පළකල දිනය : Mon, Oct 7th, 2019

කටුපොත එරංගිගේ දුක හිතෙන්න කතාව

නිවස ඉදිරිපිට සිටි පොළගෙක් දෂ්ඨ කිරීමෙන් ගලේවෙල කටුපොත ප්‍රදේශයේ එක් දරු මවක් මියගොස් ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල කටුපොත ප්‍රදේශයේ පදිංචි ඊ.කේ එරංගි දිනුෂ චන්ද්‍රසිරි නමැති 27 හැවිරිදි මවකි.

පසුගිය පස්වන දින සවස 7.00 ට පමණ ඇය සිය පියාගේ නිවසට ගොස් නැවත තමාගේ නිවෙස බලා ගමන් කිරීම සඳහා නිවසෙන් එළියට එන විට දී ඒ ආසන්නයේ සිටි පොළගෙක් පාදයට දෂ්ඨ කොට ඇතැයි ඇයගේ පියා වන ඊ .කේ. චන්ද්‍රසිරි මහතා පැවසීය.

මියගිය එරංගි දිනුෂා හට වයස අවුරුදු දෙකහමාරක් පමණ කුඩා පුතෙකු සිටින බවත් ඔහුගේ සැමියා වන කේ.ඩී.සුජීව කුමාර මහතා යුද හමුදා සෙබළෙකි.

මියගිය එරංගි දිනුෂා මහත්මියගේ දේහය ඇයගේ නිවස අලූත්වැඩියා කරන නිසා ඥාති නිවසක එනම් පොළගා දෂ්ඨ කළ නිවසේම තැන්පත් කොට තිබේ.

සැමියා වන කේ. ඩී.සුජීව කුමාර මහතා කියා සිටියේ තම බිරිඳට සර්පයෙකු දෂ්ඨ කළ බවට ඥාතීන්ගෙන් තොරතුරු ලැබුණු බවත් තමන් ඒ වනවිට කොළඹ යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි බවයි.

තම වයස අවුරුදු දෙක හමාරක් වූ පුතා මව ඉල්ලා හඬා වැටෙන බවත් තවමත් මව මියගිය බව පුතා නොදන්නා බවද ඔහු කියා සිටියේය.

පොළඟා දෂ්ට කිරීමත් සමඟ වහාම මියගිය එරංගි දිනුෂා මහත්මියගේ පියා වන ඊ .කේ .චන්ද්‍රසිරි මහතා තුවාල වූ පාදය වහා සබන් දමා පිරිසිදු කොට ත්‍රීරෝද රථයකින් ගලේවෙල රෝහලට රැගෙන ගිය බවත් රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් ඇය මියගොස් තිබුණු බව වෛද්‍යවරු සඳහන් කළේ යැයි හෙතෙම පැවසීය.

තම දියණිය පොළඟා දෂ්ට කිරීමත් සමඟ දැඩි භීතියට පත්ව සිටි බවත් ඇයට බිය නොවී සිටින ලෙස තමන් අවවාද කළ ද දියණිය දැඩි බියකින් පසු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මියගිය එරංගි දිනුෂා චන්ද්‍රසිරි මහත්මියගේ අවසන් කටයුතු හෙට(08) දින පස්වරුවේ කටුපොත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button