ථාව ලැබුණා.. එහිදි චිත්‍ර විෂය ඇතුලුව කලා විෂය ධාරාවන් තමයි උසස් පෙළට මම හැදෑරුවෙ.

2009 වසරෙ උසස් පෙළින් දිස්ත්‍රික් කුසලතාවය 8 ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වුණා. එහිදි ලලිත කලා විශේෂවේදී උපාධිය සම්පූර්ණ කළා. මේ වනවිට කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පශ්චාත් උපාධිය හදාරමින් ඉන්නවා. ඒ වගේම අනුරාධපුර නාච්චදූව සිංහල මහ විද්‍යාලයේ 6-13 ශේණි සදහා චිත්‍ර විශය භාර ගුරුවරියක ලෙසත් මම සේවය කරනවා.

විහාර චිත්‍ර , මූර්ති ,කැටයම් , මියුරල් , ice carving , vegetable carving , ගොක් නිර්මාණ ,ආලේඛ්‍ය චිත්‍ර , කාටුන් චිත්‍ර යන හැම අංශයකින්ම මම නිර්මාණකරණයේ යෙදෙනවා. මේ කලාව මට උපතින්ම ලැබුණු හැකියාවක්. පුංචි කාලෙ ඉදලම මන් කලාවට ගොඩක් ආස කළා. මම වැඩිපුරම කැමති විහාර සිතුවම්කරණයට.දැනට ලංකාවේ ප්‍රදේශ කීපයක විහාරස්ථානවල මම බිතු සිතුවම් නිර්මාණ කරලා තියෙනවා. සීගිරිය හා පොළොන්නරු තිවංක පිළිමගෙයි සිතුවම් ආභාශය කරගෙන විහාර චිත්‍ර අදින්න ගොඩක්ම කැමතියි.

ඒ වගේම තෙල් සායම් මාධ්‍යයෙන් මගේ ආත්මීය ප්‍රකාශනයන් කැන්වසයට ගේන්නත් රටේ සමාජ දේශපාලනික ගැටලු පිළිබදව ජන විඥානය අවධිකරවන නිර්මාණ වලට යොමු වෙන්නත් කැමතියි.

නමුත් අමුද්‍රව්‍ය සහ උපකරණ වල මිල ගණන් ඉතාම ඉහළ මට්ටමක පවතින නිසා සාමාන්‍ය පන්තියේ කෙනෙක් විදිහට මගේ ගමන් මග ඇහිරිලා තියෙනවා. වර්තමානයේ අපේ රටේ චිත්‍ර කලාව පවතින්නෙ ඉතාමත් ඛේදනීය තත්වයක.ඒකට බලපාන හේතු සාධක කිහිපයක්ම තියෙනව.එක් කරණයක් තමයි චිත්‍ර කලාවට ඉතාම සීමිත රසික ප්‍රමාණයක් තමයි ඉන්නෙ.

ඒකට හේතුව වත්මන් ලාංකීය චිත්‍ර කලාව පොදු ජන ජීවිතය සමග බද්ධවීමෙ ප්‍රමාණය අඩුයි. යටත් විජිත සමයෙ ඇතිවුණ විවිධ සමාජ හා දේශපාලනික අර්බුද වලට ඒ යුගයේ චිත්‍ර ශිල්පීන් ප්‍රතිචාර දැක්වුවා. නමුත් වර්තමානයේ එවැනි දැඩි බලපෑම් කරන ශිලීන් අවමයි. අපි දන්නව යටත්විජිත යුගයෙ ගෙවල් වල එල්ලල තිබුණ බ්‍රිතාන්‍ය රැජිනගෙ පින්තූර වෙනුවට බුදු රූප සීවලී රූප ගෙවල් වල එල්ලන්න සැලැස්සුවෙ එම්. සාර්ලිස් ශිල්පියා.

ඒ වකවානුවෙ බෞද්ධ සිතුවම් කලාවට නව ජීවයක් දුන්න ඔහු. ඒ වගේම මහනුවර යුගයට අයත් දෙගල්දොරුව විහාරයේ ” මාර පරාජය ” සිතුවම ගැනත් කතා කරන්න පුළුවන් . ඒ ශිල්පියා මාරයන්ගෙ අතට තුවක්කු දීල තියෙනව. එම වකවානුවෙ අපේ මිනිස්සු තුවක්කු දැක්කෙ අපේ රට උදුරගන්න ආපු විදේශිකයන් ලග තියෙද්දි. ඉතින් චිත්‍ර ශිල්පියා සමකාලීන සමාජයට ගැළපෙන විදිහට මාරයා සිතුවම් කරල මිනිසුන්ට සතුරව අදුන්වල දුන්නා.නමුත් අද සමාජෙ එහෙම ශිල්පීන් ගොඩක් අඩුයි.

ඒකට හේතුව සාමාන්‍ය පන්තියේ ශිල්පීන් ට සිතුවම්කරණයේ යෙදීමට ඇති අපහසුව.චිත්‍ර උපකරණ සහ අමුද්‍රව්‍ය ගොඩක් මිල අධිකයි. බොහෝ දෙනෙකුට එහි වියදම දැරීම අපහසුයි . ඒ නිසාම චිත්‍රයක මිලත් ඉතාම ඉහළ අගයක් ගන්නවා. ඉතිං එහෙම වුනාම සාමාන්‍ය පන්තියේ පුද්ගලයෙක්ට චිත්‍රයක් මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන් නෑ. මේ නිසාම චිත්‍ර ශිල්පීන් වාණිජ අරමුණු කරා ඇදෙනව. චිත්‍ර කලාවට පමණක් නෙවෙයි .. අනෙක් සෑම කලාවකම පාහෙ අද වන විට දකින්න ලැබෙන්නෙ මේ තත්වය.

කලාකරුවන්ට රජයෙන් නිසි අනුග්‍රහයක් ලැබෙනවා නම් මේ තත්වය මීට වඩා යහපත් ලෙස වෙනස් වෙන්න තිබුණා . සහන මිලට අමුද්‍රව්‍ය ගෙන්වන ක්‍රමයක්, වෙළෙඳපොළ ඉල්ලුමක් හදාගන්නට හැකි තත්වයක් ගොඩනැගුව නම් කලාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න තිබුණා. ජාත්‍යන්තරය තුල කලාකරුවෙක්ට තිබෙන ගෞරවය , පිළිගැනීම අපේ රට තුල දකින්න නැත්තෙත් මේ වගෙ කාරණා නිසා චිත්‍ර කලාව මේ වන විටත් පියවි ඇස ඉක්මවා ගියපු කලාවක්. ඉතිං ඒ ඉක්මවීම තුල තවත් ශයිලීන් සොයාගෙන යන්න මම උත්සහ කරනවා.

එකම කලාවක් තුලට හෝ එකම ශයිලියක් තුලට කොටු වෙන්න මන් කැමති නෑ. නමුත් මා විසින් සොයා ගත් නව ශයිලියක් චිත්‍ර කලාවට දායාද කරන්නට ආශාවක් තියෙනවා.
ඒ වගේම මගෙ රටට, ජාතියට සහ විශේෂයෙන් ම සම්බුද්ධ ශාසනයට මේ කලාව හරහා සේවයක් කිරීම තමයි මගේ එකම අභිප්‍රාය.

උපුටා ගැනීම – ඩිමේෂ් අධිකාරී

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button