පළකල දිනය : Thu, Sep 19th, 2019

දහසක් මල් පිපෙන රටට කෝටි අටක රට මීපැණි

ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනයේදී දඹානේ සිට පැමිණෙන ආදිවාසී පිරිස දළදා හාමුදුරුවන් උදෙසා මී පැණි පූජාව පැවැත්වීම අතීතයේ සිට එන චාරිත‍්‍රයක් වේ. ආදිවාසීන්ට නොව සතා සීපාවන්ට පවා දැන් වනපෙත පරිහරණයේදී සීමා මායිම් පැනවී තිබේ. නවීකරණයට ක‍්‍රමයෙන් ගොදුරුවෙමින් තිබෙන ආදිවාසී සමාජයේ කැකුලන්ට කැකුලියන්ට නම්, පළමුව යාබද ගම්මානයටත්, ප‍්‍රතිපාදන ඇත්නම් එතැනින් නගරයටත් සංක‍්‍රමණයවී පණනළ රැකගත හැකි වුවත්, වනයේ සත්ව ප‍්‍රජාවටනම් පොළොවේ හැපී වඳවී යනවාට වඩා විකල්පයක් නැත.

මෙම තර්ජනයට මුහුණදෙනවා යැයි නිතර අසන්නට ලැබෙන අලි ඇතුන් තරම් සිරුරෙන් විශාල නොවූවත්, වනපෙත අහිමිවී ගොස් රාජධානි පිටින්ම අවතැන් වී ගිය තවත් ජීවී කොට්ඨාසයක් ගැන සටහනක් තබන්නට සිතුනේ පසුගියදා ඇස ගැටුණු ගණන් හිලව් කීපයක් නිසාවෙනි.

පසුගිය වසරේදී අප මී පැණි මෙටි‍්‍රක් ටොන් 210.8 ක් පිටරටින් ගෙන්වා තිබේය යන්න එම ප‍්‍රවෘත්තියයි. මේ වෙනුවෙන් මෙරටින් එතර ගිය මුදල රුපියල් කෝටි අටකටත් වැඩිය. විදෙස් රටවලින් හඳුන්වාදුන් ශාක වලට අමතරව අපේම කිව හැකි මල් පිපෙන ගස් හාරදහසකටත් වඩා සංඛ්‍යාවක් වසර පුරාම මලින් සරසන මේ මනරම් දිවයිනට සාධාරණ නැති ගනුදෙනුවකි මෙය. දශක කීපයක අතීතයේ සිට විවිධ සංවිධානයන් හරහා මී මැස්සාගේ ගෘහස්තිකරණය උදෙසා මී මැසි පෙට්ටි බෙදූ තරමට කටයුතු සාර්ථක වූවානම් මේ වන විට අපේ රටේ සාදන හොඳ මී පැණි විදේශයන්ටත් යවනවාය. වාර්ෂික මී පැණි අපනයනය කිලෝග‍්‍රෑම් 1350 ක් වැනි සොච්චම් අගයක් අවට දෝලනය වන්නේද නැත.

සිංහල වෙදකමේ භාවිතාවෙන මී පැණි යොදා සාදන බෙහෙත් වර්ග වලට විශ්වාසදායක මී පැණි සොයාගැනීමේ අපහසුව හේතුවෙන් සීනි භාවිත කරන්නේද නැත. තම ව්‍යාපෘති ප‍්‍රගති වාර්තාවල හිස්තැන් පිරවීමට ඉලක්කමක් අවශ්‍ය නිසා මෙපමණ මී මැසි පෙට්ටි බෙදුවා යැයි වාර්තා සැකසුනද, ඇතැම් පෙට්ටි ගබඩා කාමර වල මුළු ගැන්වුණු පසු ඒවායේ උරුමක්කාරයන් වන්නේ බිඟුන් නොව වේයන්ය. සිදුරු වලින් පිටවෙන්නේ පැණි සොයා යන ගැහැනු මැස්සන් නොව, පියාපත් ලැබී ජීවිතයේ අවසානය සොයා ඉගිලෙන, මෙරු නමැති සත්ව කොට්ඨාසයක්ය.

මී මැසි පාලනය තම ප‍්‍රධාන විෂය ධාරාවේ කොටසක් නොවූවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම ශක්ති පමණින් අතීතයේ පටන්ම මෙම කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා හැකි පමණින් උත්සාහ දරා තිබේ. ‘මී මැසි ප‍්‍රදර්ශක. නමැති තනතුරක් දරාගෙන, දැනට දශක කීපයක පටන් මුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටම සේවය කරන්නේ එස්. ජේ. එස්. කරුණාරත්න නමැති තනි පුද්ගලයෙකි.

රාජකාරියට බැඳුනු තරුණ සමයේදීම මී මැස්සන්ගේ ඇසුරට වැටුණු ඔහු දැන් විශ‍්‍රාම ලැබීමටත් ආසන්නය. තම සිරුර පුරා මී වද බැන්දත් පයිසෙකටවත් එය මායිම් නොකරන ඔහු මී මැස්සන් සමග ඒ තරමටම මිතුරුය. ගම් දනවු වල සැරිසරමින්, අහු මුළු වල බැඳ ඇති මී වද අල්ලා පෙට්ටි වලට දමමින් මී මැසි පාලනය ප‍්‍රවර්ධනය උදෙසා කරුණාරත්න මහතා වසර 33 ක් තිස්සේ කර ඇති සේවය තුළදී දෙපාර්තමේන්තුව මගින් මී මැසි පාලනය වෙනුවෙන් නිපදවූ බොහොමයක් රූපවාහිනී වැඩසටහන් වල කථානායකයා වූයේද ඔහුය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඇති හැකි පමණින් තනි පුද්ගලයෙකු යොදාගෙන ඇදි බර කොපමණද කියනවා නම් මැසි ජනපදයට හානි නොවෙන පරිදි මී කඩන්නේ කෙසේදැයි කියා දෙන්නට මීට දශක එකහමාරකට පමණ ඈත අතීතයේදී ආදිවාසීන් හමුවෙන්නට ඔවුන් දඹානටද ගොස් ඇත. ආදිවාසී ජනතාවත්, ඒ අවට සිටි පාසල් දරුවනුත් සහභාගි කරවාගත් මේ වැඩමුළුව පවත්වා ඇත්තේ කොටබකින කෞතුකාගාර පරිශ‍්‍රයේදී 2005 ජූලි මස පළමුවෙනිදාය. මීට අමතරව 2006 අපේ‍්‍රල් 28 වෙනි දින මීමුරේ, දුම්බානාගල නමැති ගම්පෙදෙසේදී ‘බිඟු සම්පත සුරැකීමේ ජාතික සංවිධානය. නමින් එකමුතුවක් සාදන්නටත් කරුණාරත්නයන් පියවර ගෙන තිබේ.

අපගේ බිඟු සම්පතෙහි වර්තමාන තත්ත්වය මැන ගන්නට 2005 වසරේදී යෙදුනු දඹානේ ගමන වුවත් ප‍්‍රමාණවත්ය. පුහුණුවට අදාළව හොඳ මී වදයක් කැලෑවෙන් සොයාගත නොහැකි නිසා, පරණ ලී කොටයක් තුළ වූ බෙනයක බැඳ තිබූ මී මැසි ජනපදයක් නුවර අඩවියේ සිට දඹාන දක්වා රැගෙන යෑමටද කරුණාරත්න මහතා ඇතුළු මේ පිරිසට සිදුවී තිබේ. ඒ කාලයේත් වනයේ තිබී ඇත්තේ එවන් මී වද හිඟයකි. මාළුන්ට පිහිනීම උගන්නන්නට වතුර බසිනවා සේ පෙනෙන මේ කර්තව්‍යය ගැන මා ලියන්නේ ඔබගේ හාස්‍යෝත්පාදනය සඳහා නොවේ.

ආදිවාසී මී පැණි කර්මාන්තය අද තිබෙනා තැනත්, මී මැසි ජනපද මුහුණදී ඇති වර්තමාන ඛේදවාචකයත් පෙන්වා දෙන්නටය. පැණි මිරිකන හැටි පුහුණු කරන්නට නොව, මීයක් කඩා අත ලෙවකන්නට වත් වසර පහළොවකට උඩදී මීවදයක් පිරිනමන්නට වනපෙත අසමත්වූවා නම්, අද තත්ත්වය සිතා ගැන්මට ඔබට භාරය. එවන් පසුබිමකදී වුවත්, සාම්ප‍්‍රදායික දළදා පූජාව වෙනුවෙන් ඔරිජිනල් මී පැණි ටිකක් රැගෙන ඇසළ පෙරහැර සමයේදී කන්ද උඩරටට පැමිණෙන ආදිවාසීන් වෙනුවෙන් අපට ඇත්තේ මහත් ගෞරවයකි.

”ආදිවාසීන්ගේ සාම්ප‍්‍රදායික මී කැඞීමේ ක‍්‍රමයේ අඩුපාඩු තිබෙනවා. මම එහෙම කියන්නේ එය ඔවුන්ගේ වරදක් හැටියට පෙන්වාදෙන්න නෙවෙයි. ඊට වැඩිය විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හරහා මී පැණි නෙළා ගැන්මට ඔවුන්ව පුරුදු කළ යුතු නිසයි. මේ පුහුණුවේදී අපි කියල දුන්න කීටයෝ, පිලවු, බිත්තර ආදියට හානි නොවෙන්න පැණි ටික විතරක් ලබා ගන්න හැටි. මී මැසි පෙට්ටි කීපයකුත් ඔවුනට බෙදා දීල, පෙට්ටියක් තුළ මී වදයක් පවත්වාගෙන යන ආකාරයත් පුහුණු කෙරුවා.”

ආමන්ත‍්‍රණය කළ යුතු පහළම තැනද හඳුනාගෙන කර්මාන්තය දියුණු කිරීමට එදා ගත් උත්සාහය ගැන කරුණාරත්න මහතා ආවර්ජනය කෙරුවේ එසේය. රසායනික පරීක්ෂාකිරීම් වලදී පවා තහවුරු වී ඇත්තේ සාම්ප‍්‍රදායිකව රැස් කරන මී පැණි වල, සීනි අන්තර්ගතයට අමතරව සෑහෙන ප‍්‍රමාණයක් ප්‍රෝටීන්ද අඩංගු වන බවයි. මීට හේතුව වන්නේ පිළිවෙළක් නැතිව වද මිරිකා පැණි රැස්කිරීමේදී පිලවු හා කීට සිරුරු කැබලි, පැණි හා මිශ‍්‍රවීමය. මෙය ස්වභාවික පරිසරයේ තිබෙන මී මැසි ජනපදයන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයකි.

”මී මැස්සන් වෙනුවෙන් පර්යේෂණ කළ යුතුයි. සත්ව පාලනය වගේම මෙතැනදීත් හොඳ මාදිලි තෝරාගන්න ඕනෑ. කඩිසර සතුන් ඉන්නා විට අස්වැන්න වැඩිවෙනවා. අනිත් කරුණ තමයි ඔවුන් ගොදුරුවෙන රෝගාබාධ, ඔවුන්ව වඳ කරන දේශීය සතුරන් ආදිය ගැන අපට තිබෙන අවබෝධය අල්පයි. ඒ සියලූ තර්ජනයන්ට මුහුණ දෙමින්, වනාන්තර අඩුවීම නිසා සිදුවන වාසස්ථාන අහිමිවීමත් දරාගෙන තමයි අද දවසේ මෙරට මීමැසි ප‍්‍රජාව පවතින්නේ.

අපි දැනට කරන්නේ තියෙන දෙයක් කාලා ඉන්න මැස්සන්ව අල්ලලා පෙට්ටි වල දාගෙන, ලැබෙන දෙයකින් සෑහීමකට පත්වීම. කර්මාන්තයක් වශයෙන් දියුණු කරනවානම් ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමට මෙය ඉතා හොඳ ක‍්‍රමයක්. මෙතනදී මිනිස් ශ‍්‍රමය වැයවෙන්නේ ආරම්භයට විතරයි. ඊට පස්සේ වැඩ ටික කරන්නේ සතුන්. ගොවියාට වෙන වැඩක් කරගන්න පුළුවන්. ශ‍්‍රමය වැය නොකර ඔහුට දිගටම ආදායම නම් ලැබෙනවා. මී පැණි කියන්නේ රටටත් විදේශ විනිමය සම්පතක්. හොඳ තත්ත්වයේ මී පැණි වලට විශාල ඉල්ලූමක් ජාත්‍යන්තරයේ තිබෙනවා.

පසුගියදා පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්ෂික සමුළුවේදී වසරේ හොඳම විද්‍යාඥයාට හිමි රන් පදක්කම දිනාගත් කීට විද්‍යාඥ ආචාර්ය දයානි පෙරේරා තම අදහස් ප‍්‍රකාශ කෙරුවේ එලෙසය.

තල ඇටයක් තරමේ මොළයක් තිබෙන, එහෙත් පුදුම හිතෙන ඉගෙනීමේ හැකියාවක් සහ මතකයක් ඇති මී මැස්සා හීලෑකර ළඟ තබාගත හැකි සත්ව කොට්ඨාසයක් නොවේ. උසස් සතුන්ගෙන් අප බලාපොරොත්තු වන හීලෑ ගතිගුණ කිසිවිටෙකත් මෙවැනි කෘමි සතුන් ප‍්‍රදර්ශනය කරන්නේ නැත. බිඟු පර්යේෂණයන්ට යොමුවීමට තරුණ පර්යේෂකයන් පවා මැලිවන්නේ ප‍්‍රධාන වශයෙන්ම මැස්සන් හා ඇසුරට ඇති බිය නිසාවෙනි. එසේ වුවත් අනාදිමත් කාලයක පටන් මිනිසා විසින් මෙම සතුන්ට නවාතැන් සපයා දෙමින් පැණි හා ඉටි සොරා ගැනීමට නම් පුරුදු වී සිටි බව ඉතිහාසය පෙන්වා දෙයි. ඇනටෝලියාව සේ ඈත අතීතයේ හැඳින්වූ වර්තමාන තුර්කියේ ආසියාතික පෙදෙස තුළ වසර 8500 කටත් එපිටදී පවා මී පැණි පරිහරණයක් සිදුව ඇති බවට සාක්ෂි ලැබී තිබේ.

පැයක් ඇතුළත පැණි සොයමින් සැතපුම් 15-20 ක් වුවද පියඹා යන ගැහැනු මැස්සන්, මල්පැණි උරාගෙන දමාගන්නේ තම කුසෙහි පිහිටන විශේෂ කොටසක් වූ ‘ගොජුර. තුළටයි. එහිදී එන්සයිම හා මිශ‍්‍රවී මල්පැණි වල රසායනික ස්වභාවයත්, ආම්ලිකතාවය ආදියත් වෙනස් වන අතර එය පත්වන්නේ දිගු කලක් ගබඩාකර තැබිය හැකි තත්වයකටය. තම කුස පුරවා ගැන්මට මල් 50-100 අතර ගණනක වුවත් සැරිසරන මැස්සිය ආපසු මී වදයට එන අතරතුරදී මල් ඇති දිශාව හා එයට ඇති දුර විශේෂ රැඟුම් විලාසයක් මගින් තම සගයින්ට දන්වනු ලබයි.

මී වදයට පැමිණි ඇය තවත් මැස්සියන් කීප දෙනකුටම ගෙන ආ පැණි ටික කවනු ලබන අතර ඇතැම් විට මෙය වමාරා කැවීමක් සේද හැඳින්විය හැකිය. සතුන් කිහිප දෙනෙක් හරහා යෑමෙන් පැණි වලට සිදුවන යහපත වන්නේ එහි රසායනික ස්වභාවය තවදුරටත් වෙනස් වෙමින් කල්තබාගත හැකි ද්‍රව්‍යයක් ලෙසට තව තවත් පදම් වීමයි. අවසානයේදී මේ පැණි, මී වදයේ කුටීර තුළ තැන්පත් කෙරේ.

කුටීර අවට රැස්වෙන මැස්සන් පියාපත් සලමින් පැණිවල ඇති වැඩිපුර ජලය වාෂ්පකර හැර එය තවදුරටත් උකු දියරයක් බවට පත්කරන අතර අවසානයේදී ඔවුන් ගේ ම ශ‍්‍රාවයක් මගින් කුටීර වලට මුද්‍රා තැබේ. පසුව මී ඉටි බවට පත්වන්නේ මේ ශ‍්‍රාවයයි. වාතය හා ජලය සමග නොගැටෙන ලෙස සීල් තැබූ කුටීර තුළ ගබඩා කෙරුණු මෙම පැණි වලට කල් ඉකුත්වීමේ දින වකවානු නැත. ඊජිප්තුවේ සොහොනක තිබී ගවේශකයන් පිරිසක් සොයාගත් වසර 2000 ක් පමණ පැරණි යැයි සැලකෙන පැණි ජෝගුවක තිබූ දෑ ඉතා නැවුම් රසයකින් යුක්ත වූ බව, පසුගිය දිනෙක වාර්තාවූයේද මේ නිසාය. පැණි නරක් නොවන බවට තවත් සාක්ෂි වුවමනා නොවේ.

එක මැස්සෙක් තම ජීවිත කාලයටම හදන්නේ පැණි තේ හැන්දකින් දොළහෙන් පංගුවක් නොහොත් මිලි ලීටර් දශම හතරක්, තවත් පහසුවට කියනවානම් පැණි බිංදු අටක් පමණ ප‍්‍රමාණයක් යැයි ගණන් බලා තිබේ. තවත් පුදුම හිතෙන ගණනය කිරීමක් වන්නේ පැණි කිලෝවක් සෑදීමට මල් කෝටි භාගයකින් පමණ පැණි රැස්කළ යුතු අතර සධාන්තිකව එක මැස්සකු විසින් එය කරන්නේ නම්, ඒ සඳහා ඌ කිලෝමීටර ලක්ෂ තුනක් පමණ පියාසර කළයුතු බවය. එනම් ලොව වටා හත් වරක් පියාසර කළා වැනිය. මෙම තොරතුරු මා ඉදිරිපත් කරන්නේ බිඟු ශ‍්‍රමයට අතිරේක වටිනාකමක් දෙන්නටය.

මන්දයත් ශ‍්‍රී ලංකාව වැනි මල් වර්ග බහුල රටක නිපදවෙන පැණිවල මනා පෝෂණ ගුණයක් මෙන්ම ඖෂධීය ගුණයක්ද ඇති නිසාය. මැස්සන් පැණි ගන්නට විවිධ වර්ගයේ මල් වලට යන නිසා එකට මිශ‍්‍රවී කැලතෙන්නේ අති විශාල රසායනික සංයෝග සංඛ්‍යාවකි. ශාක වර්ගය අනුව විවිධ රසායනිකයන් අඩු වැඩි වශයෙන් මෙම පැණි තුළ අන්තර්ගත වේ. ඇතැම් දියුණු රටවල කර්මාන්තයක් වශයෙන් මී පැණි නිෂ්පාදනය කෙරුවත්, ඒවා දර්ශනීය ඇසුරුම් සහිතව ආනයනය කර අධික මිලක් ගෙවා අප මිලදී ගත්තත්, දේශීය මී පැණි සංයුතියේ ඇති රසායනික විවිධත්වය හා ගුණාත්මක භාවය ඒවාහි ඇතිදැයි මට නම් සැක සහිතය.

මෙය අහවල් රසායනිකය තිබේද, නැතිද කියා ගුණාත්මකව මැන බලා තීරණය කළ හැකි තත්ත්වයක් නොවේ. එසේ වුවත් අප අවිවාදයෙන් පිළිගත යුත්තේ මල් වර්ග මිශ‍්‍රණයකින් පැණි උරාගෙන සාදන මී පැණි, සරල සීනි ද්‍රාවණයකට වඩා පෝෂණ ගුණයෙන් පොහොසත් විය යුතු බවයි. බොහෝ රටවල පැණි නිෂ්පාදනයේදී මී මැස්සන් උදෙසා මල් වැඩිපුර පිපෙන විශේෂ වගා පිහිටුවති. මීට අමතරව බිඟුනට අතිරේක ආහාර සපයති. මේ අතරින් දියකළ උක්සීනි බඳුන්වල පුරවා තැන තැන තැබීම, වගා මතට සීනි ද්‍රාවණ ඉසීම ආදිය ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල පවා කෙරෙන සුලභ උපක‍්‍රමයන්ය.

මී මැස්සන්ට මෙසේ අමතර ආහාර දෙමින් ඔවුන් අපේක්ෂා කරන්නේ වැඩියෙන් මී පැණි නෙළා ගැනීමයි. මැස්සන්ද සීනි ද්‍රාවණය රැගෙන ගොස් වද පුරවනවා ඇත. ඔවුන් මී වද බඳින්නේ අප ගේ ගත සනහන්නට නොව ශීත ඍතුවක් වැනි අහිතකර කාලයකදී තම ජනපදයේ පැවැත්ම තහවුරු කර ගැනීමේ අටියෙනි. ඒ නිසා ඔවුනට පැණියේ ගුණාත්මය සම්බන්ධයෙන් අපට මෙන් කැක්කුමක් නැත. අතිරේක ආහාර සපයමින් නිපදවන මීපැණි දෙවැනි ශ්‍රේණියට දැමිය යුත්තේ මේ නිසාය.

”මී මැසි පෙට්ටි පිහිටුවීම තුළින් අපි නෙළා ගන්න පැණි, වනයේ ස්වභාවිකව හදන පැණි තරමටම ඖෂධ ගුණයෙන් සපිරි ඒවා කියල හිතන්න පුළුවන්. මොකද ගෘහාශ‍්‍රිතව තිබුණත් මේ මැස්සන් පැණි සොයමින් අවට පරිසරයේ හැම තැනම යනවා. ඒ ගොල්ල මල් විතරක් නෙවෙයි, ඉදුණු පලතුරු වගේ දේවලිනුත් පැණි ගන්නවා. වෙළඳසල් වල එල්ලලා තිබෙන මිදි පොකුරු වලිනුත් මැස්සෝ පැණි ගන්නවා. පොල් වතුර, ගස් යට වැටෙන වැල වරකා ආදියත් ඔවුනට කැප ආහාර.

ඒ නිසා මම කියන්නේ නෑ සීනි ටිකක් වගේ දීල මැස්සන්ට කියල පැණි සාදවා ගන්න කියල. පැණි ලබාගත හැකි මෙවැනි ආහාර වර්ග අවට පරිසරයේ සුලභ කෙරුවොත්, මැස්සෝ ඇවිත් තමාට සුදුසු දේ අරගෙන යාවි. ඒ හරහා අපේ ග‍්‍රාමීය පැණි කර්මාන්තයේ ගුණාත්මයත් වැඩිවේවි. ආහාරයට සීනි දීම නරකයි කියල නෙමෙයි මේ කියන්නේ, ස්වභාවික ආහාර දීම ඊට වඩා හොඳ බවයි ”

ඒ කරුණාරත්න මහතාගේ අදහසයි. එසේ වුවත් තවත් කීර්තිමත් කීට විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ලයනල් නුගලියැද්ද මෙම අදහසට ඌන පූරණයක් සපයමින් පවසන්නේ පලතුරු ඉදී කල්ගතවෙනවිට එහි ඇති සීනි යම් පමණකට පැසීමට හසුවී මද්‍යසාර නිපදවිය හැකි බවත්, මැස්සන් ‘වෙර. වීම හරහා ජනපදයේ කර්තව්‍යයන්හි යම් ව්‍යාකූලතාවක් ඇතිවිය හැකි බවත්ය. මෙය මී වදයේ දිගුකාලීන ස්ථායීතාවයටද තර්ජනයක් ඇතිකරයි.

මී මැස්සෙකු ගේ අහලකින්වත් නොගිය මී පැණිද, ”පිරිසිදු මී පැණි” යන ලේබලය යටතේ වෙළෙඳ පොළේ තිබිය හැකිය. දිවගා බැලූවත් රසයෙන් පවා ඒවා මී පැණි වලට සමාන වන්නටද පුළුවන. පාරිභෝගික අපට එහි පැටිකිරිය සොයන්නට දිවට වඩා උපකරණයක්ද නැත. ආහාර පාන වලට තොග වශයෙන් වස විස එකතුකරන තරමේ අශීලාචාර සමාජයක් තුළදී මී පැණි කුප්පිය පමණක් පණ රැක ගනීවි යැයි සිතන්නටද බැරිය. එම අපහසුතාව පිටුදකින්නට විනිවිද පෙනෙන ප්ලාස්ටික් ඇසුරුමක් තුළ වදය පිටින්ම අසුරා වෙළඳපොළට පැණි සැපයීමේ ක‍්‍රමයක්ද කරුණාරත්න මහතා යෝජනා කරයි.

අතපොවන මානයේ ලාබයට ගතහැකි ලෙස තාක්ෂණය තිබුන පලියට ඕනෑ එපා හැම එකටම එය වැළඳගත් මිනිසාට සෑදුනු අසහනය හා අවිවේකය වැනි රෝග හමුවේ,‘මී වදයකි ජීවිතේ. කියා කටපුරා පැවසීම ඔහුට දැන් අරුමයකි. මී වදය තුළද අද ඇත්තේ එවැනිම අවිනිශ්චිතතාවයක්ය. එයටද හේතුව මිනිසාමය. ඒ නිසා ඉතිරි පද කෙසේ වෙතත් ගීතයේ මුල් පදය නම් අදටත් ගැළපෙන්නේය. පෙර පැවති සුන්දරත්වය යළි පුබුදුවමින් බිඟු සම්පත නගා සිටුවන්නට වගකිවයුත්තන්ගේ සිත යොමුවන්නේ නම්, ජීවිතය පමණක් නොව දේශයත් මී වදයක් යැයි කියනා ගීතද අනාගතයේදී ගැයෙනු ඇත.

සනත් එම්. බණ්ඩාර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button