පළකල දිනය : Thu, Oct 17th, 2019

මා ඉටුකළ නොහැකි බොරු පොරොන්දු ලබාදෙන්නේ නෑ

තමා බොරු පොරොන්දු ලබා නොදෙන බවත් ලබාදෙන්නේ ඉටුකළ හැකි පොරොන්දු පමණක් බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පෙරේදා (15 දා) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන සියලූ පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්වුණි.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැඟූ ප‍්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු.

විවිධ අවස්ථාවන් වලදී අපේ ප‍්‍රතිපත්ති පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ හා තම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්.

ප‍්‍රශ්නය :- සුළු පක්‍ෂ ඔබට සහාය දෙන්නේ යම් යම් කොන්දේසිවලට එකඟ වූ නිසාද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – කිසිදු කොන්දේසියක් නෑ. ඒ නායකයන් සමග සාකච්ඡුා කිරීමේදී ඔවුන්ගේ ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න විසඳීමට අපි විසින් ඉදිරිපත් කළ විසඳුම්වලට ඔවුන් එකඟ වුණා. විශේෂයෙන්ම වතුකරයේ හා උතුරු නැගෙනහිර පළාත්වල තරුණ පරපුරේ අධ්‍යාපනය දියුණු කිරීම ඔවුන්ට රැුකියා අවස්ථාවන් ලබාදීම ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය ක‍්‍රම සලසාදීම වෙනුවෙන් මා විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනව.

ඒ වැඩපිළිවෙළට තොන්ඩමාන්, ඩග්ලස් දේවානන්දා වැනි මන්ත‍්‍රීවරුන් කැමැත්ත පළ කළා. අපි ඒ නායකයන් සමග එකතුවුණේ ඔවුන්ගේ ප‍්‍රශ්නවලට සැබෑවටම විසඳුම් ලබාදීමේ අරමුණ ඇතුවයි. මේ හුඟාක් ප‍්‍රශ්න ඒ පළාත්වලට විතරක් නෙවෙයි රටේ අනෙකුත් පළාත්වලටත් බලපානවා.

ප‍්‍රශ්නය – යුද්ධය මෙහෙයවූයේ ඔබද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – මම ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළා. මමවත්, ජනාධිපතිවරයාවත් යුද්ධය මෙහෙය වූයේ නැහැ. යුද්ධය මෙහෙය වූයේ යුද හමුදාපතිවරයායි.

ප‍්‍රශ්නය – ඔබ ජනාධිපති ධුරයට පත්වූ වහාම දැනට සිරගත කර සිටි සෙබළු නිදහස් කරන බව කිව්වා. එහෙම කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – යුද හමුදා සෙබළු බොහෝ දෙනෙක් සිරගතව ඉන්නේ දේශපාලන හේතු මතයි. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ නොවන බවත් අරලියගහ මන්දිරයේ තීන්දු තීරණ බවත් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා. බොහොමයක් යුද හමුදා සෙබළු සිරභාරයේ ඉන්නේ අධිකරණය තුළ නිසි දඬුවමකට යටත්වෙන්නේ නැතුවයි. ඔවුන්ට නිදහස ලබාදිය යුතුයි.

ප‍්‍රශ්නය – යුද සමයේදී හමුදාවට භාර වූ උතුරු වැසියන්ට සිදුවූයේ කුමක්ද කියල ඔවුන්ගේ ඥාතීන් විමසනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – යුද හමුදාවට බාර වූ දහතුන් දහසකට ආසන්න පිරිසක් පුනරුත්ථාපනය කරලා යළි සමාජගත කළා. ලෝකයේ කිසිම රටක එහෙම වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණේ නැහැ. භාර වූ ඇතැම් අය පුනරුත්ථාපනය වෙලා අවුරුද්දෙන් දෙකෙන් නිදහස් වුණා. එය ඉතාම සාර්ථක වැඩපිළිවෙළක්.

ප‍්‍රශ්නය – හමුදාවට භාර වූ අය හැර උතුරේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙනුත් ඥාතීන් ප‍්‍රශ්න කරනවා?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – අතුරුදන් වූ පුද්ගලයන් හා යටත් වූ පුද්ගලයන් කියන්නේ කොටස් දෙකක්. යුද සමයේදී රණවිරුවන් විශාල පිරිසක් අතුරුදන් වුණා. ඇතැම් අයට තමන්ගේ ඥාතීන්ගේ මළසිරුරු හමුවුණා. රණවිරුවන් විශාල පිරිසක් අතුරුදන් වුණා.

ප‍්‍රශ්නය – මේ වනවිට රටේ ණය බර විශාල වශයෙන් වැඩිවෙලා තිබෙනවා. විශාල ණයක් ගෙවමින් ඔබගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මුදල් හොයාගන්නේ කොහොමද?

හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා – 2005 දී මම යුද්ධය පටන්ගන්න කොටත් සමහරු මගෙන් ඔය කතාව ඇහැව්වා. වැඩ කරන්න සල්ලි හොයාගන්න එක ප‍්‍රශ්නයක් නෙවෙයි.

ප‍්‍රශ්නය :- තමන්ගේ ඡුන්ද නැතුව ජනාධිපතිවරණය ජයගන්න බැරි බව ආර්. සම්බන්ධන් මහතා කියනවා. ඔවුන් සමග සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා – ඔවුන් සමග පමණක් නෙවෙයි සියලූම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය – ඔබ බලයට පත්වුවහොත් අතුරුදන් වූවන් පිළිබඳව සොයා බලනවද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා – 2005 – 2014 කාලයේදී අතුරුදන් වූවා යැයි කියන පුද්ගලයන් ගැන විතරක් නොවෙයි භීෂණ කාලයේදී සිට අතුරුදන් වූ පුද්ගලයන් ගැන සෙවිය යුතුයි.

ප‍්‍රශ්නය – මේ වනවිට රට මුහුණදී සිටින අධික ණය ගෙවීම සම්බන්ධයෙන් තිබෙන වැඩපිළිවෙළ කුමක්ද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා – 2005 දී ඔය ප‍්‍රශ්නය මතුවුණා. නමුත් අපි ණය ගෙවමින් ආර්ථිකය ගොඩදැම්මා. රටවල් සමග සාකච්ඡුා කරලා ණය ගෙවන්න යම් සහන කාලයක් අරගෙන ඒ අතරෙදී ආර්ථිකය සංවර්ධනය කරන්න අපිට පුළුවන්කම තිබෙනවා.

ප‍්‍රශ්නය – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට ගොඩවෙන්නේ නැත්තේ ඇයි?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා – ඒක එතුමගේ පුද්ගලික තීරණයක්. මෙවර ජනාධිපතිවරණයේදී තමන් නිර්පාක්‍ෂිකව ඉන්න බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

එ. ජ. නි. ස. මහලේකම් මහින්ද අමරවීර මහතා – පොලිසිය හා ආරක්‍ෂක හමුදාව තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේයි. ඒ නිසා මේ මැතිවරණය ස්වාධීනව පැවැත්විය යුතු නිසා එතුමා නිර්පාක්‍ෂිකව ඉන්නවා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා ජනාධිපතිවරයාගේ පූර්ණ සහයෝගය හිමිවෙනවා.

ප‍්‍රශ්නය – නොමිලයේ පොහොර සහනාධාරය ලබාදෙන බවට ඔබ කිව්වා. එහෙම කරන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – අපි ප‍්‍රශ්න දිහා බලන්න ඕන අවස්ථාව අනුවයි. මම දෙන්නේ බොරු පොරොන්දු නෙවෙයි. ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්නෙ කොහොමද කියල අපි හිතන්න ඕන. අද මැදපෙරදිග රටවලට ආසියානු රටවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 162 එළවළු ආනයනය කරනවා. ඒ වැඩපිළිවෙළට අපි සම්බන්ධ වෙන්නෙ ඕන.

අපේ මූලික පදනම වෙලා තියෙන්නේ මිනිසා මූලික කරගත් ප‍්‍රතිපත්තියක්. ගොවි ණය නිසා පරම්පරා ගණනක් ගොවියා ණයකරුවන් වී සිටිනවා. ඒ නිසා ගොවි ණය කපා හරින බව මම කිව්වා. මේවා නිකම්ම දෙන පොරොන්දු නෙවෙයි. මේ පොරොන්දු පිටුපස විශාල අරමුණක් තිබෙනවා.

ප‍්‍රශ්නය – වස විසෙන් තොර කෘෂිකර්මාන්තය ගැන වත්මන් රජය කතා කළා. ඒ සම්බන්ධයෙන් ඔබ එකතුවෙන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා අපි කාබනික පොහොර හඳුන්වා දෙනවා. පොහොර ගැහැව්වේ නැත්නම් අස්වැන්න අඩුවෙයි කියලා ගොවිය බය වෙනවා. අද වනවිට ඕගනික් ෆාම් සංකල්පය ලෝකයේ ජනප‍්‍රියයි. ඒ නිසා අපි කාබනික ගොවිතැනට ගොවියා හුරුකළ යුතුයි.

ප‍්‍රශ්නය – වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ඔබ ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියට පවත්වාගෙන යනවද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – මම ඒ ගිවිසුම් ගැන දන්නේ නැහැ. ඒ ගිවිසුම්වලට අපි විරුද්ධයි. ඒ බව ප‍්‍රසිද්ධියේම කියල තියෙනවා. ආණ්ඩුවේ හා අපේ පක්‍ෂයේ මතවාදයන් සම්බන්ධයෙන් තිබෙන්නේ වෙනස් මතවාද. ඒ නිසා අපි ඒ

ගිවිසුම් ප‍්‍රතික්ෂේප කරනවා. ඒත් අපි ඉදිරියටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – වතු කම්කරුවන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – මම ඒ සම්බන්ධයෙන් වතු සමාගම් සමග සාකච්ඡුා කළා. කම්කරුවන්ට ජීවත්වීමට සරිලන මට්ටමේ වැටුපක් දෙන්න ඕන. හැමදාම ඔවුන් වත්තටම සිරනොකර ඔවුන්ගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට ගෙන ඒමට ක‍්‍රියා කරන්න ඕන.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඔබගේ වේදිකාවට නගින විට ඔවුන්ට හූ කියනවා. ඔබ මේ ගැන හොයාබලා තිබෙනවාද?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – එය නතර කිරීමට ක‍්‍රියාකරන ලෙස අපි මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා – එකම කොටසක් මේ ක‍්‍රියාව සිදුකරන බවට අපි දැනට හොයාගෙන තිබෙනවා. ඇතැම් විට හිටපු ජනාධිපතිනියත් මේ පිටුපස ඇති.

ප‍්‍රශ්නය – ඔබගේ පාර්ශ්වයෙන් සියයට 50 ට වැඩි පිරිසක් තම පාර්ශ්වයට එකතු කරගන්නා බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියනවා?

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා – මොන පැත්තෙන් මොන පැත්තට එකතුවෙයිද කියලා බලාගෙන ඉන්න.

ප‍්‍රශ්නය – ඔබගේ ආණ්ඩුවේ ප‍්‍රධානියා වෙන්නේ කවුද?

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා – ඒක 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවුණ ප‍්‍රශ්නයක්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා – 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබුණේ නැත්නම් ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙක් දේශපාලනයට එන්නෙ නැහැ. ඒ ව්‍යවස්ථාව අනුව අනවබෝධයක් සහිත දෙන්නෙක්ට වැඩ කරන්න බැහැ. ඒ අනුව හොඳම දෙන්න තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ.

ප‍්‍රශ්නය – ඔබගේ පාලන කාලයේදී සුදු වෑන් සංස්කෘතියක් බිහිකළ බවට චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – මම එහෙම සංස්කෘතියක් ඇති කළේ නැහැ. 88, 89 යුගයේදී සුදු වෑන් නෙවෙයි සුදු ලොරිවලින් තමයි මිනිස්සු පැහැරගෙන ගියේ. මාධ්‍යවේදීන් හෙලිකොප්ටර්වලින් ගෙනිහිල්ලා මුහුදට දැම්මා. ටයර් සෑයවල් තිබුණා. ඒවා අමතක කරලා අපිට අභූත චෝදනා කරනවා. ජනතාවටත් මේවා අමතකයි.

ප‍්‍රශ්නය – විවිධ කල්ලි සහ අන්තවාදී කණ්ඩායම් සමාජ මාධ්‍ය යොදාගනිමින් තරුණ කොටස් අතර වැරදි මතවාද ඇති කරන්න කටයුතු කරනවා. මේ ගැන ඔබ මොකද කරන්නේ?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – තරුණ කොටස් අසහනයට පත්වෙන්නේ පවතින රජයේ අසාර්ථක බව නිසයි. තරුණ පරපුරට සුදුසු වාතාවරණයක් අද රටේ නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමෙන් තරුණ අසහනය නැති කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජීවත්වීමට සුදුසු වැටුපක් නොමැතිවීම නිසා අද තරුණ පරපුර අසහනයට පත්වෙලා ඉන්නවා.

මම මගේ ජනහමු කිහිපයකදීම ප‍්‍රකාශ කර සිටියා මගේ දැක්ම පිළිබඳව. අපි අපේ තරුණ තරුණියන් තාක්‍ෂණික අධ්‍යාපනය සඳහා යොමු කළ යුතුයි. මොකද අද ලෝකයේ විශාල රැුකියා අවස්ථා ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබෙන්නේ පරිගණක තාක්‍ෂණය පදනම් කරගෙන. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති වීම හේතුවෙන් රැුකියා සඳහා යොමු කරන්න හැකියාවක් නැහැ. මේ හරහා අපේ ආර්ථිකයත් ශක්තිමත් කරගත හැකියි.

ප‍්‍රශ්නය – මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කළ සියලූම අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමේ වැඩසටහනට ඔබ සහභාගි නොවුණේ ඇයි?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – විරුද්ධවාදීන් 10 දෙනෙක් ඉන්න තැනකට එක්කෙනෙක් ගෙනල්ල පහර ගහන එක සුදුසු නැහැ. මම මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන වියත් මඟ වැනි සංවිධාන හරහා කියලත් තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා – ඒ සංවිධානය ස්වාධීන සංවිධානයක් නෙවෙයි. අපි ඒ වැඩසටහනට සම්බන්ධ නොවන බව පක්‍ෂයේ නායකයෝ ලිඛිතව දැනුම් දුන්නා.

ප‍්‍රශ්නය – ඔබගේ රජයක් යටතේ මාධ්‍ය නිදහස අහිමිවන බවට මතයක් රටේ පැතිරෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

ගෝඨාභය රාජපක්‍ෂ මහතා – මම මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරනවා. ඔවුන් මාධ්‍ය නිදහස සුරකින බවට එක සහතිකයක් දෙන විට මගේ රජයක් යටතේ මා මාධ්‍ය නිදහස සුරකින බවට ඔබට සහතික දෙකක් දෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආරුමුගම් තොන්ඩමාන්, ඊ. පී. ඞී. පී. පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දා, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පක්‍ෂ නායකයෝ මේ සඳහා සහභාගි වූහ.

අනුර බාලසූරිය
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button