පළකල දිනය : Mon, Oct 7th, 2019

අදීෂ නෙතුම්ට ශිෂ්‍යත්වයෙන් ලකුණු 199ක්

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ඊයේ නිකුත් කෙරිණි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා දිවයිනේ ඉහළම ස්ථානය ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දුෂ්කර පාසලක දරුවෙකි.

ඔහු නමින් එච්. එම්. අදීෂ නෙතුම් හේරත් ඔහු ඉගෙනුම ලබන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයට අයත් මහව අධ්‍යාපන බල ප‍්‍රදේශයේ සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රාථමික විද්‍යාලයේය. එය ගල්ගමුව නගරාසන්නයේ පිහිටා ඇත. අදීෂ නෙතුම්ගේ ගම මහගල්කඩවලය.

ගල්ගමුව නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ අනුරාධපුර දෙසට ගමන් කරන විට හමුවන කුඩා ගම්මානයකි. ඔහුගේ පියා ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරි ලෙස සේවය කරන එච්. එම්. විජය කුමාර හේරත්ය. මව එස්. ජේ. ඉන්දිකා පි‍්‍රයංගනී වන අතර ඇය උතුරු මැද පළාත් කාර්යාලයේ පරිසර නිලධාරිනිය වේ.

අප ඊයේ (6දා) දහවල් පුංචි අදීෂගේ නිවසට යන විටත් ඔහු කි‍්‍රකට් ක‍්‍රීඩා කිරීමට ළඟ නිවසකට ගොසින්ය. ඔහුගේ පි‍්‍රයතම ක‍්‍රීඩාව එය බව දැන ගැනීමට ලැබුණි. අදීෂ අප සමඟ ඉතා කුළුපගව කථා කළේය. ‘‘මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අක්කී සඳනි නෙත්මිකා. එයා 2014 ශිෂ්‍යත්ව විභාගය ලීවා. ලකුණු 192 යි. පොඩි අක්කී සනුජි ඉමංෂා එයා 2017 දී විභාගය ලිව්වා. ලකුණු 184 යි.

දැන් ඒ දෙන්නම කුරුණෑගල මලියදේව ඉස්කෝලෙට යන්නේ. මම තුනේ පංතියේ ඉඳලා විභාගයට සූදානම් වුණා. මම එදා කීවා ලොකු අක්කිට වඩා එක ලකුණක් හරි වැඩිපුර ගන්නවා කියලා. මම අමතර පංතියකටත් ගියා. හැබැයි ඉස්කෝලෙන් තමයි හරියට වැඩ ටික කළේ. හවසට නම් කි‍්‍රකට් ගහන්න යනවා. යාළුවොත් එක්ක සෙල්ලම් කළා. අප්පච්චි නම් කීවේ සෙල්ලමට එච්චර යන්න එපා කියලා.’’

‘‘මම විභාගය ලියලා ආවට පස්සේ පොඩි බයක් තිබුණා. ලකුණු අඩුවෙයිද කියලා. ඒත් මට විශ්වාසයක් තිබුණ කොහොම හරි ලොකු අක්කිගේ ලකුණු පසු කරනවාමයි කියලා ඔහු කීවේය.

‘‘කෝ දැන් අක්කිලා දෙන්න’’ ඒ අප නැගූ ප‍්‍රශ්නයයි.

‘‘එයාලා සමස්ත ලංකා තරග වගේකට ගිහින්.’’

‘‘පුතා ලොකු වුණාම කවුරු වෙන්නද ආසා’’

අපෙන් තවත් ප‍්‍රශ්නයකි.

‘‘මම ගණිත අංශයෙන් ගිහිං ඉංජිනේරුවෙක් වෙලා අපේ රටට සේවය කරනව. ඒ පුංචි අදීෂගේ සිහිනයයි. එම සිහිනය බොඳ නොවේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප‍්‍රාථමික විදුහලේ වර්තමාන විදුහල්පති වරුණ බණ්ඩාර මහතාගෙන් ලැබුණු උදව් උපකාර පුංචි අදීෂ මතක් කළේ ඉතාමත් භක්තියෙනි. ඒ වගේම පංති භාර ගුරුවරුන් වන චන්දන තෙන්නකෝන්, සරත් කුමාර සහ පුබුදු රණසිංහ යන මහත්වරුන් ගැනද ඔහු සිහිපත් කළේය. පුංචි අදීෂගේ දෙනෙතේ සතුටු කඳුළු දිස්වූයේ පුංචි මිණිකැට ලෙසය.

ලොකු සර් පන්තියේ ළමයි 98 දෙනාටම හැම දවසකට පාන්දර කෝල් කරනවා. ළමයට පාඩම් කරන්න කියන්න කියලා කියනවා. ලොකු සර්ගෙ පුදුම උනන්දුවක් තිබුණේ ළමයි ගැන. මගේ හදපිරි ස්තූතිය මාධ්‍ය මගින් ලබාදෙන්න ඒ විදුහල්පතිතුමාට. ඒ අදීෂගේ පියා වන විජය කුමාරගේ අදහස්ය. තවදුරටත් අප හා කතා කළ විජය කුමාර මහතා මෙසේද කීවේය.

අපේ ළමයි තුන්දෙනාම ඉහළින්ම ශිෂ්‍යත්ව පාස් වුණා. අපිට ළමයින්ට දෙන්න පුළුවන් උපරිම දායාදය ඉගෙනුමයි. පුතා එදා විභාගය ලියලා ඇවිත් මට කීවා මම ලකුණු 200 ම ගන්නවා කියලා. මට පුදුම හිතුණා පුතා මේ මොනවද කියන්නේ කියලා. ඒ නිසා මම පසුගිය මාසේ ශිෂ්‍යත්ව ප‍්‍රශ්න පත‍්‍රය සොයාගෙන නියමිත කාලයට අනුව උත්තර ලියන්න කීවා. පුතාගේ පළමු පේපර් එකට ලකුණු 100 යි. දෙවැනි එකට 99 යි. මටත් පුදුමයි. අද ඒ ලකුණුම පුතාට ලැබිලා.’’

සේනක ඉලංගකෝන් – මහගල්කඩවල, ඒ. කරුණාතිලක – හූරිගස්වැව
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button