පළකල දිනය : Tue, Oct 15th, 2019

මාත් එක්ක රට වටේ යන්න පුළුවන් නම් එන්න

තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වතු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති වතු කම්කරු ජනතාවගේ හමුවක් අමතමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ප්‍රාදේශීය ජනහමු මාලාවේ තවත් හමුවක් ඊයේ පස්වරුවේ රත්නපුර මහනගර සභා ශාලාවේදී පැවැත්විය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සංවිධාන කළ එම හමුවට වතු කම්කරු නියෝජිතයින් ද සහභාගි වී සිටියේය.

මෙම අවස්ථාවේ දී ජනතාව ඇමතු සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, වතු ජනතාවට හිමි වන්නේ තුන්වන පන්තියේ සැළකිලි බවයි.

ඔවුන් සෑම ආකාරයකින්ම තැලෙන පොඩි වෙන පිරිසක් බවත් පැවසු ප්‍රේමදාස මහතා, රජයේ සංඛ්‍යා ලේඛන අනුව පවුලේ සිව් දෙනෙක් ජිවිත් වීමට නම් රුපියල් 55,000 ක මුදලක් අවශ්‍ය බවද මෙහිදී පැවසීය.

කවුරු මොන කථා පැවසුවත් වතු ජනතාවට ලබා දෙන රුපියල් 750 ඉතාම නින්දිත බවද පැවසු ප්‍රේමදාස මහතා මෙය ඉතා පහත් වැඩක් බවද කියා සිටියේය.

තම අනාගත බලාපොරොත්තුව වන්නේ, වතු කේෂ්ත්‍රයේ කම්කරුවන් ලෙස නොව කුඩා තේ වතු හිමිකරුවන් කිරීම බවද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, නව ක්‍රමයක් තුළින් කුඩා තේ වතු තුළින් කිසිවෙකුට යටත් නොවී තම ශක්තියෙන් අභිමානවත් ජන ජීවිතයක් උදාකර දීම තම එකම බලාපොරොත්තුව බවද පැවසීය.

වතු කම්කරුවන්ගේ ප්‍රශ්න හා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ගැටළු ඇති බවත් පැවසු ප්‍රේමදාස මහතා, “මිත්‍රවරුණි මගේ විරුද්ධවාදියා වගේ නෙමෙයි මම ඔය ඔක්කෝම දන්නවා“ යනුවෙන් ද කියා සිටියේය.

තම විරුද්ධවාදියා හැමදාම ඉගෙන ගන්නා බවත් පැවසු ඒ මහතා තමාට කිසිවක් ඉගැන්වීමට නැති බවත් තමාගේ ඇගේ ඇත්තේ ප්‍රේමදාස ලේ බවත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ සහභාගි වූයේ දැරණියගල නගරයේ පැවති ජනරැලියටයි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, 16 වෙනිදාට තමාව තරුණ ජනාධිපතිවරයා වශයෙන් පත් කරන විට, තමාගේ තරුණකම තුළින් කර්මාන්තවලින් පිරිණු ලංකාවක් ඇති කරන බවයි.

අද දිනයේ පවත්වන 4 වන රැස්වීම මෙය බවත් පැවසු ප්‍රේමදාස මහතා, එහෙත් තමාට කිසිදු මහන්සියක් නොමැති බවත් පැවසීය.

වාහනයේ යන විට මහන්සිය වැඩි වන බවත් පැවසු ඒ මහතා, වේදිකාවට නැග ජනතාවගේ මුහුණ බැලීමේ දී සජිත් ප්‍රේමදාසට අමතර ඔක්සිජන් එකක් ලැබෙන බවද කියා සිටියේය.

එසේ සිදුවන්නේ අසීමිත ආදරය නිසා බවද පැවසු ප්‍රේමදාස මහතා, රට ආරක්ෂා කරන්න ඉන්න අයට හැකිනම් “සජිත් එක්ක රට වටේ යන්න පුළුවන් නම් එන්න“ යනුවෙන් අභියෝග කර සිටියේය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණේ ඇහැළියගොඩ පොළ භූමියේ සංවිධාන කළ ජනරැලියටයි.

මෙහිදී අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ, තමා දේශපාලන රූකඩයක් නොවන බවයි.

තමා වහල් ජනාධිපති අපේක්ෂකයෙක් නොවන බවත් පැවසු ඒ මහතා, ජනතාව දිනවන විට තමාව පාලනය කරන්න කිසිවෙකු නොමැති බවත්, තමාව පාලනය කරන්නේ පුංචි මිනිසුන් බවද කියා සිටියේය.

තමා අතින් සුළු වැරදි සිදුවන බවත්, එවැනි අවස්ථාවක සමාව ඉල්ලා සිටීමට තමාට හැකි බවත්, තමාට පොදු ජනතාවගේ හද ගැස්ම ඇති බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Source – AdaDerana

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button