පළකල දිනය : Thu, Sep 19th, 2019

දෙසීයේ ඩොක්ටර්

ඇහැලියගොඩ ගිලනුන්ට දේවත්වයෙන් වෙදකම් කරන කවුද මේ 200 ඩොක්ටර් රන්මසු වලට මිනිස්කම විකිණෙන යුගයක රන්මසු වෙනුවෙන් සිය අපේක්ෂාවන් උගසට තබන යුගයක උඩුගම් බලා පිහිනමින් තමන් දුක් මහන්සියෙන් උගත් දැනුම තුළින් මිනිසුන්ට සේවය කිරීම අපරිමිත යැයි සිතූ තවත් එක් සොඳුරු වෙදැදුරෙක් පිළිබඳ මේ දිනවල ඇහැලියගොඩ පුරවරයේම කතා කරන පසුබිමක ඔහු කවුද? ඔහු කරන දෑ කුමක්ද යන්න සොයා බැලීමට අපි ද ඉව ඇල්ලූවෙමි. ‘‘යන්න ඔය ලෙඬේට එක වේලෙන් සුවය දෙනවා ගිහින් බලන්නකො 200 ඩොක්ට ළගට ….’’

ආ ඕකත් ලෙඩක් ද අදම යන්න 200 ඩොක්ට ළගට ‘‘සල්ලි ප‍්‍රශ්නයක් නෑ රෝග විනිශ්චටයි බොහෙත් නිකුත් කිරීමටයි සේරටම 200 යි. ගිහින් බලන්නකෝ’’ මේ ඇසෙනුයේ මේ දිනවල නිතර නිතර ඇහැලියගොඩ ජනතාව තුළින් ඇසෙන හ`ඩකි. ගිය කෙනෙක් යළිත් යන එකම ලෙඩට දෙවරක් නොයන මේ අරුම පුදුම වෙදැදුරු පිළිබඳ ජනතාව පවසන්නේ දේවතයෙක්, පාරමිතා පුරන කෙනෙක්, අධ්‍යාත්මික දියුණුවක් ලත් කෙනෙක්. මේ වගේ අදහස් වලින් ආරෝපිත වූ ජනතාවට අන් කවරකටවත් වඩා විශේෂිත වූ මේ අරුම පුදුම වෛද්‍යවරයා කවුරුන්ද යන වග ලොවට කියා පෑමට අපි ඔහු සොයා ගියෙමු.

මුහුණ පුරා රැවුල වවාගත්, කැරලි කොණ්ඩය ගෙල තෙක් වවාගත් අතිශය වාමාංශික නිර්ධන පංතියේ නායකයන් යැයි හැෙගන පෙනුමකින් ආරෝපිත වූ සුන්දර සිනහවක් හා සුහදශීලී ගති පැවතුම් පිරි ඔහු නමින් අනුරුද්ධ විය.

ඇහැලියගොඩ නගරය පසුකර කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන බදුවත්ත හංදියේ සිට මීටර් 100 ක් පමණ ගිය තැන මේ වෛද්‍යවරයාගේ නිවස හමුවෙයි. ඔහු මේවන විට රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන අතර ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ කොණක දේශබන්දු එම්ග ඒග එස්ග කේග අනුරුද්ධ (M.B.B.S. Sri Lanka – S.L.M.C. 27590) රත්නපුර යනුවෙන් සටහන්ව තිබුණා.

1983-01-08 දින එම්.එ්. රත්නසිරි මහතාටත්, ශි‍්‍රයා ඩයස් අබේගුණවර්ධන මහත්මියටත් දාව උපදින පුංචි අනුරුද්ධ හැදී වැඩෙන්නේ මව්පියන් තුළ වූ ග‍්‍රාමීය සංකල්ප හා මානවීය සහසම්බන්ධතා මැද මිනිස්කම ඉස්මුදිනින් පිළිගත් නිවසක කුල කුමරකු ලෙසයි. සිය දෙමාපියන් තුළ වූ ගුණධර්ම උපතින්ම උරුම කරගත් අනුරුද්ධ සිය අධ්‍යාපනය ඉහළට ගෙනයන්නේ පතපොතට පමණක් මුල් තැන දෙමින් නොව ගුණධර්ම, යහපැවැත්ම හා විනය රීති ද උගනිමිනි. මෙකී ගුණාංග පුංචි අනුරුද්ධට ලැබෙන්නේ සිය දෙමාපියන්ගේ තිබූ මිනිසත්බවේ ආභාෂය නිසා විය හැකිය. ජනතා සුවසෙත පතාම සිය ජීවිකා ගමන ගෙන ගිය සිය පියාගේ සහ මවගේ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් අනුරුද්ධ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙයි. එහි ඉතා දක්ෂ ලෙස

ඉගෙනුම් කටයුතු කරන අතරවාරයේ තම අවසන් වසර පෙනි පෙනී සිය පියා දිවියෙන් සමුගන්නා ලද පුවත අනුරුද්ධගේ දෙසවන් වලට ගෙන එන්නේ දරා ගැනීමට නොහැකි තරම් වූ කම්පනයකි.

සිය පියාගේ වියෝව තුළින් තම බලාපොරොත්තු දැඩිකරගත් මේ තරුණයා තමන් කෙසේ හෝ ඉහළට ගොස් තමා උගත් දෑ තුළින් දුගී ජනතාවට සේවයක් කරන්නෙමියි තරයේ සිතට ගන්නා ලදි. තමන් හදවතින් සපථ කරගත් එ් පොරොන්දුව අද වන විට සඵල කරමින් සිටින අතරතුර ඉන් උද්දාමයට පත් අහිංසක ජනතාව ඔහු වෙනුවෙන් ඉඩක් ඉල්ලා නගන හ`ඩට සවන්දීමක් ලෙස මේ ලිපිය සකසන්නට අප කටයුතු කළෙමි.

අප ඔහු සොයා ගොස් ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යන මොහොතේ විශාල රෝගීන් ප‍්‍රමාණයක් ඔහු හමුවීමට පෙළ ගැසී සිටිනු දක්නට ලැබිණ. එ් රෝගීන්ට මුල් තැන දියයුතු වූ නිසාම අප ඔහුගෙන් වේලාවක් වෙන් කරගත්තේ නුදුරු දිනයකදීම ඔහුව සොයා යන බලාපොරොත්තුවෙනි. කලින් වෙන්කරගත් දිනයේ අපට ඔහු සමග සුහඳ පිළිසඳරක නියැළෙන්නට හැකි පරිසරයක් පැවතින.

රාතී‍්‍ර 10.30 ට පමණ ඔහු සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ අප එනතුරු සිටියහ. ඔහු අප සම`ග කතා බස් කළ ද ඔහු පිළිබඳ විස්තර ප‍්‍රසිද්ධ කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වූවේය. ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමන්ගේ සහෝදර වෛද්‍යවරුන්ගේම විරෝධය තමන්ට මේ වනවිටත් එල්ලවන නිසා බවය. කොතෙක් බාධක ආවද අද පාලනයකින් තොරව සිදුවන වෛද්‍ය මාෆියාව නිසා ලංකාවේ දුප්පත් රෝගීන්ට අත්වන ඉරණම ඉතාම දුක්මුසුය.

පස්, ගල් සමග පොර බදන, රබර් ගස්, තේ ගස් සමග පොර බදන ෙමි අහිංසක මිනිසුන්ගේ දුක්ඛිත ආර්ථික චක‍්‍රය කි‍්‍රයාත්මක වීමේදී ඔවුනට අත්වන රෝගාබාධ අනතුරු සඳහා ප‍්‍රතිකාර ලෙස වැයවන මුදල ඔවුන්ගේ දිනක වැටුපට එහා ගිය අවස්ථා ද නැතුවාම නොවේ.

කීයක් හෝ සරිකරගත් පසු ගෙදරට අවැසි අඩුමකුඩුම එක්රැුස් කර නිවසට එන පියාට තම දරුවාගේ උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, හිසරදය ද ඉවසාගත නොහැක. කෙසේ හෝ තම දරුවා කරපින්නාගෙන යන්නට ඇත්තේ පුද්ගලික බෙහෙත් ශාලාවකටය. එහිදී රෝග විනිශ්චය කර බෙහෙත් කවර 2 – 3 ක් දී දරන්නට සිදුවන මුදල ඉතාම දුක්මුසුය. එය ගෙවා දමා නැවත ගෙදර එන්නේ නිතර හැදෙන රෝගයට දෙස්දෙවොල් තියාය.

එත් එම රෝගයටම එක පාරින් සහනය සලසා දෙන ඖෂධ නිකුත් කර සුවකර දෙන මේ දේවගැති වෙදැදුරා අය කරන්නේ රු. 200 කි. එය පයින් යන සිරිපාලගේ සිට BMW එකේ යන බණ්ඩාර දක්වාම නියම වන එකම මිලය. ඔහු රෝගයටවත්, තරාතිරමටවත් නොව මිල නියම කරනුයේ මිනිසත්කමටය. ඔච්චරම ජනතාවාදී නම් ඇයි රු. 200 ක් ගන්නේ ඕක නිකම්ම දෙන්න බැරිද එහෙමත් කියන මිනිස්සු ඉන්න නිසාම අපි අනුරුද්ධ ඩොක්ටගෙන්ම මේ දේවල් විමසා සිටි විට ඔහු අප සමග කියා සිටිය අපූරු කතාව තවත් හැදෙන්නට වෙර දරන පුංචි කැකුළකට වගේම සාදන්නට දිරිදෙන දෙමාපියන්ට ද මහත් අත්වැලක් නිසාම මෙසේ ඉදිරිපත් කරන්නට කි‍්‍රයා කළෙමු.

මම මුලින්ම වැඩ භාර ගත්තේ කිරිපෝරුවේ ඉස්පිරිතාලෙ. මම එහේ යනකොට කාර්ය මණ්ඩලය කීප දෙනයි හිටියේ. අපි කොහොමහරි කැපවීමෙන් රෝහල ගොඩනගලා අහිංසක දුප්පත් ගම්බද මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන්න අවශ්‍ය පරිසරය හදන්න උත්සාහ කළා. ඔය කියන පැත්තෙ ගොඩක් හිටියේ දලූ කඩන, කිරි කපන මිනිස්සු. මේ අහිංසක මිනිසුන්ට සේවයක් කරන්න ලැබීම සතුටක් කියලා හිතාගෙන තමයි අපි වැඩ කළේ. ඔහොම ඉන්නකොට එ් ගමේ මිනිස්සු එකතු වෙලා මට P.P එකක් කරන්න තැනක් හොයලා දුන්නා.

එක දවසක් වයසක අම්ම කෙනෙක් ආව බෙහෙත් ගන්න. මම ලෙඩාව බලලා බෙහෙත් දුන්නම මට කාසි පොදියක් දුන්නා. රුපියලේ දෙකේ කාසි. කැටයක් කඩලා අරන් ඇවිත් තිබුණේ. එදා මට ඇතිවුන එ් හැගීම වචනවලට පෙරළන්න බෑ. මම හිතාගත්තා මිනිසුන්ට දැනෙන දෙයක් කරන්න. මම එදා ඉදන් ගන්නේ රු. 200/- නිකම්ම මිනිසුන්ට දුන්නමත් එ්ක වටිනාකමක් නෑ. එ්කයි රු. 200/- කට මම දෙන්න හිතුවේ. මට මතකයි ඔය සුනාමි දවස්වල අපි එ් ආපදාවන්ට ලක්වෙච්ච අයට සායන පැවැත්වුවා. එ්වට මිනිස්සු එනවා ලෙඩට කියලා බෙහෙත් අරන්. අර පිටි පැකට් එකක්, බිස්කට් වගේ දේවල් තියාගෙන බෙහෙත් ටික විසිකරලා යනවා. එ් නිසා නිකම්ම නොදී රු. 200 කට බෙහෙත් ටික දෙන්න මම හිතුවේ. මම කරන දේ ලොකු දෙයක් නොවුණට මගෙ හැටියට මට මේ දේ ලොකු දෙයක්.

අපි කොතනට ඉගෙන ගත්තත් පුද්ගලයෙකුට වර්ධනය කරගන්න ඕන ගොඩක් කරුණු අතහැරෙන බවයි මගේ හැගීම. බලන්න ශිෂ්‍යත්ව විභාග පාස්වන දරුව අනික් දරුවන් දිහා ටිකක් විතර අමුතු විදියකට බලන්න ගන්නවා. O/L, A/L විභාග වලින් සමත් වන අය තව ටිකක් වෙනස් විදිහට බලනවා. ඔය අතරේ කැම්පස් මෙඩිකල් කොලේජ් යන අය මනසින් අමුතුම ලෝක වලට යනවා. අන්න එ් පරතරය තියෙනතාක් කල් සමාජයේ උස් පහත් භේද ඇති වෙනවා. අපි අධ්‍යාපනය දෙන ගමන්ම පුංචි කාලෙ ඉඳල හොඳ ගුණධර්ම හුරු කරන්න ඕනි.

අන්න එතකොට තමයි සමාජයට වැඩදායී බුද්ධිමතෙක් සමාජය තුළින් බිහිවන්නේ. මම හිතන විදිහ සාධාරණ වෙනතාක් කල් මගෙ ළගට මිනිස්සු එයි. මම ලබපු මිනිසත් භවයට සාධාරණයක් කරන්න. සමහරවිට මේ ලිපිය දැක්කම වෛද්‍ය සංගම් තුළින් මට විරෝධයක් එන්නත් පුළුවන්. එත් මම මගේ හිතට එකඟව වැඩ කරන්න ඕන. මම හිතනවා අනාගතයේ දී ලෝකය ලස්සන වෙයි කියලා. එ්ත් හදාගන්න හැදෙන්න තව ගොඩක් දේවල් තියෙයි. මම නිතරම කියන්නේ ලෝක කලාත්මක වනවාට වඩා ගුණාත්මක විය යුතුයි කියන එක.

නිකම් හිතන්න. මිනිස්සුන්ට සහනයක් වෙන්න කියලා බෙහෙත් අඩු කළාට වැඩක් නෑ. ඒ බෙහෙත ගුණාත්මක නැත්නම්. මම පොඩි උදාහරණයක් කියන්නම්. ලෙඩකට ගත්ත ඖෂධයක් තියෙනවා එකක මිල රු. 30/- රු. 50/-, රු. 100/- ට තියෙනවා. 100 ට තියෙන බේත හොඳ ගුණාත්මක එකක්. මිනිසුන්ට සහන දෙන්න කියලා 100 බේත

රු. 50/- ක් කළාම එ් හොඳ කම්පැනිය ආන් රට දාල යනවා. ඒ වෙනුවට අර රු. 30/- ට තියෙන අය රු. 50/- කරනවා. එතකොට වෙන්නේ අඩුම ගුණාත්මකභාවයක් තියෙන බේත වැඩි ලාභයක් ලබන එක. එතකොට ඖෂධයකට අපි ගත්තේ නියම ගුණාත්මක බෙහෙත නෙවෙයි. ඔය සරල උදාහරණයක්. මේ වගේ තැන් ගොඩයි. අපි ගුණාත්මක ලෝකයක් හදල අපේ රට මිනිස්සුන්ගෙන් පිරි මිනිසත්කමින් පිරි සමාජයක් කරන්න හැමෝම වගබලා ගමුයි කියලා අපි ප‍්‍රාර්ථනා කරමු.

එ් අපූරු අදහස් සමුදායක් තුළින් අලූත් ආරම්භයකට මුල පුරන අපේ කාලයේ සුන්දර වෛද්‍යවරයෙකු සමග යෙදුණු පිළිසඳර හමාර කරමින් අපි ඔහුගෙන් සමු ගත්තත් ඔහු තුළින් ඉස්මතු වූ මිනිස් ගුණාංග සමහරක් කොතෙක් දුරට මේ තරගකාරී ලෝකය තුළ ගැටීමට ලක් වෙයිද යන්න සිත තුළ සැකයක් ඉතිරි කරදෙන්නට විය. නමුත් ඔහු තුළ වූ හිතෛශීභාවය නිසාම ඔහුට ගෞරව නාමයක් ද පිරිනමා තිබීම තවත් විශේෂයක් වුණා. එ් ඔහු තුළ වූ මානුෂීය ගති පැවතුම් හේතුවෙන් දේශබන්දු ගෞරව නාමය ඔහුගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබුණා.

අනුර ජයසේන – ඇහැලියගොඩ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button