පළකල දිනය : Fri, Oct 4th, 2019

ශ්‍රීපාද විද්‍යාලයේ නිසංසලා ගුරුවරිය අතුරුදන්

පාසල නිමවී කිලෝ මීටර් 60 ක්‌ පමණ දුර ගෙවා නිවසට පැමිණෙමින් සිටි තරුණ ගුරුවරියක්‌ නිවසට මීටර් 100 ක්‌ පමණ තිබියදී අතුරුදන්ව ඇතැයි ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ගම්පොල පොලිසිය සඳහන් කරයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ගම්පොල කීරපනේ පදිංචි චන්දිමා නිසන්සලා රත්නායක නමැති 27 හැවිරිදි ගුරුවරියකි.

ඇය හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ සේවය කරන අතර පසුගිය පළමු වැනිදා එසේ පාසල නිමවී නිවසට එමින් සිටියදී සවස 4.00 න් පසු මෙසේ අතුරුදන්ව ඇත.

මෙම තරුණ ගුරුවරිය උපාධිධාරිනියක්‌ වන අතර ඇය ශ්‍රී පාද විද්‍යාලයේ 6 වසර පංතිය භාර ගුරුවරිය වූවාය. ඉංගී්‍රසි විෂය පිළිබඳ හසළ දැනුමක්‌ ඇති ඇය පාසලේ ඉංගී්‍රසි විෂය උගන්වා තිබේ.

පාසල නිම වීමෙන් පසු ඇය තවත් ගුරුවරියක්‌ සමඟ ගම්පොළට පැමිණ ඇති අතර බසයෙන් බැස පා ගමනින් ඇය තම නිවස වෙත යමින් සිට ඇත.

නිවසට ආසන්නයේ ඇති ඉගෙනුම උසස්‌ අධ්‍යාපන ආයතනයේ සීසීටීවී කැමරා දර්ශනවල ඇයගේ ගමන සටහන්ව ඇත්තේ සවස 4.06 ටය. ඒ වනවිට වර්ෂාවද ආරම්භ වී තිබී ඇති අතර ඇය කුඩයක්‌ ද රැගෙන එම ස්‌ථානයෙන් පිටව යන අයුරු ඉතා පැහැදිලිව දක්‌නට තිබේ.

චන්දිමාගේ මව වන චන්ද්‍රd ජයවීර මහත්මිය එම සිද්ධිය මෙසේ විස්‌තර කළාය.

මගේ දුව ගම්පොල පොලිසියේ පොලිස්‌ නිලධාරියෙක්‌ සමග විවාහ ගිවිස ගෙන ඉන්නේ. එයා හැමදාම ඉස්‌කෝලේ ඉවර වෙලා 4.30 විතර වෙන කොට නිවසට එනවා.

පළමුවැනිදා එයා හවස 6 වෙනතුරුත් ගෙදරට ආවේ නැති නිසා අපි පාසලේ විදුහල්පතිතුමාට කතා කරලා ඇහුවා ඉස්‌කෝලේ රැස්‌වීමක්‌වත් තියෙනවා ද කියලා. විදුහල්පතිතුමා කීවා වෙනදා වේලාවට එයා පාසලෙන් ආවා කියලා?

දුවගේ දුරකතනය වැඩ කළෙත් නෑ. අපි මේ ගැන හොයලා බලන කොට අනෙක්‌ ටීචර්ලාගෙන් දැන ගත්තා එයා ගම්පොල බස්‌ නැවතුම්පළෙන් බැස්‌සා කියලා.

ඊට පස්‌සේ අපි ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ කැමරා පරීක්‍ෂා කරන කොට එයා නිවසට එන බව තහවුරු වුණා. ගමේ අයයි පොලිසියයි දුව හෙව්වා තාම ආරංචියක්‌ නෑ. කවුරු හරි එයා පැහැර ගත්තද කියලත් අපට සැකයක්‌ තියෙනවා. වැස්‌ස තිබුණු නිසා ගමේ අයයි පොලිසියයි ඇළවල් කාණුවලත් හෙව්වා. කවුරු හරි එයා ගැන තොරතුරක්‌ දන්නවා නම් අපට හරි පොලිසියට හරි දැනුම් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.

ගම්පොල – සුරංග දිල්හාන්
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button