පළකල දිනය : Sat, Oct 12th, 2019

ගම්පොළ ගුරුවරියගේ කතාව

දින අටක් පුරා අතුරුදහන්ව සිටි ගම්පොල තරුණ පාසල් ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවෙන් පසු ගම්පොල දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් ඇය ගමන් ගත් මාර්ගයේ පැති කාණුවට වැටුණා යැයි සැකකරන ස්ථානය හා එම කාණුවේ ජලය වැටෙන ඇල මාර්ගය පිළිබඳව යළිත් පෙරේදා (10) සවස ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබීය.

මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට ප්‍රථම දිසා විනිසුරුවරයා විසින් අධිකරණය තුළදී බොහෝ වේලාවක් මෙම ගුරුවරිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය මඟින් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලූ අතර ඒ සඳහා ගම්පොල අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. කපිල බණ්ඩාර අධිකරණය වෙත කැඳවා තිබුණි.

සෙව්වන්දි නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි මෙම ගුරුවරිය පාසල නිම වී නිවස වෙත එමින් සිටියදී පසුගිය ඔක්තෝබර් පළමුවන දින සවස නිවසට ආසන්නයේදී අතුරුදහන් වුවාය.

නිවස ආසන්නයේ ඇති අධ්‍යාපන ආයතනයක cctv කැමරාවක ඇය නිවසට එන අයුරු සටහන්ව තිබූ අතර ඉන් දින අටකට පසු ඇගේ සිරුර වික්ටෝරියා ජලාශයේ හාරගම ප්‍රදේශයේ ජලයේ රැඳී තිබියදී ධීවරයෙකු දැක ඒ පිළිබඳව තලාතුඔය පොලිසිය වෙත දන්වා තිබුණි.

ඒ අනුව ගම්පොල තීරපන ප්‍රදේශයේ පැති කාණුවකට වැටී එයින් ඇලකටත් ඉන් පසුව මහවැලි ගඟටත් වැටුණු ඇගේ සිරුර දොළුව, ගෙලිඔය, පේරාදෙණිය, ගැටඹේ, මහනුවර, කටුගස්තොට, කුණ්ඩසාලේ,‍ පොල්ගොල්ල ජලාශය තලාතුඔය දක්වා කි‍ලෝමීටර් 40කට අධික ප්‍රමාණයක් ගසාගෙන යාම ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුවක් වී ඇත.

ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ඇගේ සාරියේ කොටසක් හැට්ටය හා යට ඇඳුම් මෙන්ම ඇය පැළඳ සිටි පවුම් තුනක් වූ රන් මාලයද සිරුරේ තිබී සොයා ගෙන තිබුණි.

පසුගිය නව වන දින ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණෂ කටයුතු සිදු කළ මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිවසුබ්‍රමනියම් මහතා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු යොදනු ලැබීය.

ගම්පොල මහේස්ත්‍රාත්වරයා ඇය නිවසට යන අවස්ථාවේ ඇගේ රුව තිබූ cctv කැමරා දර්ශන සටහන්වූ ස්ථානයද පරීක්ෂාවට ලක් කළ අතර ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ද ලබා ගත්තේය.

නව වන දින මහනුවර මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු දේහය ගම්‍‍පොල තීරන අගේ ගමට රැගෙන විත් එදිනම සවස ගම්පොල පොදුසුසාන භූමියේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මිහිදන් කරන ලදී.

ගම්පොල සමූහ
Source – Dinamina

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button