පළකල දිනය : Mon, Oct 28th, 2019

ලෝකයේ එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය

ලෝක ජනගහනය මේ වන විට කෝටි 500 ඉක්මවා තිබේ. කෝටි 500ක් අතරින් කවරකුට හෝ තමා ජීවත් වන සමාජයට, රටට මෙන් ම ලෝකයට බලපෑම් කළ හැකි අයකු වන්නට ලැබෙන්නේ නම් එය ආශ්චර්යයක් ම නොවේ ද? ලෝකයෙන් ම තේරා ගන්නා එවැනි සිය දෙනකු අතරින් එක් අයකු වන්නට කවරකුට හෝ හැකි වන්නේ නම් එයත් ආශ්චර්යයක් ම නොවන්නේ ද? ලෝක ප‍්‍රකට බී.බී.සී. නාලිකාව 2019 වසර සඳහා තෝරා ගන්නා ලද ලෝකයේ වඩාත් ම බලපෑම්කාර කාන්තාවන් 100 දෙනා අතර මේ පුංචි ශ‍්‍රී ලංකාවේ කාන්තාවක් සිටිනවා යැයි කීම ඔබට විශ්වාස කළ හැකි ද? ඔව්. පසුගිය දා බීබීසීය නිකුත් කළ 2019 ලෝකයේ වඩාත් බලපෑම්කාර කාන්තාවන් සිය දෙනාගේ නාම ලේඛනයේ ඇයගේ නම සඳහන් වූයේ ‘ශ‍්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා ජයකොඩි පීරිස්’ යනුවෙනි.

ආශ්චර්යාගේ ජීවිතය ඇත්තෙන් ම ආශ්චර්යයක් සේ විස්මයජනක ය. ඈ මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. පෞරුෂ සංවර්ධන උපදේශිකාවකි. ඒ සියල්ලටමත් වඩා ධෛර්ය සම්පන්න ගැහැනියකි. මේ කිසිවක් විස්මයජනක විස්තර නොවන බව ඔබට පෙනෙනු ඇත. සැබැවින් ම මේ විස්තරය තුළ විස්මයක් නැත. විස්මය ඇත්තේ ඇයගේ දෑස ම නොපෙනෙන නිසා ය. ආශ්චර්යා ජයකොඩි මේ වන විට ‘ලෝකයේ සිටින එක ම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය’යි.

සුරූපී ආශ්චර්යා පීරිස් මීට වසර 19 කට පෙර සිය දෙනෙතින් ලෝකය දකින බැංකු නිලධාරිනියක් ව සිටියා ය. 2000 වසරේ කොළඹ කාසල් වීදියේ දී පුපුරා ගිය ක්ලේමෝ බෝම්බයට හසු වී ජීවිතය රැක ගන්නට වාසනාව තිබුණත් ඇස් දෙකේ පෙනුම රැක ගන්නට ඇයට නොහැකි විය. ජීවිතයේ හිරිමල් වියේ බැංකු නිලධාරිනියගේ සුන්දර ජීවිතය එක් වර ම නැවතී ගියේ ය. අනාගත ලෝකයක් ගොඩනඟන්නට ආශ්චර්යා මැවූ සිහින දෑසේ පෙනුමත් සමඟ ම බොඳ වී යන අයුරු බලා සිටින්නට ඇයට සිදු වූයේ ඒ තමන්ට ජීවිතය දුන් දෙමවුපියන් සමීපතමයන් ලෝකය ගොඩනඟන්නට සපථ කළ ඇයගේ හවුල්කරුවා ඇය හැර ගිය බැවිනි. එතැන් සිට ඈ ලෝකයෙන් වසං වූ නන්නාඳුනන තැනැත්තියක් බවට පත්

වූවා ය. වසර 14ක් ම ඇය ජීවත් වූයේ ඇයට ම පමණක් සීමා වූ අඳුරු හුදෙකලා ලෝකයක ය. ඒ හුදෙකලා ලෝකයේ ඇය හැර වෙනත් කිසි කිසිවකු සිටියේ නැත. ඈ පමණි.

හරියට ම වසර 14කට පසු ව ආශ්චර්යා, දෑසේ පෙනුම අහිමි වී ගිය කිසිවකුත් තෝරා ගනිතැයි නොසිතන මෝස්තර නිර්මාණ ශිල්පය ඔස්සේ තමා සිටි අඳුරු හුදෙකලා ලෝකයෙන් මිදී පොදු සමාජයට ආවා ය. 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් ම කැපවීමෙන් වැඩ කළ මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවා ය. ඒ වන විට ලෝකය පුරා දෑස් නොපෙනෙන මෝස්තර නිර්මාණ ශිල්පීහු තිදෙනෙක් වූහ. මේ වන විට සිටින්නේ ආශ්චර්යා පමණි.

2017 වර්ෂයේ ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරින් එක් අයකු ලෙස සම්මානයට පාත‍්‍ර වන ඈ ඉන් ඉක්බිති සිංහ සමාජයෙහි විසි වන සංවත්සරය නිමිත්තෙන් ලංකාවේ විශේෂිත වූ කලාකරුවන්ට සම්මාන පිරිනැමූ උළෙලේ දී මෝස්තර නිර්මාණය හා සමාජයීය විෂයන් කෙරෙහි ඇය දක්වන සුවිශේෂතාව හේතුවෙන් එකී කලාකරුවන් අතර ද සම්මානලාභිනියක් වූවා ය.

අපි ඇයට සවන් දෙමු. මේ ඇයගේ අතීත කතාවයි.

‘මගේ තාත්තා ගුවන්යානා ඉංජිනේරුවරයෙක්. ඔහු හරිම ධනවත් කෙනෙක්. මගේ අම්මට තිබුණා අල්මාරි තුනක් පිරෙන්න කිසිම දවසක නොඇඳපු සාරි. මම ඒ සාරි ඇඳ ඇඳ බලනවා ඒ දවස්වල. මම හිතනව මේකෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. අලූත් විදියට දෙයක් කරන්න පුළුවන් කියලා. මට ඒ කාලෙ එහෙම ආසාවක් තිබුණා. මම මගේ පළමු සාරිය නිර්මාණය කරන්නෙ මගේ පාසලේ දේවී බාලිකාවෙ ‘මිස් දේවි‘

තරගයට. ඒ සාරියෙන් සැරසිලා තරගයට ඉදිරිපත් වුණා. මම ‘මිස් දේවි‘ තරගයෙන් ජයග‍්‍රහණය ලැබුවා. ඒ තමයි මගේ පළමු නිර්මාණය….’

‘ලංකාවෙ ගොඩක් පවුල් වගේ සාම්ප‍්‍රදායික පවුලක තමයි මමත් ඉපදුණේ. මගේ සිහින ගැන තියා මගේ දක්ෂතාවක් දියුණු කරගන්න වත් මට අවසරයක් ලැබුණෙ නැහැ. මම හොඳට චිත‍්‍ර ඇන්ද කෙනෙක්. මගේ චිත‍්‍ර ගුරුවරයා තැපැල්පත් 50 කට එහා එවුවා අපේ ගෙදරට කරුණාකරලා මේ ළමයව චිත‍්‍ර අඳින්න එවන්න කියලා. හැබැයි අම්මා මාව යැව්වෙ නැහැ. මම පියානෝ වාදනයට දක්ෂයි. මගේ අම්මා මට පියානෝ වාදනය කරන්න දුන්නෙ නැහැ. අම්මා බය වුණා මම කලාවට ලැදි වෙලා කලාකාරියක් වෙයි කියලා. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කියන වෘත්තින් ටිකක් විතරයි එයාලගෙ සාම්ප‍්‍රදායික මානසික වපසරිය තුළ තිබුණෙ.

එයාලගෙ නම්බුව රකින පවුල් මටට්ම ඉහළ දාන රැුකියාවක් කළ යුතුයි කියල එයාල හිතුවා. ඒ අනුව මම කොළඹ විශ්වවිද්‍යාලයට නීතිය හා ජනමාධ්‍යකරණය ඉංගී‍්‍රසි මාධ්‍ය පාඨමාලාවට තේරෙනවා. නමුත් මම විශ්වවිද්‍යාලයට යන්නෙ නැහැ. එවකට මගේ තිබුණ ආදරය වෙනුවෙන් මම ඒක අතහැරියා. ඒ වෙනුවට 97 වසරෙ බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. මම විශ්වවිද්‍යාලයේ ගියා නම් අද මට ඇස් දෙක පෙනවා. මම ඒ වෙලාවට මේ ගමන යන්නෙ නැහැ. එහෙම වුණා නම් මම අද නීතිඥවරියක්. හැබැයි මම දැන් ඒ පුද්ගලයා ගැන කතා කරන්න කැමති නැහැ.’

සුරූපී බැංකු නිලධාරිනිය අනපේක්ෂිත දෛවෝපගත අත්දැකීමට මුහුණ දෙන්නේ ඉන් පසු ව ය.

‘…2000 වසරෙ දවසක මම රැුකියාව කළ බැංකුවෙන් පිට වෙලා මගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිනා අතරතුර බොරැුල්ල කාසල් වීදියේ දි ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගියා. ඒ බෝම්බයෙන් අනතුරට ලක් වෙලා මගේ දෑසේ පෙනීම නැති වුණා. ගඳ සුවඳ දැනීමත් අහිමි වුණා. ඒත් එක්ක ම මගේ ජීවිතය ම මම කවදා වත් නොහිතපු විදියට වෙනස් වුණා. ගෙදර අය මගේ කනට ඇහෙන්න නොක්කාඩු කියන්න ගත්තා. ඒ කාලෙ මම විඳවන අවධිය. මම පොඩි කාලෙ ඉඳන්ම මම විශ්වාස කළ මගේ ඥාතීන් මගේ පුංචි අම්මල මාමලා තමයි මට ඒ විදිහට කළේ. අපි මොන වරද කළත් අපි යන්නෙ අම්මා තාත්තා ළඟට නෙ. මොන වැරැුද්ද කළත් අම්මා තාත්තා දරුවන්ව

බාරගන්නවා. මම හිතුව ඇයි මට මෙහෙම කරන්නෙ? මම සමාජ විරෝධී, නීති විරෝධී දෙයක් හරි පවුලේ නම්බුව නැති වෙන දෙයක් කරලා නෙවෙයි. මට බෝම්බයක් වැදිලා. මේ රටේ යම් සමාජ තත්ත්වයක් නිසා මට මුහුණ දෙන්න වුණ අනපේක්ෂිත අනතුරකින් මගේ පෙනීම නැති වෙලා විතරයි…’

‘මේ වෙලාවෙ මම විශ්වාස කරපු මගේ අය එකිනෙකාට මගේ වගකීම පවරලා නිදහස් වෙන්න බලනවා. මම ඔහේ කල්පනා කර කර ඉන්න කොට ළඟට ඇවිත් කියන්නෙ මෙයාට දැන් පිස්සුද දන්නෙ නැහැ කියලා. මම ටිකක් බලන් හිටියා මෙයාලා මොකටද මේ ලෑස්ති වෙන්නෙ කියලා. මට සමීප යාළුවො ටිකක් හිටියා. මම එයාලට මේ ගැන කියනවා. අනේ බලන්නකො මම මොන දේ කිවුවත් මට පිස්සු කියනවා.

මෙයාලා මට මොනවද කරන්න හදන්නෙ කියලා. මට එක්කෙනෙක් කිව්වා මට තේරෙනව මෙයාලා කරන්න හදන දේ. අනිවාර්යයෙන් මෙයාලා ඔයා වහ බීලා මැරෙන තත්ත්වයට දායි. තව ටික කාලයකින් ඔයා ජීවිතය එපා වෙලා වහ බොයි කියලා. මට මිනිස්සු ගහද්දි ගහද්දි ටිකක් ගහන්න දිලා බලන් ඉන්නවා. මට සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නට පස්සෙ ආපහු හැරිලා බලන්නෙ නැහැ. ඒක බොහොම දරුණු තත්ත්වයක්. අවසානෙ මම ඒ තීරණය ගත්තා. මම මට මානසිකව වධ දුන්න ගෙදරින් එළියට බැස්සා. ආපහු මම පස්ස හැරිලා බැලූවෙ නැහැ…’

ඇයගේ හුදෙකලා ජීවිතය ඇරඹෙන්නේ ඒ තීරණයත් සමඟ ය.

‘…ඔබ පොඞ්ඩක් හිතන්න මට එතකොට අවුරුදු 20 යි. මාව ආරක්ෂා කරන්න යාළුවො හරි හිටියෙ නැත්නම් මම දූෂණයට ලක් වෙලා මැරිලා. මම තනියම ගෙයක් කුලියට අරන් ජීවත් වෙන්න පටන් ගත්තා. මගේ තාත්තා ධනවෙතෙක්. ඒ නිසා යම් මුදලක් මගේ බැංකු ගිණුමේ තිබුණා. ඒකෙ පොලියෙන් තමයි මම ජීවත් වුණේ. මම ඒ දවස්වල ගෙවල් තෝර ගනිත් දි තෝර ගත්තෙ උඩ තට්ටු. හොරෙක් ආවොත් පල්ලෙහාට ඇවිත්නෙ එන්න ඕන. මම කවදාවත් ජනේලයක් වත් ඇරියෙ නැහැ.

ගෙවල් අයිතිකාරයො හැර කිසි කෙනෙක් දැන ගෙන හිටියෙ නැහැ මම එතන ඉන්න බව. සමහර වෙලාවට ගෙවල් කුලිය ගෙව්වම කන්න සල්ලි නැහැ. මනුස්සකමක් තිබ්බ මිනිස්සු විතරයි මාව දැක්කම ගෙවල් දුන්නෙ. ඉතින් මම ගේ ඇතුළට වෙලා බලාගෙන ඉන්නව කොහෙවත් යන්න සල්ලි නැහැ. දවසටම බිස්කට් එක්ක කෙසෙල් ගෙඩියත් විතරයි සමහර දවස්වල කෑවෙ. ඒ නිසා තමයි මම කියන්නෙ මම ගෙවපු කාලෙ අසීරුයි කියලා…’

‘…මගේ යාළුවො උදේට වැඩට යන ගමන් ඇවිත් මට එයාලගෙ බත් එක දීලා ගියා. සමහරු හවසට කෑම එකක් ගෙනත් දුන්නා. මට සද්දයක් ඇහුණා බයයි කිව්වම වාහනේ අරගෙන ආවා මාව බලන්න. යාළුවො කිව්වෙ අපිට හැමවෙලාවෙම ඔයා ළඟ ඉන්න බැරිවෙයි ඔයා මේ තත්ත්වයට හුරු වෙන්න කියලා. එයාල උදව් කළා. මම ඒ උදව්වෙන් නැඟිට්ටා. මම ගෙදරින් එළියට බැස්ස දවසෙ ඉඳන් මගේ අම්මා මට කවදාවත් කෝල් කරලා වත් කතා කරලා නැහැ. මමත් දැන් අම්මා කෙනෙක්නෙ. මට ඒක දැනෙනවා…’

ආශ්චර්යා ජයකොඩි නම් මෝස්තර නිර්මාණ ශිල්පිනිය බිහි වන්නේ එවන් පසුබිමක දී ය. ඈ ඒ ගැන කියමින් යළිත් කතාව ආරම්භ කළා ය.

‘…මම විලාසිතා නිර්මාණයට පිවිසෙන්නෙ මට තිබුණ අභියෝගයක් නිසා. මට ඇඳුම් ගන්න සල්ලි තිබුණෙ නැති කාලෙ මට තිබුණ සොච්චම් මුදලෙන් රෙදි ටිකක් අර ගෙන නිර්මාණයක් කරලා කාටහරි කියලා ඒ ඇඳුම මස්සවගෙන අඳිනවා. ඒක දකින ගොඩක් අය ලස්සනයි කොහෙන්ද ගත්තෙ කියලා අහත්දි ඒක මමයි කළේ කිව්වම මට තේරුණා මිනිස්සු ඒක වෙන්න බැරි දෙයක් කියන හැඟීමෙන් මගෙ දිහා බැලූවා කියලා. ඒක මගේ මනසේ රැුඳී තිබුණා. මට දැනුණා මම වෙනස් දෙයක් කරනවා හැබැයි මම දෑස් නොපෙනෙන කෙනෙක් නිසා ඒ ගැන අවතක්සේරු කරනවා කියලා.

මගෙ නිර්මාණ කුසලතාව ජනතාව ඉදිරියේ ඔප්පු කර දක්වන්නෙ විලාසිතා නිර්මාණ තරගයෙන්. මම කොහොමටත් අභියෝගවලට කැමති කෙනෙක්. මම කුඩා අවධියේ ඉඳන් කෙනෙක් මට යමක් කරන්න බැහැ කියලා අභියෝග කළොත් මම ඒ දේ කරලා පෙන්වන කෙනෙක් . ඔයා පේන්නෙ නැති කෙනෙක්නෙ කියපු අයට මම තමයි මේ දේ කළේ කියලා මට ඔප්පු කරලා පෙන්වන්න ඕන වුණා…’

ඇය සම්මානලාභිනියක බවට පත් වන්නේ ඒ අධිෂ්ඨානයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

‘… මම අලූත් නිර්මාණ කළත් සම්මානයක් දක්වා යන්න බලාපොරොත්තු වුණේ නැහැ. කෙසේ වුණත් මේ අභියෝගය කෙළවර වෙන්නෙ මම 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් කැපවීමෙන් වැඩ කළා වූ නිර්මාණ ශිල්පිනිය බවට පත් වෙලා. ඔයාට පේනව ද මෙහි විශේෂත්වය මම අවුරුදු දහයකින් කිසි දෙයක් දැකලා නැහැ.

නමුත් මම ජයග‍්‍රහණය කරන්නෙ නව්‍ය නිර්මාණ අංශයෙන්. ඒ තරගාවලියට ආපු අය අහපු දෙයක් තමයි මෙයා දැකල නැත්නම් අලූත් ප‍්‍රවණතාවන් හඳුනා ගන්නෙ කොහොමද කියන කාරණය. මම ඒකට හොඳ පිළිතුරක් දුන්නා. මම මේ කරන්නෙ කෙනෙක් ඇති කළා වූ ප‍්‍රවණතාවක් ඉදිරියට ගෙන යෑමක් නෙවෙයි නව ප‍්‍රවණතාවක් නිර්මාණය කිරීමයි.

ඒ සඳහා මට තවත් කෙනෙක් කරපු දෙයක් දකින්න අවශ්‍ය නැහැ කියන කාරණය කිව්වා. ඒ තරගෙ දි මම අයත් වුණේ ‘ප‍්‍රවණතාවක් නිර්මාණය කරන්න’ කියන ගණයට. එහිදී මට ලැබුණ මාතෘකාව ‘අත්යන්ත‍්‍ර රෙදිපිළි ඇසුරෙන් නව නිර්මාණ ඉදිරිපත් කිරීම’යි. අත්යන්ත‍්‍ර රෙදි කියන්නෙ බොහොම සුලබ රෙදි වර්ගයක්. මට තිබුණ අභියෝගය වුණේ අත්යන්ත‍්‍ර රෙද්දෙන් කොහොමද අලූත් දෙයක් කරන්නෙ කියන කාරණය.

මේ ඇය ඒ අභියෝගය ජය ගත් ආකාරය.

‘…මම හැදුවා අලූත්ම වර්ණ. නිල්මහනෙල් මගේ වර්ණය. මොනර නිල අළු කියන වර්ණය. මම මගේ තාක්ෂණ දැනුම මගින් ඒ වර්ණ හදාගත්තා. පොල්කටුවලින් සාදාගත් නෙළුම් මල්වලින් සාරියේ ඉදිරිපස පල්ලූව හැට්ටයේ අත හා ගෙල පළඳනාව නිර්මාණය කළා. අත්යන්ත‍්‍ර රෙදිවලින් එතෙක් ලෝකයේ කිසිවෙක් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කරලා තිබුණෙ නැහැ. මම අත්යන්ත‍්‍ර රෙදිවලින් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කළා. අපිට අත්යන්ත‍්‍ර රෙදි කිව්වොත් සාරිය, ලූංගිය, සරම, කමිසය විතරයි දකින්න ලබෙන්නෙ. මම කොක්ටේල් ඩෙ‍්‍රස් එකක් මේ රෙදිවලින් නිර්මාණය කළා.

මට තිබුණ අභියෝගය තමයි සාමාන්‍ය දෙයක් අතරින් අසාමාන්‍ය දෙයක් එළියට ගන්නෙ කොහොමද කියන එක. මේ සඳහා මට ලැබුණ කාලය මාසයයි. මේ මාසය තුළ මගේ පියා මියගියා. මම ගොඩාක් ආදරය කළ මගේ ආච්චි අම්මා මියගියා. ඒක මගේ සිතුවිලිවලට නරක විදිහට බලපෑම් ඇති කළ මාසයක් වුණා. ආච්චි අම්මා මට ඔයාව දකින්න ආසයි කිව්වම මම එයා බලන්න ගියා. ආයෙ එත්දි නෙළුම් සුවඳ තියෙන සෙන්ට් එකක් ආච්චි අම්මට අරගෙන එන්න පොරොන්දු වුණා. ඊට පස්සෙ මට ආරංචි වුණෙ ආච්චි අම්මගෙ මරණය. මට අන්තිමට තීරණය කරන්න වුණා තරගයට යනවද ආච්චි අම්මගෙ මරණයට යනවද කියලා.

ඒක හරිම අමාරු මොහොතක්. මම තරගාවලියට ගියේ නැත්නම් මට තරගාවලිය අහිමි වෙනවා. ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගියේ නැත්නම් ඒ මගේ ආච්චි අම්මගෙ අවසන් මොහොත. ඔය අතරෙ මගේ දරුවට මාස එක හමාරයි මම දරුවට පැය තුනෙන් තුනට කිරි දෙන්න ඕන. මම අවුරුදු හයක් වෙනකම් දරුවට කිරි දුන්න අම්මා කෙනෙක්. මම ළඟ නොහිටියොත් දරුවා කෑ ගහලා අඬනවා. ඒව ඔක්කොම අභියෝග තමයි. මම ඒ තත්ත්වය කළමනාකරණය කරගත්තා. මට මතකයි ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගිහින් තරගයට පරක්කු වෙලා ගිහින් එතැනදිත් බැණුම් අහගත්තා. මොකද මගේ ඇස්දෙක පේන්නෙ නැහැ කියන කාරණය එයාලට සමාවට කාරණයක් නෙවෙයි…’

ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරින් එක් අයකු වන්නට ආශ්චර්යා සමත් වන්නේ එවන් දීර්ඝ දුෂ්කර ගමනක අවසානයේ දී ය. ඒ ගැන ඇයගෙන් ඇසූ විට කීවේ මෙවන් කතාවකි.

‘ඔය ප‍්‍රශ්නයට මම දෙවිදිහකින් පිළිතුරු දෙන්න ඕනෑ. මම විලාසිතා නිර්මාණකාරිනියක පැත්තෙන් මාව ගත්තාට ඒ විදිහට නම්කරලා තිබුණාට බීබීසී සේවය විලාසිතා නිර්මාණයට පමණක් මුල් තැන දෙන්නෙ නැහැ. මම මගේ සමාජයේ කරන කාර්යයන් පවා ඔවුන් සොයා බලනවා මොනවද කරන්නෙ කියලා. ඔවුන් බලන්නේ මගේ විලාසිතා නිර්මාණවල විශේෂත්වයත් වඩා මගෙන් සමාජයට කෙරෙන කෙරිලා තියෙන බලපෑම මොන වගේ ද කියලා. සමාජයට එයින් ලැබෙන ප‍්‍රයෝජනය මොකක් ද කියලා.

සමාජයට කොතරම් සේවයක් කරලා තියෙනවද, අපේ සේවය හරහා සමාජයට කොතරම් බලපෑමක් වෙලා තියෙනවද, අවුරුද්ද පුරාවට ඒ සේවය කොතරම් ප‍්‍රචලිත වෙලා තියෙනවද කියන කාරණා ඔවුන් සොයා බලනවා. මම දැනුම්වත් වෙලා තියෙන විදිහට ලංකාවේ තවත් කාන්තාවන් මේ සඳහා නිර්දේශ වෙලා තිබුණත් ඒ අය තරගයේ නීති රීතිවලදී ප‍්‍රතික්ෂේප වුණා. ඔවුන්ගේ මණ්ඩලයක් මඟින් අපි ගැන සොයාබැලීමකින් පසුවයි ඔවුන් තීරණය කරන්නේ. තීරණය ගන්නා තුරු කිසිවකු දැනුවත් කරන්නෙ නැහැ. ඒ වගේ බොහොම වගකීම් සහගතව කරන දෙයක්. මට පමණක් නෙවෙයි අනිත් කාන්තාවන් 99 දෙනාමත් තෝරා ගන්නෙ ඒ විදිහට. ඔවුන්ගේ පරීක්ෂණ මණ්ඩය මඟින් තමයි සියල්ල තීරණය කරන්නෙ….’

ඇය මේ සා විසල් ගමනක් එද්දී ඇයට ශක්තියක් වූ චරිතය චන්දන සේසත් ජයකොඩි. ඇයගේ ආදරණීය සැමියා. ඔහු ගැන ඇය කී වදන් ඒ අයුරින් ම මෙසේ ය.

‘මගේ මහත්තයව මම හඳුන ගන්නකොට එයා හොඳ ව්‍යාපාර තියෙන කෙනෙක්. මම බොහොම සාමාන්‍ය ඇස් පේන්නෙ නැති ඔක්කොම අතහැරපු චරිතයක්. මම බොහොම අහංකාර කෙනෙක්. මට කන්න නැතිනම් මම මගේ පාඩුවෙ හිටියා. කාටවත් අතපාන්න ගියෙ නැහැ. එයා මේ දේවල් බලාගෙන හිටියා. දවසක් එයා මට කිව්වා ඔයා හරි වෙනස්. ඔයා කාටවත් අතපාන්න කැමැති නැහැ කියලා. මම කිව්වා ඒ මම තමයි. එයා මගේ සමහර වචනවලට ආදරය කරන්න ගත්තා. මම ගොඩක් අය හඳුනනවා.

ඒත් ඔයා වගේ කෙනෙක් හමු වෙලා නැහැ. ඒ ගතිගුණම නිසා තමයි එයාට මං ගැන ආදරයක් ඇතිවෙන්නෙ. රූපය නෙවෙයි. මට සම්මානයක් ලැබෙන තැන එයා ඉන්නෙ කාටවත් නොපෙනෙන තැනක. මගේ ජයග‍්‍රහණයක දී එයා කියන්නෙ මේක මම ලබපු දිනුමක් නෙවෙයි. ආශ්චර්යා ලබපු දෙයක්. ඉතින් ඇයි මම ඉදිරියට එන්නෙ. මම එයා පසුපසින් ඉඳන් එයාව ආරක්ෂා කරන කෙනා විතරයි කියලා. ඒ නිසයි මේ ගතිගුණ එක්ක අපි බොහොම ආදරයෙන් ඉන්නෙ.’

ඇය කතා කරන්නේ ඉතා සැහැල්ලූවෙනි. ලෝක මට්ටමේ සම්මානයක් දිනූ ආඩම්බරය හෝ අහංකාරය ඇයගෙන් දිස්වන්නේ නැත. අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඒ ගැන ද ඇසුවෙමි.

‘මම මේක කියන්නෙ ඔබට මාව තේරුම් ගන්න. මම අදටත් පාවිච්චි කරන්නෙ රුපියල් 4500 ක ජංගම දුරකථනයක්. මගෙ ජීවිතේ හරිම සරලයි. මම විශ්වාස කරන්නෙ මට පේන්නෙ නැති නිසා මට දුරකථනයක් ඕන කරන්නෙ කෝල් එකක් ගන්න විතරයි. හැබැයි මම හිතුවොත් මම ආශ්චර්යා. මම ජාත්‍යන්තරයට ගියා. කවුරුවත් දැක්කොත් මේ පොඩි ෆෝන් එක ලැජ්ජාවක් කියලා. ඒක වැරැුදියි. මම එහෙම සරල ව හිතපු නිසා තමයි මෙච්චර දුර ආවෙ. පහුගිය දවසක මම බකමූණෙ සම්මන්ත‍්‍රණයකට ගියා. ඒ හරිම දුෂ්කර ගම්මානයක්. හැබැයි එතැන හිටිය හැම ළමයෙකුගෙම අතේ තිබුණෙ ඇපල් ෆෝන්. ඒත් රිලොර්ඞ් එකක් දාගන්න අතේ රුපියල් සීයක් නැහැ. ඒ අපේ මිනිසුන්ගෙ මානසිකත්වය. මම යන්නෙ ඒ මිනිසුන්ගෙ ඒ මානසිකත්වයට අභියෝග කරන්න. අපි රටක් හැටියට දියුණු වෙන්න නම් අපේ ආකල්ප පරිවර්තනයක් ඇති කර ගත යුතුයි. මම උත්සාහ කරන්නෙ මගේ ශක්තියෙන් අපේ රටේ මිනිසුන් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න මට හැකි තරමින් දායක වෙන්න.’

ධම්මිකා සුරංජි පතිරණ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button