පළකල දිනය : Tue, Oct 15th, 2019

තේනුවරට කමල් ගුණරත්න කිව්ව සැර කතාව මෙන්න

“අපි යුද හමුදාවේ ඉන්න කාලේ අපට තිබුණෙ රණවිරු ගාය. ඒ ගාය නිසා තමයි ප්‍රභාකරන්ගේ ගාය සදහටම අවසන් කර ජනතාවට නිදහස ලබා දුන්නේ. අපේ රණවිරුවන් දහස් ගණනින් මියැදුණේ රට වෙනුවෙන්. දහස් ගණන් තුවාල ලැබුවේ රට වෙනුවෙන්. ඒ නිදහස භුක්ති විඳින්නට ලැබුණේ මේ රටේ රණවිරුවන් නිසා. රණවිරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ වහන්සේලා මොනතරම් කැප කිරීමක් කළාද, වෙහෙසක් දැරුවද, අනාගතයේදීත් ඒ කාර්යය ඒ ආකාරයෙන්ම අවශ්‍යයි අපේ හාමුදුරුවනේ.”

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙලෙස ප්‍රකාශ කළේ ඉකුත් සති අන්තයේ රත්නපුර සමුදි උත්සව ශාලාවේ පවත්වන්නට යෙදුණු ‘සබරගමුව විද්වත් මහ සඟ සමුළුවට’ එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා

“අපේ යුද බිමේ සිටි හොඳ දක්‍ෂ නායකයන් දෙපළක් තමයි ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න කියන සෙන්පතියන්. ඔවුන් අපට හොඳ මඟපෙන්වීම් කර තිබුණා. අපි තනතුරක් භාරගත්තේ සුබ නැකතකින්. එය බෞද්ධ සම්ප්‍රදායට අනුව අපි හැමදාම කළා.

අවසන් යුද සමයේ මම සිටියේ මුහමාලේ. 53 වැනි බළ සේනාව ඉතා ප්‍රබලයි. එහි වගකීම දුන්නේ විශ්වසනීයම අයකුට. ඉතා ප්‍රබල යුද බලය වැඩි සේනාංකයක් 53. මෙහි මූලස්ථානය පැවැතියේ මුහමාලේ. මෙම කඳවුරුවලට ගෞරවනීය ස්වාමින් වහන්සේලා වඩිනවා. අපට ආශීර්වාද කරනවා.

අපට අපේ රටේ භූමියෙන් උතුර නැඟෙනහිර ප්‍රදේශ වසර 20 පමණ අපට අහිමිව තිබුණා. අපි ඒවා බේරාගත්තා. රට යුද්ධයෙන් නිදහස් කරගෙන සාමකාමීව වසර 10ක් පමණ ගෙනාවත් යළිත් රටේ ඇතිවන සිද්ධීන් නිසා මිනිසුන් තුළ සැකය මතුවී තිබෙනවා. කඳවුරු අසලට ඇවිත් අපට හෙලුව පෙන්වා යන තරමට අපි දීන වුණා. ඒ සියල්ල ඉදිරියෙහි අවි අත ඇති අපේ සෙබළුන් පුදුමාකාර ඉවසීමකින් පසුවුණා.

අපි අපේ රටට ආදරෙයි. අද විශ්‍රාම ගියත් රටට ජාතියට ආගමට ඇති ළැදියාව නිසා මේ විධියට ජනතාව දැනුවත් කිරීමට මහන්සි වෙනවා. එදා යුද්ධය කරන කොට ගෝඨාභය රාජපක්‍ෂ මහතාත්, සරත් ෆොන්සේකා මහතාත් යුද්ධයට නිවැරැදි මඟපෙන්වීම දුන්නා. මහින්ද මහතාගේ දේශපාලන නායකත්වය ඊට ශක්තියක් වුණා.

හෙට දවසේ මේ රට කවුරු භාරගත්තත් මුල සිට අලුතෙන් පටන් ගන්න වෙනවා. ඒ නිසා රට ගැන හිතලා නිවැරැදි වැදගත් තීරණයක් ගන්න. එම තීරණය ගැනීමට සුදුසු පරිදි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා පෙරමුණ ගන්න. ජනතාව දැනුවත් කරන්න. එයයි අපේ අපේක්‍ෂාව“ යනුවෙන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

මෙම මහ සඟ සමුළුව අමතමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් දැක්වූ අතර ඒ මහතා පෙන්වා දුන්නේ රජය විසින් විටින් විට විවිධ ගිවිසුම් අස්සන් කිරීමට බොහෝ උනන්දුවෙන් කටයුතු කරන බවත් එමඟින් රටට වන හානිය ඔවුන් නොසලකා හැරීම බලවත් අපරාධයක් බවත්ය. අපේ රටේ ඉතිහාසයේ සෑම දිනකම රජවරුන් හෝ පාලකයන් රටට හෝ ජනතාවටට එරෙහි යම් පියවරක් ගනු ලබන්නේ නම් ඊට එරෙහිව පෙළ ගැසුණේ අපේ ස්වාමීන් වහන්සේලා. අදත් එහෙමයි.

මෙම මහ සඟ සමුළුවෙහි පිළිගැනීම බොදුහඬ සංවිධානයේ සභාපති මොරාවත්තේ සිරි සුමන හිමි විසින් සිදුකළ අතර සබරගමුව පළාතේ අති ගෞරවනීය නායක, මහ නායක ස්වාමීන් වහන්සේලා සියනමක් පමණ මේ සඳහා වැඩම කර සිටින ලදී.

රත්නපුර – මිණිපුර ආරච්චි
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button