පළකල දිනය : Mon, Sep 23rd, 2019

මංගල සාරිය ඇන්දූ අතින්ම සිදුවූ සංවේදී සිදුවීම

ජීවිතය පුදුමාකාරය. එය කුමන ආකාරයෙන් ගලාගෙන යනවා දැයි කාටවත් කල්තියා කිව නොහැකිය. මේ විශ්වය තුළ සංසාරගත බැඳීම් සේ මිනිසුන්ගේ මුණගැසීම් හා වෙන්වීම් සිදු වේ. සමහර සිදුවීම් පුදුම සහගතය. ඒවා ඇසීමෙන් දැකීමෙන් අපේ සිතට ද යම් පුදුමයක් විශ්මයක් ගෙන එන්නේ ජීවිතය යනු කුමක්දැයි හරියටම අපට වටහා ගන්නට තවමත් නොහැකි නිසාමය. එවන් විශ්මිත පුවතක් පිළිබඳව අපට ආරංචි වූ නිසාම අපි එය සොයා බැලීමු.

මනෝජා මානෙල් චන්ද්‍රසේන වරකාපොල 36 කන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි කෑගල්ල කලාපයේ් ඉංගී‍්‍රසි ගුරු උපදේශිකාව ලෙස සේවය කළ විශිෂ්්්ට උතුම් ගුරු මහත්මියෙක. මානව හිතවාදී ගුණයෙන් හෙබි ඇය තම ප‍්‍රදේශයේ දහම් පාසල් දරුවන්ට ඉංගී‍්‍රසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා පෙරමුණ ගෙන කි‍්‍රයා කළ ගුරුවරියක. නමුත් දෛවය පුදුම සහගතලෙස සියල්ල වෙනස් කළේය.

පසුගිය අගෝස්තු 23 දා හවස් කාලයේ තම නිවසේ ගේට්ටුවේ සිටි උග‍්‍ර විෂ සහිත සර්පයකු දෂ්ට කිරීම නිසා ඇය ජීවිතක්ෂයට පත් වූවාය. මේ සමුගැනීම මුළු මහත් ප‍්‍රදේශයටම දරා ගැනීමට අසීරු වූයේ ඇය කා අතරත් හිත හොඳ කාන්තාවක ලෙස ජනපි‍්‍රය වී සිටි නිසාමය.

විශේෂයෙන් මංජු නමින් ආදරණීය නාමයෙන් තම සමීප යෙහෙළියන් අතර සුවිශේෂ චරිතයක් වූ මනෝජාගේ වියෝ්ව වඩාත්්ම දරා ගැනීමට නොහැකි වූයේ මේ සමීප යෙහෙළියන්ටය.

එයින් ද මනෝජාගේ සමීපතම යෙහෙළියක් වූ රූපලාවන්‍ය ශිල්පිනියක වූ හිමාලි තිලකරත්න මහත්මිය මනෝ්ජාගේ මරණයත් සමග ඇයට අත්දකින්නට වූ තම ජීවිත අත්දැකීම අපට හෙළි කරන්නට විය.

අගෝස්තු 28 වැනිදා උදේ මට මංජු අක්කගේ ෆෝන් එකෙන් කෝල් එකක් ආවා. ඇත්තටම මම බය වුණා. කම්පනයට පත්් වුණා. නමුත් මම සිහි එළවාගෙන හලෝ කිව්වා. මම දන්නවා මංජු අක්කා දැන් නැති බව. ඊයේ හවස මංජු අක්කා නැති වෙන කොට අපි රෝ්හලේ ඇගේ යහන ළඟ. තවමත් අපි කම්පනයෙන් ඉන්නෙ.

ෆෝන් එකේ එහා පැත්තෙන් කතා කළේ මෙරානි නංගි” මංජු අක්කගේ සොහොයුරියක්.

හිමාලි අක්කේ අපේ අක්කා ජීවත් වෙලා ඉන්නකොට ලස්සනට අ`දින්න” හැඩ වෙන්න පුදුම ආසාවක්නෙ තිබුණෙ. ඔයා තරම් ඒ ගැන අපිත් දන්නෙ නෑනේ. අනේ අක්කේ එයා ඉන්්න ආසම විදිහට අපිට අක්කා සරසා ගන්න ඕනෙ” බෑ කියන්න නම් එපා. අපිට දැන් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. හිමාලි අක්කේ අපේ අක්කා ලස්සනට සරසලා දෙන්න.

මෙරානිගේ දුක්බර හඬ මගේ පපුව ඇතුළෙ තාමත් වධ දෙනවා. මගේ ජීවිතේ මේ අත් දෙකෙන් දහස් ගණනක් සජීවී ගැහැනුන් හැඩ ගන්වා තියෙනවා. ඒත් මෘත දේහයක් සරසන්න මම දෙසැරයක් හිතුවේ නෑ.

හරි නංගි මම ඒක කරනවා” මම දැන් එනවා. මෙරානි ෆෝන් එක තිබ්බා. ෆෝන් එක තිබ්බට පස්සෙ මාව එක්සයිට් වුණා. මේක භාර ගත්ත වගේ නෙමෙයි මංජු අක්කා දැන් මෘත දේහයක්. මම කවදාවත් මෘත ශරීරක් හැඩ ගන්වන්න පෙර දැකලා නෑ. මිනී පෙට්ටියක තියෙන හැඩ ගන්වපු මිනී විතරයි දැකලා තිබුණේ. මට හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඊයේ හවස මියගිය මංජු අක්කාගේ දේහය මරණ පරීක්ෂණයට කෑගල්ල රෝහලට අරන් ගිහින් ඒ කටයුතු ඉවර වෙලා වරකාපොල ගාමිණී මල්ශාලාවට රැගෙන එමින් තමයි තිබුණේ.

මම වාහනය ස්ටාට් කරගෙන මංජු අක්කගේ ගෙදරට එන්න පටන් ගත්තා. මගේ ගෙදර ඉඳන් විනාඩි 10 ක පමණ ගමනක් ඒක. වාහනය එළෙව්වෙ වෙනදා වගේ නෙමෙය. මගේ පෞද්ගලික ජීවිතේ මම මේ වගේ සිද්ධියකට මුහුණ දෙන පළමු අවස්ථාව. මට ලැබුණ මේ අභියෝගය උපරිමයෙන් ඉටු කරන්න මා කල්පනා කළා. ඉක්මනින් හැමදාම දැකපු මීනි පිළිබඳව සාම්ප‍්‍රදායික මීනි ඇඳුම් එක පෙළට හිතට ආවා. ඒකාකාරී මිනී ඇඳුම්.

හරි” මම ඩිසයිඞ් කළා. මතක් වුණා මංජු අක්කගේ මංගල සාරිය. විශාල වේදනාවක් යළිත් ආවා. එයා ගොඩක් ප‍්‍රමාද වෙලයි විවාහ වුණේ. ඩිප්ලෝමා කරන්න ඉන්දියාවේ ගියාම මුණගැසුණු රමේෂ්් චන්ද්‍ර සමග ලොකු ආදරයකයි හිටියෙ. වෙඩින් එක දවසේ ලස්සනට සාරිය අන්දවලා ඉවර වුණාම මංජු අක්කා මාව බදාගෙන හැ`ඩුවා. එතකොට මට ලොකු පුතෙකුත් හිටියා. මංජු අක්කා ජීවිතේ ගොඩක් දේ දරා ගත්තෙ හිනාවෙන්. සමීපතම යෙහෙළියන් විතරයි ඇගේ ආදරණීය බව හොඳින්ම දැනගෙන හිටියෙ.

හරි මම ඉක්මනට ගිහින් මංජු අක්කගේ සාරිය හොයා ගත්ත එතනම ඒ සාරියට ඇන්ද ආභරණත් තිබුණා. කෙලින්ම මම මල්ශාලාවට ගියා. සජීවි කාන්තාවට සාරි අන්දවන විදිහයි මෘත ශරීරයකට සාරිය අන්දවන විදිහයි අහසයි පොළොවයි වගේ වෙනස්. මල්ශාලා අධ්‍යක්ෂතුමාගෙන් පැහැදිලි කර ගත්තා කොහොමද සාරිය මෘත ශරීරයට ගැළපෙන විදිහට හදා ගන්නෙ කියලා. එතුමා මට කියලා දුන්න විදිහට මම එයාලගේ ඇඳුම් මහන තැනට ගිහින් සාරිය සකස් කර ගත්තා.

සියල්ල හරි දැන් මම යළිත් එනවා මල්ශාලාවේ මෘත ශරීර හැඩ ගන්වන කාමරය දෙසට.

ඒ වෙලාවේ තිබුණෙ ඇත්තටම මට මහා නිර්භීත කමක්. මම සාමාන්‍ය ජීවිතෙත් අභියෝග රැසකට මුහුණ දීලා තියෙන කෙනෙක්. ලොකු දිරියක් ශක්තියක් තියෙනවා. ඒත් නිතරම ඇසේ කඳුළක් තියෙනවා. හිත හරිම සංවේදී.

මල්ශාලාවේ අය එයාලගේ වැඩ කොටස ඉවර කරලා මම එනකම් එතැන රැඳී ඉන්නවා.

අන්තිමට මම දැක්කෙ මංජු අක්කගෙ කපල කොට ආයිත් මහල දාල තිබුණ ප‍්‍රාණය නිරුද්ධ සිරුර. මට සියල්ල අමතක වුණා.

මම කෑගහලා ඇඬුවා. ඒ වේදනාව දරා ගන්න බෑ” කියන්න වචන හොයා ගන්න බෑ. මගේ ආදරණීය මංජු අක්කා මෙහෙම දකින්න මම කවදාවත් හිතුවේ නෑ. ප‍්‍රාර්ථනා කළේ නෑ. එයාගේ හුරතල් කතා සිනා ඔක්කොම ඉවර කරලා මේ විදිහට ඉන්න හැටි මට බලා ඉන්න බැරි වුණා.

එතකොටම අපේ යෙහෙළි සමාගමේ කුමාරි අක්කගේ මහත්තයා ජයන්ත අයියා එතැනට ආවා. අයියා දැක්ක ගමන් මට මතක් වුණා මම ආව කාරණය. අයියාගේ ඇස්වලින් කිව්වෙ නංගි වැඬේ කරන්න කියලා වගේ. මගේ යෙහෙළියක් වූ කළණිත් එතැනට ආවා. මට ශක්තියක් ආවා. මම එකෙන් එක පිළිවෙළට මල්ශාලාවේ අයත් එක්ක එකතු වෙලා මංජු අක්කට එයාගේ වෙඩින් සාරිය ඇන්දුවා.

මෘත ශරීරයේ අත සම්පූර්ණයෙන් අයින් කරල තිබුණෙ. සර්පය දෂ්ට කර තිබූ අත සම්පූර්ණයෙන් නිල් වෙලා ඉදිමිලා තිබුණා. ජීවිතේ කවදාවත් දුටුවෙ නැති සිතපු නැති මේ අවස්ථාව විස්තර කරන්න ඇත්තට පොතක් ලියන්න තරම්.

සාරිය අන්දවලා ඉවර වෙලා මංජු අක්කගේ මූණ ඒ විදිහටම ගන්න සෑහෙන උත්සාහයක් කළා. මංජු අක්කගේ අනන්‍යතාවය තමයි නළලට කඩා දමා තිබුණ කෙස් රොද. නමුත් එසේ කරන්න හැකියාවක් නෑ. හිසේ පිටුපස කෙස් ඉවත් කර තිබුණ නිසා. හිසේ ඉදිරිපස කෙස් පිටුපසට පීරන්්න සිදු වුණා. එයා හැමදාම ගාන වර්ණවලින් මුහුණ සැරසුවා. එයාගේ වෙඩින් සාරි එකේ ආභරණ ඒ විදිහට දැම්මා. මුහුණ මේකප් කළා. වෙනදා මේකප් එකක් දාන කොට හිනා වෙලා දඟලන මංජු අක්කා මට ඕනෙ එකක් කරන්න කියලා ගල්වෙලා හිටියා. දඟලන්නෙ නැතිව හිටපන් මංජු අක්කේ කියලා වෙනදට කීප සැරයක් කියන්න ඕනෑ. අද ඒ මොකුත් නෑ. නිහඬය.

සියල්ල නිමා වුණා. ජයන්ත අයියා කළණි මේ සියල්ල කරන අතරේ මට මහා ශක්තියක්් ගෙනාවා. එය අමතක කරන්නම බෑ. මල්ශාලාවේ මහත්වරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපි බොහෝ්් වෙලාවක් සරසපු මංජු අක්කා දිහා බලාගෙන හිටියා. ඈත ඉඳන් බලනකොට යළිත් මා සංවේදී වුණා. මම හොඳටම ඇඩුවා. එතැනින් අපි දැන් යා යුතුය. මම යළිත් මංජු අක්කා දිහා හැරිලා බැලූවා.

මම දැක්කා ඒ මුහුණ තුළ සැනසීම නිරාමිස බව සතුට ඒ සියල්ල මගේ ජීවිතයට විශාල අත්දැකීමක් වගේ්ම මරණය පිළිබඳව ජීවිතය පිළිබඳව බොහෝ් දේ මට කියා දුන්නා. මම හිතනවා තමන්ගේ ජීවිතේ තුළ මනමාලියෙක් ලෙස සරසපු කෙනාටම මෘත ශරීරයක් සරසන්න සිද්ධ වෙන දේ දෛවෝපගත දෙයක් කියලා. බොහෝ කලාතුරකින් සිදුවන දෙයක් විදිහට. මංජු අක්කගේ අඩුව අපිට සදාකාලිකව දැනෙනවා. ඒත් එයාගේ මරණය අපිට අලූත් අත්දැකීම්” අලූත් පාඩම්” මිනිසත්කම” මානවවාදී ගුණය මේ සියලූ දේ කියල දුන්න එකක් වුණා.

ගැහැනියක් ලෙස මගේ පෞද්ගලික ජීවිතය තුළ තවත් පියවරක් ශක්තිමත් වුණා. මංජු අක්කාගේ මරණය කම්පනයයි ශක්තියයි ඒ දෙකම අපිට ගෙනාව මංජු අක්කාට නිවන් සුව ප‍්‍රාර්ථනා කරනවා.

සටහන – සුජාතා ජයරත්න – කුමාරි විජේරත්න
ඡායාරූප – සුජාතා ජයරත්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button