පළකල දිනය : Tue, Sep 3rd, 2019

බුවිනිගේ වෙඩින් එකේ විස්තරේ හෙළිවෙයි

ජනප‍්‍රිය යොවුන් නිළියක හා නිවේදිකාවක වන බුවිනි චාපා මේ දිනවල ඇගේ පේ‍්‍රම කතාවේ අභිශේකයට සුදානම් වෙනව. යුවතියක පතිනියක වන සුබ මොහොත ගැන සුන්දර ප‍්‍රාර්ථනාවන් සිත්හි පුරවාගෙන බුවිනි ආදර හැන්දෑවට ආදරය පාකර එව්වෙ මෙලෙසිනුයි.

බුවිනි මේ දවස්වල හරිම කාර්යබහුලයි නේද?

ම්… ම්…. මම මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ වැඩ මුකුත්ම කරන්නෙ නැහැ. ලබන මාසෙ මගේ විවාහ මංගල උත්සවය යෙදිල තියෙන්නෙ. මේ දවස්වල ඒකට සූදානම් වෙනව.

ඔහු කව්ද?

එයා කසුන් දේවින්ද. වාහන සම්බන්ධ ව්‍යාපාර කරන්නෙ. එයාලගෙ මුල් ගම මැදිරිගිරිය. එයාගෙ ව්‍යාපාර තියෙන්නෙ කොළඹ. කසුනුයි එයාගෙ පවුලේ අයයි පදිංචි වෙලා ඉන්නෙ කොළඹ.

එහෙනම් බුවිනිගේත් කසුන්ගේත් දිවියේ සුන්දර මොහොත ගැන විස්තර ඔබේ රසිකයන්ට පවසන්න?

සැප්තැම්බර් මාසයෙ මැද භාගයේයි අපේ විවාහ උත්සවය පැවැත්වෙන්නෙ. කොළඹ ප‍්‍රධාන හෝටලයක පවත්වන්න සූදානම් කරල තියෙන මේ අවස්ථාවට කලාකරුවො රාශියක් සහභාගි වෙන්න නියමිතයි. මොකද මම මගේ හිතවත් කලාකරුවන් හැමෝටම වගේ මේ උත්සවයට ඇරයුම් කරල තියෙනව. මංගල දිනයේ මගේ යෙහෙළියන් විදිහට ඉන්නෙ යොවුන් නිළියන් හතර දෙනෙක් වන කාවින්ද්‍යා, එමාෂා, ශෙහානි සහ සචිනි. මගේ මංගල දිනයේ

හැඩගැන්වීම් රුචිරා ලියනගමගේ අතිනුයි සිදුවෙන්නෙ. මම මොඩර්න් උඩරට මනාළියක් විදිහට හැඩ වෙන්න සැළසුම් කරල තියෙනව. තව ගොයින්අවේ ඇඳුමකුත් සැළසුම් කරලයි තියෙන්නෙ. හැම යුවතියක් වගේම ලස්සන විවාහ මංගල උත්සවයක් ගන්න තමයි මගෙත් සිහිනය.

කසුන් හා බුවිනිගේ ආදර කතාවට අයිති සුන්දරම තෑග්ග මොකක්ද?

එයා මට තෑගි ගොඩක් ගෙනත් දීලා තියෙනව. මේ දේ විශේ්ෂයි කියල නැහැ. එයා මට ගෙනත් දීපු හැම දෙයක්ම මම ආදරයෙන් බාරගත්තා. එයා නම් ගොඩක් ආස සුවඳ විලවුන් වලට. එයා ළඟ තියෙනව සුවඳ විලවුන් එකතුවක්. එයා කැමතියි ඒක තව තවත් වැඩිකර ගන්න. ඉතිං මම අලූත් විලවුන් වර්ගයක් වෙළෙඳ පොළට ආවොත් ඒක එයාට අරන් දෙනව.

මේ ආදර කතාවට අඩිතාලම වැටෙන්නෙ කොහොමද?

ආදර කතාව පටන් ගත්තෙ මීට අවුරුදු දෙකකට කලින් එතකොට මම මගේ ජනප‍්‍රියම තලයේ හිටියෙ. එයා අපේ ගෙවල් ළඟම කෙනෙක්. හැබැයි අපි දන්නෙ හඳුනන්නෙ නැහැ. කාලෙකට කලින් එයා මාව පාරේ යද්දි දැකල තියෙනව. එයා මගේ ෆේස්බුක් එකට මිතුරු ඇරයුමක් එවල තිබුණා. ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ එයා අපේ ගෙවල් ළඟම කෙනෙක් කියලා. ඊට මාස හතරක් වගේ පොඩි කාලයකදි අපි විවාහ ගිවිස ගත්තා.

ඉක්මන් තීරණයක් නේද අරන් තියෙන්නෙ?

ඒක ගොඩක් හිතල මතල ගන්න ඕන තීරණයක් කියල මම දන්නව. අපි හඳුනගෙන ටික කාලයක් වුණත් මගේ ජීවිතය ළඟින් ඉන්න එයා වගේ කෙනෙක් ගැළපෙනව කියල හිතන්න ගොඩක් කාරණා තිබුණා.

පළවෙනිම කාරණය එයා ඇවිත් අපේ ගෙදරින් කැමැත්ත විමසුවා. ඊට පස්සෙ එයා එයාගෙ අම්මයි තාත්තයි එක්ක අපේ ගෙදර ආවා. ඒ වෙලාවෙ එයාගෙ පවුලේ සමගිය දකිද්දි මට දැනුණා එයාගෙ පවුල හරිම ආදර්ශවත් පවුලක් කියල. එයාලගෙ පවුල දිහා බලල තමයි මම තීරණය කළේ එයාගේ අම්මයි තාත්තයි ඉන්න ආදරණීය බව එයා ළඟත් ඇති කියලා. ඇත්තටම එයා ඒ වගේ ආදරණීය කෙනෙක් තමයි.

බුවිනි ඔහුගෙන් පතන්නෙ මොනවගේ ආදරයක්ද?

කසුන් මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්. එ් නිසා අපි හිතන පතන විදිහත් සමානයි. මම හෙව්වෙ මට ගොඩක් ආදරය කරන, මට ගොඩක් ආරක්ෂාව දෙන, මං ගැන ගොඩක් සළකන කෙනෙක්වයි. අපි හඳුනාගෙන ඇසුරු කරද්දි මට තේරුම් ගියා එයා මං ගැන කොච්චර හොයනව බලනවද කියල. මම එයා නැතිව කොහෙවත් යන්නෙ නැහැ. එයත් එහෙමයි. මොන දේ කළත් අපි දෙන්න එකට ඉන්නෙ. මට ඕන වුණේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. එයා ළඟ ඒ සැනසීම තියෙනව.

මේ ආදරය වෙනුවෙන්ද රංගනයෙන් දුරස් වෙන්නෙ?

විවාහයයි රංගනයයි කියන දෙකම සමබරව එකට කරගෙන යන්න මට අමාරුයි. මට හිතුණා ඔය දෙක පටලව ගත්තොත් එකක්වත් හරියට කරන්න බැරිවෙයි කියල.

මට කසුන් හමුවෙන්න කලින් ඉඳන් අරන් තිබුණ තීරණයක් විවාහ වුණාම කලාව යම්කිසි දුරකට සීමා කරනව කියල. ඉක්මණින් අපේ විවාහ ගිවිස ගැනීම සිදුවුණානෙ. ඒ කාලෙම මම ටිකක් කලා කටයුතු සීමා කළා. එයාගෙන් නම් මට කිසිම බලපෑමක් ආවේ නැහැ. කලා කටයුතු කරන්න එපා කියලා. මේක මම ම ගත්ත තීරණයක්.

බුවිනිගෙ හිත ආදරය දකින්නෙ කොහොමද?

ආදරය කියන්නෙ අපි හැමෝටම ඕන දෙයක්. හැබැයි ඒක හරි කෙනාගෙන් ලැබෙන්න ඕන. ආදරය තියෙන්නෙ විඳවන්න නෙවෙයි, විඳින්න. කෙනෙකුට විඳින්න පුළුවන් ආදරයක් ලැබෙන්නෙ පෙර පිනකට කියලයි මම හිතන්නෙ. ඒ වගේ ආදරයක් ජීවිතයේ ඉදිරියට ලොකු ආශිර්වාදයක්. විවාහයෙන් පස්සෙ අපේ ජීවිතවල ඉදිරිය රඳා පවතින්නෙ අපි ආදරය කරන කෙනත් එක්ක.

ඔය ආදරයට හිත් රිදුම් වේදනා අහිමිද?

මත ගැටුම්, නොගැලපීම් අනිවාර්යෙන් තිබුණා. අපි ඉපදුන දවසෙ ඉඳල ඉන්න අම්ම තාත්තා එක්ක ඉදිද්දි පවා ඔය වගේ මත ගැටුම් තියෙනවනෙ. ඒවා ඉවසගෙන, හදාගෙන

අවබෝධයෙන් ජීවත් වෙනවා. විශ්වාසය තියෙනව නම් ඔය හැමදේම සමබර කරගන්න පුළුවන්. මත ගැටුම් නැත්නම් එතන ආදරයකුත් නැහැ.

බුවිනි දැන් ගෘහනියගේ භූමිකාවට ගැලපෙන්න හැඩගැහිලද ඉන්නෙ?

ඇත්තම කතාව නම් මම මගේ අම්මයි තාත්තයි ළඟ ඉඳිද්දි ගෙදර කිසිම වැඩක් කරන්නෙ නැහැ. හැබැයි මට රසට උයන්න පුළුවන්. අම්ම මට ඒක කියල දිලා තියෙනව. කසුන් මගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් බිරිඳක් විදිහට මම අපි දෙන්නගෙ ගෙදරකදි ඒ වගකීම ගන්න සතුටින් මග බලාගෙන ඉන්නව.

ධම්මිකා සුරංජි පතිරණ

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button