පළකල දිනය : Mon, Nov 11th, 2019

ලෝකය දිනාගත් දොස්තර කෙල්ල

“ඩොක්ටර් සමිතා ඔරු පැදීමේ තරගයකින් පදක්කමක් දිනලා”

මේ ආරංචියත් සමඟ සිතේ නැඟුණේ කිව නොහැකි තරම් සතුටකි. ඒත් කොහොමද එහෙම වුණේ. ඇය සිටින තත්ත්වයත් සමඟ කොහොම ද ඔරු පදින්නේ…. හිතේ මතු වූයේ ප්‍රශ්න වැලකි. ඒවාට පිළිතුරු සොයාගන්නට නම් ඇය හමු විය යුතුය. ඇගේ දුරකතනයට ඇමතුව ද ඉන් ප්‍රතිචාරයක් නොලැබිණි. අවසානයේ ඇයට කෙටි පණිවුඩයක් තැබුවෙමි. පැය කිහිපයකට පසු පිළිතුරක් ලැබිණි.

එහි සඳහන් වී තිබුණේ විදෙස්ගතව සිටින බැවින් ලංකාවට පැමිණි විට හමුවිය හැකි බවය.

දින කිහිපයක් ගෙවිණි.

“අන්න ඩොක්ටර් සමිතා ඊයේ ලංකාවට ආවා.”

මාධ්‍ය මිතුරියක වන මයුරි ලියනගේ පැවැසුවාය. පසුදා සන්ධ්‍යාවේ අපේ කාලයේ දිරිය දියණි වෛද්‍ය සමිතා සමන්මලී හමුවීමට කාලය වෙන් කරගතිමි.

ඒ සන්ධ්‍යාවේ වෛද්‍ය සමිතා හමු වීම සඳහා ගියේ මකුළුදුවේ පිහිටි ඇගේ නිවෙසටය.

“නංගි තාම නම් ආවේ නැහැ. එයා දැන් මඟ එනවා ඇති.”

සිය සොයුරියට දුරකතන ඇමතුමක් ගන්නා අතරේ ඇය පැවැසුවාය. සමිතා එන්නට ප්‍රමාද වනු ඇත. ඒ සන්ධ්‍යාවට කොළඹ සිට පිළියන්දල දෙසට ඇති අධික මාර්ග තදබදය නිසාය. නිවැසියෝ ද අතරමඟ සිටින සමිතා ද දැන් තැවුලෙනි.

“කමක් නෑ අපි කතා කරමු”

මොහොතකින් ඇය ආවේ ඉතා සුරක්ෂිතව අරන් තැබු විවිධ පුවත් පත්වල සමිතා නම් වූ වෛද්‍ය ශිෂ්‍යාව , පසුකාලිනව වෛද්‍ය සමිතා පිළිබඳ පළ වූ පත්තර පිටු ගොන්නක් සමඟය. එකින් එක පෙරළා බලන අතරේ ඒ හැම පිටුවකම ඇගේ සුන්දර සිනහව රැගත් සේයාරූ පෙළක්ම තිබිණි.

මොහොතකට ඇස නතර වූයේ ඇය පිළිබඳ අප පුවත්පතේ පළවූ ලිපියක් ළඟය.

මට කෙමෙන් අතීතය සිහිවන්නට විය.

“දැයට කිරුළ ප්‍රදර්ශනයේ හට් එක කඩාවැටිලා අනතුරට පත් වෙච්ච ගැනු ළමයා අන්න දැන් හැත්තෑ තුනේ වාට්ටුවේ ප්‍රතිකාර ගන්නවා. ඒ දරුවට අමාරුයි. ඒත් ඒ ළමයා ඒ බවක් දන්නේ නැහැ.”

එකල අප පුවත්පතේ සෞඛ්‍ය සම්බන්ධ ලිපි ලියූ සුනිල් දයා අල්විස් සොයුරා වෛද්‍ය ශිෂ්‍යාව ගැන ලියන්නට මට පැවැරුවේය.

දහවල් රෝගීන් බලන වේලාවට ජාතික රෝහල කාර්යබහුලය. හැත්තෑ තුනේ වාට්ටුවේ එක් කෙළවරක ඇඳක් වටා තරුණ තරුණියෝ රැසක් වට වී සිටියහ. ඒ තරුණ තරුණියන් අතරින් කෙනෙකුට කතා කොට ඒ සිටින්නේ සමිතා දැයි ඇසීමි. ඇයගේ අනතුර හා ඒ පිළිබඳ දැනගත් තොරතුරු අනුව මා දකින්නට බලාපොරොත්තු වූයේ හඬන වැලපෙන යෞවනියකි. නමුදු ඉතාම සුන්දර යුවතියක් සුන්දර සිහවකින් මුව සරසාගෙන සයනයේ වැතිර සිටියාය. ඒ සිනාව දුටු මොහොතේ පපුව පත්තු විය.

“එයාට අමාරුයි. මෙහෙ බැරි නම් විදෙස් රටකට හරි ගිහිල්ලා ඇය සුවපත් කරගන්නයි අපිට ඕනෑ. ඇය වෙනුවෙන් අපි අරමුදලක් ආරම්භ කරන්න හදන්නේ. පුළුවන් නම් අපට ඒකට උදව් කරන්න.”

සමිතාගේ යෙහෙළියක පැවැසුවේ දෑසේ කඳුළු පුරවාගෙනය.

ගෙවුණ කාලය වසර එකොළහකි. ඒ කාලය තුළ සමිතා ජීවිතයේ ලැබු ජයග්‍රහණ බොහෝය. ඒ ජයග්‍රහණ පිටුපස සිට ඇයට උදව් කළ ඇත්තෝ ඇය වෙනුවෙන් සෙත් පැතුවෝ ආශිර්වාද කළෝ බොහෝය. දිරිය සිඳවා නොගත් සමිතා එදා මුහුණ දුන් අනතුර පිළිබඳ ඇගේ සොයුරිය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාරිනී තරංගා දීපිකා පැවැසුවේ බොඳව ගිය කටහඬිනි.

“නංගි මුලින්ම ඉගෙනගත්තේ මකුළුදුව කනිෂ්ඨ විද්‍යාලයේ. එයා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තමයි ගෝතමි බාලිකා විද්‍යාලයට ඉගෙන ගන්න ගියේ. නංගි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළු වුණේ 2004 වසරේ. එයා මේ අනතුර වෙන කොට හිටියේ වෛද්‍ය පිඨයේ තුන් වැනි අවුරුද්දේ. නංගි කොළඹ බෝඩිමක ඉඳන් තමයි විශ්වවිද්‍යාලයට ගියේ. 2008 පෙබරවාරි 15 වැනි දා නංගි යාළුවෝ එක්ක ප්‍රදර්ශනය බලන්න ගිහිල්ලා BMICH එකේ තිබුණ. ඒ වේලාවෙ වැස්සෙන් බේරෙන්න නංගි හට් එක යටට ගිහින් තිබුණේ.

නංගි අනතුරට පත් වෙලා සිහිය ආව ගමන් කියලා තියෙන්නේ එයාව රෝහලට ගෙනියන්න කියලා. අපිට ඇමතුමක් දීලා කිව්වා නංගිට අනතුරක් වෙලා කියලා. හිතා ගන්න බැරි වුණා මේ වෙච්ච දේ. වෛද්‍යවරුන් කියලා තිබුණේ නංගිව සනීප කරන්න බැහැ කියලා. ඉන් පස්සේ තමයි එයාව සිංගප්පුරු එක්කගෙන ගියේ. ඒ අවස්ථාවේ උපාලි රාජපක්ෂ මහත්තයා ලලිත් කොතලාවල මහත්තයා නංගිව සිංගප්පුරු ගෙනියන්න උදව් කළා.

අපි මාස තුනක් සිංගප්පූරුවේ රෝහලක හිටියා. ජාතික රෝහලේදී නංගිව භාරව හිටියේ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්තු මහත්මයා. මේ රටේ හැම කෙනෙක්ම නංගි වෙනුවෙන් උදව් කළා. ඒ නිසා තමයි ඉක්මනින් ප්‍රතිකාර කරගන්න පුළුවන් වුණේ. නංගි හරිම ධ්‍යෛර්වන්ත ළමයෙක්. එයා කවදාවත් අම්මටයි මටයි පේනන්න දුක් වුණේ නැහැ. එයා ජීවිතේට තනියම මුහුණ දුන්නා. අදටත් මට හිතාගන්න බැහැ ඇයි නංගිට මෙහෙම දෙයක් වුණේ කියලා.” සමිතාගේ එකම සොයුරිය පවසන්නීය.

ඇය අසලටම වී මව ඒ සියල්ල අසා සිටින්නේ මුනිවත රකිමිනි. ඇය කොතරම් නම් තම දියණිය ගැන තැවෙනවා ද දුක් වෙනවා ඇති ද යන්නට හොඳම සාධකය ඒ නිහඬ බව යැයි සිතේ.

“අපේ තාත්තා නැති වුණේ මම උසස් පෙළ විභාගය කරන කාලේ එතකොට නංගි හිටියේ පහේ පන්තියේ. අපිට ගෙයක් තිබුණා. ඒ ගේ කුලියට දීලා ලැබුණ මුදලින් තමයි අම්මා අපට ඉගැන්නුවේ. මම ඉගෙනගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. නංගි අනතුරට පත් වුණාට පස්සේ නංගිට බොහෝ අය උදව් කළා. නම් ගම් වශයෙන් කියන්න ගියොත් කෙළවරක් නැහැ. කලාකරුවන් සංගීත ප්‍රසංග පවත්වලා ඇයට උදව් කළා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඔවුන්ගේ දිවා ආහාර වේලක මුදල් නංගි වෙනුවෙන් පරිත්‍යාග කළා. නංගිගේ යාළුවෝ එයා වෙනුවෙන් උදව් කළා. මේ අයට කවදාවත් ස්තුති කරලා නිමා කරන්න බැහැ. නංගි එයාගේ ඉගෙනීම අත්හැරියේ නැහැ. එයාට ඔස්ට්‍රේලියාවේදී වැඩිදුර අධයාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. එයා ඒ ගමන ගියේ අම්මා එක්ක. මට වේලාවකට හිතෙනවා අපි මහ කම්මැළියි කියලා. එත් නංගි එහෙම නැහැ. එයා ඔරු පදින්න පුහුණු වෙන්න යනවා. ව්‍යායාම කරනවා. ඉන් පස්සේ රැකියාවට යනවා. ගෙදර ඇවිල්ලත් සමහර වේලාවට වැඩ. එයා බොහෝම පිළිවෙළට එයාගේ දේවල් කරගෙන යනවා. එයාට වේච්ච අනතුර ගැන හිතේ තියෙන දුක මෙච්චරයි කියලා නිමා කරන්න බැහැ. ඒ වුණත් නංගි මේ විදිහට සතුටෙන් ඉන්නවා දැක්කම අපේ හිත්වලටත් සතුටුයි.“

තරංගා පවසන්නේ කඳුළු අතරින් සිනහ වෙමිනි

අම්මාත් අක්කාත් සමඟ මේ කතා බහ යන අතර තුර සමිතා ගෙදර පැමිණියේ රෑ අඳුරද සමඟය. නමුදු ඒ අඳුරේ ද ඇය මේ දැන් පිපුණ සමන් මලක් සේ සිනහ නඟයි. සිය මස්සිනා සමඟ මෝටර් රථයෙන් පැමිණි සමිතා සිය සොයුරිය විසින් මෝටර් රථයේ දොර වෙත ළං කළ රෝද පුටුවට ඉතා සීරූ මාරුවට මාරු වුවාය. ඉන්පසු ඇය නිවෙස තුළට ආවාය. ඒ මොහොතේ මට දැනුණේ නිවසේ තිබූ මද අඳුර ද පහව ගියා සේය. සිනා පිරුණ ඒ වත දැකීමෙන් හදවත මොහොකට නැවතුණා සේය. අතීතයේ දවසක එනම් රෝහල් ඇද මත වේදනාවෙන් සිටි සමිතාගේ සිනාවත් අද වන විට බොහෝ දේ ජයගත් සමිතාගේ සිනාවෙත් වෙනසක් නැතැයි සිතිණි.

“ඕන දෙයක් අහන්න”

නිහඬව ඇය දෙස බලා සිටින විට ඇය ඒ නිහඬ බව බිඳ දැම්මාය.

“ මම ඔරු පදින්න පටන් ගත්තේ විනෝදාස්වාදය සඳහා. ඔස්ට්‍රේලියාවේ යන්න ඉන්න කාලේ තමයි මගේ පුහුණුකරු මට ඔරු පදින්න පුහුණු කරන්න කතා කළේ. එත් රට යන්න තිබුණ නිසා මඟ හැරුණා. ඉන් අවුරුදු දෙකකට පස්සේ ලසන්ත වැලිකල සර් එන්න කියලා දන්නලා තිබුණා. කාංචනා මට මේ පණිවිඩය කිව්වා. ඉන් පස්සේ තමයි මම ගියේ. දියවන්නාවේ තමයි පුහුණු වීම් කරන්නේ. ආබාධිත අපව ඔවුන් හොදට බලාගන්නවා. හමුදාවේ අය තමයි අපට උදව් කරන්නේ. කොරියාවේ පැවැත්වුණු ආසියානු පැරා ඔලිම්පික් තරගයේදි ඔරු පැදිමේ තරගයේ කාන්තා කේවල ඉසව්ව වෙනුවෙන් සහභාගි වෙලා මට ලෝකඩ පදක්කම ලැබුණා. යුද හමුදාවේ ජයකොඩි අයියාට රිදි පදක්කම ලැබුණා. අපත් සමඟ තවත් නංගි කෙනෙක් මේ තරග සඳහා සහභාගි වුණා.

මේ තරගය සඳහා සහභාගි වෙන්න මට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවාඩු අනුමත කර දුන්නා. ඒ වගේම මම නැති අතර මගේ රාජකාරි කටයුතු කරන්න කාර්යාලයේ අය භාර ගත්තා.

ජාතික පැරා ඔලිම්පික් කමිටුවට ජනරල් අම්පෙ මොහොට්ටි මහතා ඇතුළු සෑම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. පුහුණුකරු විදිහට කටයුතු කළ මංගල අලගියවන්න මහතා, වගේම මේ අනතුර වුණ දවසේ ඉඳලා මා වෙනුවෙන් උදව් කළ සෑම සියලු දෙනාටම මං පින් දෙනවා. මගේ යාළුවෝ පුදුමාකර විදිහට කැප වුණා.

ඒ වගේම ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, නීතිඥ අරුල් ප්‍රකාශ්, නීතිඥ නිලන්ත කුමාරගේ යන මහත්වරුන්වත් සිහිපත් කළ යුතුමයි. මගේ අම්මා, අක්කා, අක්කාගේ මහත්තයා ජයන්ත අයියා, ඇගේ දරුවන්ගෙන් මට ලැබෙන සහාය අපමණයි.”

තමන් වෙනුවෙන් ඇප උපකාර කරන රුපියලේ සිට දස දහස් ගණන් පරිත්‍යාග කළ සියල්ලන් පිළිබඳ ඇය සිහිපත් කරන්නේ කෘතඥ පුර්වකය.

වෛද්‍යවරියක ලෙස පුහුණු වන කාල සිමාවේදී ඇය ළමා රෝහලේ සේවය කළාය. දැනට ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි ආබාධ සහිත පුද්ගලයන්ගේ ඒකකයේ සේවය කරයි.

“මම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ මට කොලොන්නාව අබේසිංහාරාමයේ නන්දරතන හාමුදුරුවෝ මාසික ව ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. මට අනතුර වුණා කියලා දැන ගත්තාට පස්සේ උන්වහන්සේ හුඟක් කනගාටු වුණා. මොනවා හෝ කෑමට බීමට දෙයක් රැගෙන නන්දරතන හාමුදුරුවෝ නිතර රෝහලට ඇවිත් මගේ දුක සැප සොයා බැලුවා.” ජීවිතය මහා පුදුමාකාරය.

සියල්ල සිදු වුයේ නොසිතු මොහොතකය.නමුදු සියල්ල දෛවයට බාර නොදුන් සමිතා ජීවිතය ගොඩනඟාගන්නට වෙහෙස වුවාය. ප්‍රතිකාර අවසන් වූ මොහොතේ සිට ඇය යළිත් අධ්‍යාපන කටයුතු වල නිරත වුවාය. ඇයට අවශ්‍ය වූයේ වෛද්‍යවරියක වීමේ සිහිනය සැබෑ කරගන්නටය.

“ෙමුල් කාලේ මට මේ ජීවිතයට හුරු වෙන්න හරි අමාරු වුණා. කඩාවැටිච්ච තැන් , පසු බැස්ස තැන් තිබුණා. නමුත් තමන්ගේ ජීවිතය කා මතවත් යැපෙන තත්ත්වයකට පත් කරන්නට මට ඕනෑ වුණේ නැහැ. මට මගේ ජීවිත ගැන සැලැස්මක් තිබුණා. මම අඬපු අවස්ථා තිබුණා.

මුල් කාලේ මිනිස්සු එක එක දේවල් අහනවා. ඒ සමහර කතා වැඩකට නැති දේවල්. ඒ අය දන්නේ නෑ ඒ අහන දේවල්වලින් හිත කොයි තරම් රිදෙනවද කියලා. ආබාධිත අය සමාජය ඉදිරියට නොඑන්න එක හේතුවක් ඒකත්. මම ඔස්ට්‍රේලිවේ හිටපු කාලෙදී කවුරුවත් මගෙන් ඇහුවේ නැහැ මගේ ආබාධිත බව ගැන. ඔවුන්ට මම තවත් කෙනෙක් පමණයි. අපේ රටෙත් අන්න ඒ තත්ත්වය ඇති වෙන්න ඕන. කාට වුණත් ඉදිරියට එන්න අවස්ථාව දෙන්න ඕනෑ.

අදටත් මම මා ගැන විමසිලිමත් වෙන්න ඕනෑ. මට එකම පැත්තට නිදන්න බැහැ. හේතුව එහෙම දිගු වේලාවක් එක දිගට ඉන්න විට තුවාල හැදෙයි කියලා බයයි. රාත්‍රියේදී ඉන්න ඉරියව්ව වෙනස් කරන්න ඕනෑ. මුල් කාලේ අක්කා හරි අම්මා හරි රෑ තිස්සේ මාව අවදි කරනවා. දැන් මම ඒ ගැන හුරුවෙලා තියෙන්නේ. අපේ රටේ ආබාධිත අය සම්බන්ධයෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ . එවිටයි ඔවුන්ටත් ඉදිරියට එන්න පුළුවන්.”

වෛද්‍ය සමිතා අන් අය වෙනුවෙන්ද හඩක් නඟයි. ඇය දිරිය දියණියකි. ආත්මශක්තියෙන් පිරිපුන්ය. ඇය සතුව ඒ දිරියත් ආත්ම ශක්තියත් නොතිබුණේ නම් ඇයට මෙපමණ දුරක් එන්නට නොලැබෙනු ඇත.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button