පළකල දිනය : Sun, Sep 29th, 2019

මුලතිව් මහ සටනෙන් ආබාධිතවූ තුෂාරගේ එදා සහ අද කතාව

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී යුද්ධය අපට ඉතිරි කළ අමිහිරි මතකයන් බොහෝය. අදටත් ඒ මතකයන් අපගේ සිත් පාරවන්නේය. ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරිය මිනිස් බෝම්බවලට ගොදුරුව ආබාධිත වූ මිනිසුන් හමුවන විට හදවත් කම්පනයට පත්වන්නේය. ඒ සාපලත් ත‍්‍රස්තවාදය විනාශ කිරීමට සටන් කොට අත්, පා අහිමි වූ දෙනෙත් අඳ වී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සමාජයේ දුක්විඳින අයුරු දකින විට අපට, අප ගැන දුක හිතෙන්නේය.

ඒ විරුවන් අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ රට, ජාතියට නිදහස ලබාදීමට ත‍්‍රස්තවාදය විනාශ කිරීමට ගොස්ය. එහෙයින් මේ රටේ සියලූ පුරවැසියන් ඔවුන්ට ණයගැතිය. ඒ වීරෝදාර රණවිරුවන්ගේ දුක, සැප සොයාබැලීම රටේ ජනතාවගේ යුතුකමකි. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ ආබාධිත රණවිරුවන්ට ලැබෙන පඩිපත ආරක්‍ෂා කරගැනීමට ද මහ මඟ උද්ඝෝෂණ කිරීමට ය. සති තුනකට ආසන්න කාලයක් පිටකොටුව දුම්රියපළ ඉදිරිපිට අට්ටාලයක් තුළ වැස්සට තෙමෙමින්, අව්වට පිච්චෙමින් ආබාධිත රණවිරුවන් පීඩා විඳිමින් සිටින්නේ මේ රටේ නායකයන්ගේ මෘග ගති පැවතුම් නිසාය. එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ ආබාධිත රණවිරුවන් අතරට පසුගිය දිනක අපි ගියෙමු.

පිටකොටුව දුම්රියපළ ඉදිරිපිට අට්ටාලය තුළ වාඩි වීගෙන සිටින රණවිරු බිරින්දෑවරු හැර සියලූ විරුවන් ආබාධිතය. ඒ අසරණ මිනිසුන් අතර පාවෙන මගේ දෙනෙත් කකුල් දෙක සහ එක් අතක් අහිමිව පැදුරු කඩමාල්ලක වාඩි වී සිටි පුද්ගලයෙක් අසල නතර විය. මම ඔහු අසලට ගියෙමි. උඩුකය ටී ෂර්ටයකින් වසාගෙන සරොමක් හැඳ සිටි ඔහු කොට කෑල්ලක් වැනිය. දිගට වැවුණු රැවුල ඔහුගේ මුහුණට විප්ලවකාරී පෙනුමක් ආරූඪ කර තිබුණ ද මේ මොහොතේදී ඔහුට කළ හැකි විප්ලවයක් නැත. ඔහුගේ පාද දෙකම දණහියට උඩින් කපා ඇත. එක් අතක් බාහුවෙන්ම කපා තිබිණි. එහෙත් ඔහුගේ හඬ ශක්තිමත්ය. මුවින් පිට වන වචන ගිනියම්ය. ඔහුගේ හදවතේ දැවෙන වේදනාව වචන ලෙස දිය වෙන්නට ඉඩ හැර මානුෂීය මෙහෙයුමේ සටන් වැදුණු නිර්භීත රණවිරුවා මම අවදි කළෙමි.

හේ ටී. ටී. තුෂාර කුමාරය. ඇල්පිටිය කහදූව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන තුෂාර අධ්‍යාපනය ලබා ඇත්තේ වතුරවිල කනිෂ්ඨ විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් අධ්‍යාපනයට තිත තැබූ තුෂාර කුමාර යුද හමුදාවට බැඳීමට තීරණය කර ඇත.

තුෂාරගේ තීරණයට දෙමවුපියන්ගේ වැඩි කැමත්තක් නොලැබුණද 2000 වර්ෂයේ ජනවාරි 10 වැනිදා ඔහු විශේෂ කාර්ය බළකායට එකතු විය. ඒ වන විට ඔහුට වයස අවුරුදු විස්සකි. විශේෂ කාර්ය බළකා සෙබළෙකු ලෙස රාජකාරි ජීවිතය ආරම්භ කළ තුෂාර කුමාර පුහුණුවීම්වලින් පසු උතුර, නැගෙනහිර ක‍්‍රියාන්විත රාජකාරියේම නිරත වී සිටීමට තරම් නිර්භීත යුද භටයෙක් විය.

‘ඒ කාලේ අපිට හොඳ හමුදා පුහුණුවක් ලැබුණා. ඒ පුහුණුවෙන් ලැබුණු පන්නරයෙන් තමයි අත, පය නැතිවත් ශක්තිමත්ව ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නැති නම් මට ආපු ප‍්‍රශ්නවල හැටියට මැරුණු තැන්වල ගසුත් පැළ වෙලා. හිතට දැනෙන ඕනෑම වේදනාවක් විඳ දරාගන්න පුළුවන්. ඒත් පුතාගේ ලෙඬේ ගැන මතක් වෙනකොට පපුව පිච්චෙනවා මහත්තයො. මගේ එකම පුතාට අවුරුදු පහයි. එයාට පිළිකාවක්…’’ තුෂාරගේ වචන ගිලිණි. ඔහුව ප‍්‍රශ්න කරන්නට මට ද වචන නැති විය.

රෝගාබාධ, දුක් කම්කටොලූ, ජීවන ගැටලූ පැමිණෙන්නේ මිනිසුන්ටය. එහෙත් මෙලෙසින් ජීවන ගැටලූවලින් හෙම්බත් වී සිටින පවුලක් ගැන නම් අසන්නට ලැබීම ද අවාසනාවකි. දියණියන් දෙදෙනකු සහ එක පිරිමි දරුවකුගෙන් යුත් කුටුම්බයට ඇති එකම ආදායම් මාර්ගය තුෂාරට ලැබෙන රණවිරු පඩිය පමණි. ඔහුගේ බිරිඳට පුතාව ඉස්පිරිතාලවලට රැගෙන යනවා හැරෙන්නට වෙනත් දෙයක් කරන්නට වේලාවක් නැත.

දියණියන් දෙදෙනාම පාසල් යන කුඩා දැරියන්ය. වැඩිමහල් දියණිය හය වසර පන්තියේ අකුරු කරන්නීය. දෙවැනි දුව තුන වසර පන්තියේ ඉගෙනගන්නීය. තුෂාරගේ එකම පුතා යසිරු දෙනුවන් තවම පෙර පාසල් යන වයසේ පසුවන්නේය. පුංචි දෙනුවන් පිළිකා රෝගයෙන් පිඩා විඳීමත් සමඟ පෙර පාසල් අධ්‍යාපනය ද ඔහුට අහිමි වී ඇත. දෙනුවන් පුතාව ඉක්මනට සුවපත් කරගැනීමට තුෂාරගේ බිරිඳ නොගන්නා උත්සාහයක් නැති බව කියන විට තුෂාරගේ දෙනෙත් වීදුරු බෝල මෙන් කඳුළුවලින් දිලිසිණි.

‘‘සෑම සතියේම සිකුරාදාට පුතාව මහරගම පිළිකා රෝහලට අරගෙන යනවා. දරුවා අරගෙන යන්නෙ නෝනා. දුවලා දෙන්නාගේ වැඩ ටික එයාලා කර ගන්නවා. මගේ සියලූ වැඩ කරගන්නෙ මමයි. රෝද පුටුවෙන් බාත්රූම් එකට ගිහින් නාගන්නවා. රෙදි ටික හෝද ගන්නවා. කුස්සියට ගිහින් හොද්දක්, බතක් හදාගන්නත් පුළුවන්. ගමේ උවමනා ගෙවල්වලට යනවා. කඩපිළට ගිහින් ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම ටික ගේනවා. මගේ ගමන් බිමන්වලට යාළුවෙක් මට රෝද තුනක යතුරුපැදියකුත් හදලා දීලා තියෙනවා. මට තියෙන එකම අඩුව ඇවිදින්න බැරි එක විතරයි. ඒත් වෙඩි වැදිලා කකුල් දෙකයි, අතයි කැඩිලා වැටුණු මොහොතෙ නම් හිතුණෙ මැරුණා නම් හොඳයි කියලා. මාත් එක්ක හිටිය කොල්ලන්ට කිව්වේම වෙඩි තියලා මරා දාපල්ලා කියලා. ඒත් උන් මට වෙඩි තිබ්බේ නෑ…’’ තුෂාරගේ ජීවිතයේ අවාසනාවන්තම මොහොත නැවතත් ඔහුට සිහිපත් විය. හේ කතාව නතර කළ දිගු සුසුමක් පිට කළේය.

‘‘මානුෂීය මෙහෙයුමේ අන්තිම කාලේ. 2008 අවුරුද්දේ මාර්තු 2 වැනිදා. එදා අපි අටේ කණ්ඩායමක් බැහැලා මුලතිව් කැලේ ඇල්ෆා වන් බේස් කොටි කඳවුරට පහර දුන්නා. මුලතිව් කැලේ තිබුණු විශාලතම කොටි කඳවුර. පළමුදා ? තමයි අපි කඳවුරට කිට්ටු කළේ. වටේ හොඳට සෝදිසි කරලා පාන්දර ගහන්න පටන් ගත්තා. එළිය වැටෙනකොට කොටි කඳවුරේ සියලූ බලය අපේ අණසකට අරගෙන ලයින් එක කවර් කරන්න තව භට කණ්ඩායම් කිහිපයකුත් ගෙන්න ගත්තා.

අපි අටදෙනා තව, තවත් ගහගෙන ඉදිරියට ගියා. හිටි හැටියේ අපි ඉස්සරහට මෝටාර් එකක් වැටුණා. මම තමයි ඉදිරියෙන්ම හිටියේ. ඒ මොහොතේම මගේ කකුල් දෙක කැඩිලා විසි වුණා. එක අතක් කැඩිලා හමෙන් එල්ලි, එල්ලී තිබුණා. තව එක්කෙනකුට සුළු තුවාල වුණා. අනිත් හයදෙනාට කිසිම හානියක් නෑ. එතකොටත් මට හොඳට සිහිය තියෙනවා. කොල්ලො මාව උස්සගෙන දිව්වා. ‘දැන් මට ඉඳලා වැඩක් නෑ. උඹලා මට කරන උදව්වක් නම් වෙඩි තියලා දාපල්ලා…’ මම කෑගැහුවා. ඒත් උන් මට වෙඩි තිබ්බේ නෑ…’’

‘‘කැලේ ඇතුළේ ඉඳලා කිලෝ මීටර් හයක් කොල්ලො උස්සගෙන ඇවිත් තුවාල වෙච්ච අයව ගන්න භට කණ්ඩායමට මාව භාර දුන්නා. තව කිලෝ මීටර් හතරක් විතර එයාලා උස්සගෙන ඇවිත් ට‍්‍රැක්ටරයකට දැම්මා. ට‍්‍රැක්ටරය කිලෝ මීටර් හයක් විතර ඇවිත්, එතැනින් බස් එකකට දැම්මා. බස් එකත් කිලෝ මීටර් පහක් විතර ඇවිත් තමයි ඇම්බියුලන්ස් එකකට දැම්මේ. ඇම්බියුලන්ස් එක ඇවිත් වැලිඔයෙන් මාව චොපර් එකට දානකොට හවස තුනත් පහුවෙලා තිබුණා. වෙඩි වැදුණේ උදේ දහයයි ගානට. වැලිඔයට එනකොට මට හොඳටම අමාරුයි. චොපර් එකට දානකොට මම ඩොක්ටර්ට කිව්වා ටිකක් අමාරුයි කියලා. එතකොටම ඒ ඩොක්ටර් බෙහෙතක් විද්දා.

ඒ මොහොතේ ඉඳලා දවස් විසිඑකකට පස්සෙ තමයි නැවත පියවි සිහියට ආවේ. එතකොට මම හිටියේ අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. කකුල් දෙකයි, අතයි කපලා අයින් කරලා තිබුණා. ඊට දවස් දහයකට විතර පස්සෙ නාරාහේන්පිට යුද හමුදා රෝහලට මාරු කරලා එව්වා. ඒ රෝහලෙත් මාසයකට වැඩි කාලයක් ඉඳලා තුවාල හොඳටම හොඳ වුණාට පස්සෙ රණවිරු සෙවණට දැම්මා. අන් අයගේ උදව් උපකාර නැතිව තමන්ගේ වැඩ ටික කරගන්න රණවිරු සෙවණෙන් හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඊට පස්සෙ මාව අපේ රෙජිමේන්තුවට දැම්මා. ඊට ටික කාලයකට පස්සෙ තමයි ගෙදරට ගෙනත් බැස්සුවේ. ඒ ඇවිල්ලත් අවුරුදු දෙකක් විතර යනකම් කපා දාපු අතපය ඇඳුම් කෑවා…’’

‘‘අපි, අපෙන් රටට විය යුතු උපරිම සේවය ඉෂ්ට කරලා තියෙන්නෙ. නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදී අටේ කණ්ඩායම් විදිහට කොටි බලකොටුවලට බැහැලා කඳවුරු පිටින් විනාශ කරලා ඇවිත් තියෙනවා. වාකරේ, තොප්පිගල මහ කැලේ කොටි කඳවුරුවලට බැහැලා පුපුරුවනකම් උන් දැනගෙන හිටියේ නෑ. උතුරේදීත් එහෙමයි. අටේ කණ්ඩායම් විදිහට කොටි අඩවිවලට බැහැලා කොටි ඇඳුම් ඇඳගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විදිහට වෙස් වලාගෙන ඉඳලා තියෙනවා. එහෙම ඉඳලා කොටි නායකයන් ඉලක්ක කරලා බෝම්බ තියලා තියෙනවා. කොටි කණ්ඩායම් පිටින් යන ට‍්‍රැක්ටර් ඉලක්ක කරගෙන ක්ලේමෝ තියලා තියෙනවා.

කොටි අඩවිවලට බැහැලා කොටු වෙලා එන්න බැරිව හිටිය අවස්ථාත් තියෙනවා. සාමාන්‍යයෙන් දවස් හතකට තමයි ටාගට් කරලා යන්නෙ. කැලේ කොටු වුණාට පස්සෙ තවත් දවස් දෙක තුනක් වැඩිපුර ඉන්න වෙනවා. ඊටත් වඩා ඉන්න වෙච්ච අවස්ථා තිබුණා. අන්තිම දවස් වෙනකොට වතුරවත් නෑ. ඒත් ඉතිං මරණයෙන් ගැලවිලා හමුදා ප‍්‍රදේශයට එනකොට බඩ පිරිලා. ඒ වගේම ටාගට් එක අරගෙන එනකොට හිතට පුදුම මොරාල් එකක් එන්නෙ. ඒ ආපු පිම්මෙන්ම තවත් ටාගට් එකක් ගන්න යන්න හිතෙනවා. ඒත් ඉතිං අටදෙනාගෙන් එක්කෙනෙක් පිස්සුවක් නැටුවා නම් අටම ඉවරයි. කොටි අඩවියට ගිහිල්ලා එනකම් ජීවිතය ගැන කිසිම විශ්වාසයක් නෑ…’’

‘මානුෂීය මෙහෙයුමේදී ගන්න අමාරුම වෙච්ච තැනක් තමයි මුලතිව් ඇල්ෆා වන් බේස් කඳවුර. ඒ කඳවුර භාරව හිටියේ එල්.ටී.ටී.ඊ. නායිකාවක්. අදටත් ජනප‍්‍රිය චරිතයක්. දැන් උන්ගේ නම් කිව්වොත් අපිට නඩු දාන්නත් ඉඩ තියෙනවා. ඒ ගෑනිගේ සුපිරිම බලඇණියක් හිටියා. උන් හරියට රාක්‍ෂයන් වගෙයි. අපේ අය තුන් හතර වතාවක්ම ගහන්න ගිහින් පසුබැස්සා. එල්.ටී.ටී.ඊයේ පසු බැහැලා යන සේරම කොටිත් ඇල්ෆා වන් කඳවුරට එක්රොක් වුණා. කොටින්ගෙත් උපරිම ශක්තිය එතැන තිබුණා. එහෙම කඳවුරක් තමයි පැය කිහිපයක් තුළදී අපි අටදෙනා ගහලා ගත්තෙ. කඳවුර අල්ලගෙන, තවත් ඉදිරියට ගහගෙන යනකොට තමයි මට වෙඩි වැදුණේ. මගේ හමුදා ජීවිත කාලයට ඒ අනතුරක් වුණාමයි.

වෙච්ච අනතුරෙන් සදාකාලික ආබාධිතයෙක් බවට පත් වුණා. අත, පය නැති වුණේ රට වෙනුවෙන් කියලා හිතලා එදා සතුටු වුණා. ඒත් දැන් මේ වෙන දේවල් එක්ක දුක් වෙනවා. අපේ ජීවිත ගැන හිතන්නෙ නැතිව සටන් කළේ අයිතිවාසිකම් ඉල්ලගෙන පාරෙ උද්ඝෝෂණ කරන්න නෙමෙයි. මැරෙනකම් නිදහසේ ජීවත් වෙන්න. මර බියෙන් තොරව අපේ දරුවන්ට පාරෙ බැහැලා යන්න. එහෙම කැප කිරීම් කරපු අපිට මේ ආණ්ඩුව සලකන්නෙ සත්තුන්නට වගෙයි. මංගල මහත්තයා කියනවා ආමී කාරයො එක්ක කතා කරන්නවත් කැමති නෑ කියලා. එහෙම කතා කරන මංගල මහත්තෙලත් නිදහසේ පාරවල්වල යන්නෙ අපි නිසා කියලා හිතනවා නම් ඒ ඇති…’’ වීරෝදාර තුෂාර තවත් බොහෝ දේ අපට කීවේය. ඒ සියලූ විස්තර ලියා තැබීමට මේ ලියැවිල්ල ඉඩ මදිය. එහෙයින් ඔහුගේ කතාවට විරාමයක් තබා මේ කෙටි වචන කිහිපය සටහනට එකතු කර තැබීමට අපි අදහස් කළෙමු.

මානුෂීය මෙහෙයුමේදී මුලතිව් ඇල්ෆා වන් බේස් කොටි කඳවුර අත්පත් කරගැනීමේ සටනේදී මෝටාර් ප‍්‍රහාරයකට ගොදුරුව තුෂාරගේ අත, පය කැඞී විසි වන විට ඔහුට වයස අවුරුදු විසිනවයකි. දැන් තුෂාරගේ වයස අවුරුදු හතළිහකි. පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වී දැනට අවුරුදු එකොළහකි. ආණ්ඩුවෙන් ඔහුට ගෙවන පඩිය රුපියල් හැටපන්දහස් හත්සිය හැත්තෑවකි. වයස අවුරුදු පනස් පහෙන් ඔහු විශ‍්‍රාම යන්නේ නම් මේ ලැබෙන වැටුප ඔහුට ලැබෙන්නේ තවත් අවුරුදු පහළොවක් පමණි.

එතැනින් එහාට ඔහුට ලැබෙන්නේ සොච්චම් විශ‍්‍රාම වැටුපකි. මේ ලැබෙන වැටුපෙනුත් දෙනුවන් පුතාගේ බෙහෙත් හේත්වලට වියදම් කළාට පසු තුෂාර ඇතුළු පවුලේ සාමාජිකයන්ට හරිහැටි තුන්වේල කෑමටවත් ඉතිරි මුදල ප‍්‍රමාණවත් නැත. එහෙව් පසුබිමක අවුරුදු පනස් පහෙන් පසුව ලැබෙන සොච්චම් විශ‍්‍රාම වැටුපෙන් මේ මිනිසුන් කෙසේ ජීවත් වන්නේද? ඒ වෙනකොට තුෂාරගේ කපා දමා ඇති දෙපා සහ අත ලියලන්නේ ද නැත. එමෙන්ම මේ පවතින ආර්ථික ක‍්‍රමය යටතේ ඒ වන විට ජීවන වියදම විශාල ලෙස වැඩි වන බව නොකිවමනාය. එහෙයින් තුෂාරලාගේ ජීවිතවලට යන කල දසාව සිතාගැනීමටවත් අසීරුය.

තුෂාර උත්පත්තියෙන් අත, පය අහිමි ආබාධිතයෙක් නොවේ. ඔහුගේ වටිනා ජීවිතය කැප කර ඇත්තේ ත‍්‍රස්තවාදයෙන් මේ රට නිදහස් කරගැනීමටය. ඒ අපරිමිත කැප කිරීම සොච්චම් වැටුපකට සීමා කළ නොහැකිය. යුද්ධයෙන් ආබාධිත තුෂාරලා පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන් ද ආණ්ඩුව රැකබලා ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට ආර්ථික ශක්තියක් නැති නම් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රටේ ජනතාවගෙන් බදු මුදලක් හෝ අය කර ඒ යුතුකම ඉටු කළ යුතුය. සංවේදී හදවත් ඇති රටේ ජනතාව මරණ බිය නැති කර දැමූ රණවිරුවන් වෙනුවෙන් ඒ කැප කිරීම කිරීමට පසුබට නොවන බව අපගේ විශ්වාසයයි.

එමෙන්ම රට, ජාතිය මරණයෙන් ගලවාගැනීමට ත‍්‍රස්තවාදය වැනසීමට ගොස් අත්, පා අහිමි වී ආබාධිත තත්ත්වයට පත් වූ තුෂාර කුමාරගේ දෙනුවන් පුතාව පිළිකා මාරයාගෙන් බේරාගැනීමට ඔබට යම් දෙයක් කළ හැකි නම් 0778573301 දුරකථනය ඔස්සේ තුෂාර කුමාරට කතා කළ හැකිය. රණවිරු තුෂාර වෙනුවෙන් කළ හැකි යුතුකම අපි ඉටු කළෙමු. ඔබ, ඔබේ යුතුකම ඉටු කිරීමට පසුබට නොවෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

තරංග රත්නවීර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button