පළකල දිනය : Mon, Dec 9th, 2019

මට තවම රණවිරු ගාය

ඔව්… මට තවම රණවිරු ගාය.. මගේ පළමු වගකීම බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයයි…. රණවිරු දඩයම ආපසු හරවනවා….
– ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

වසර පහකට ආසන්න කාලයක් තිස්සේ අවදානම් කලාපයේ සැරිසැරූ ජාතික ආරක්ෂාව භාරව සිටින ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියා ඔහුය. රණ මග ඔස්සේ නන්දිකඩාල් වික‍්‍රමාන්විතයෙදී දේශයේ සතුරා සිය බල ප‍්‍රදේශයේදී පරාජය කරන්නට ඔහුගේ නායකත්වයෙන් යුත් බල ඇණි සමත්විය. රණවිරු දඩයමේ සිට දේශයේ උස් නිදහස පාවාදෙමින් ජාතිය පරාදීන කළ යුගයේදී ඔහු සිය මෙහෙවර නොබියව දියත් කළේය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ලෙස අතිශයින්ම කාර්යය බහුල තත්ත්වයක සිටි බැවින් ඔහු සමග අපගේ හමුව සිදුවූයේ ඔහුගේ නිවසේ මධ්‍යම රාත‍්‍රිය ආසන්න සමයේදීය. ඔහු සමග ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය – මේ රටේ මෑත කාලයේ සිටි ආරක්ෂක ලේකම්වරු දෙස බලන විට ඉන් එක් පුද්ගලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයා ලෙස පත්ව සිටිනවා. ආරක්ෂක ලේකම් ධුරය දැරූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා දැන් සිටින්නේ බන්ධානාගාරගතව. ඔබගේ ආරක්ෂක ලේකම් ගමනේ දිශානතිය, මේ අන්ත දෙකෙන් කොතැනට ගමන් කරයිද කියා සිතෙන්නේ නැද්ද…?

පිළිතුර – ඒ ගැන මම එක වචනයක් විග‍්‍රහ කරමින් පිළිතුරු දෙන්න කැමතියි. නිග්ලෙක්ට් කියලා ඉංග‍්‍රීසි භාෂාවේ වචනයක් තියෙනවා. එකේ තේරුම ගණන් ගන්නේ නැහැ කියන එක. මේ තනතුර භාර ගන්න කෙනෙක් දැන ගන්න ඕනේ මේ රටේ හැම බිම් අඟලකම ආරක්ෂාව පිළිබඳ වගකීම තියන්නේ ආරක්ෂක ලේකම්වරයාට කියලා. මේ රටේ සියලූ පුරවැසියන්ගේ ජීවිතවල වගකීම තියෙන්නේ ආරක්ෂක ලේකම් අතේ… ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියත් ඔහුගේ උපදෙස් මත ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයා වෙත. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මම දන්නේ දැනට වසර තිස් අටකට පෙර ඉඳන්…

මම දෙවැනි ලූතිනන්වරයෙක් විදිහට ශ‍්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙන් එළියට එනකොට, මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වුණේ මේජර් ගෝඨාභය රාජපක්ෂ… අපි එළියට එනකොට කල්පනා කරන්නේ මම කාවද හමුදා ජීවිතයේ ආදර්ශයට ගන්නේ කියලා… ඒ රෙජිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියා දිහා බලලා ඉන් කෙනෙක් තමයි ඒ පිටවෙන නිලධාරීන් තෝරා ගන්නේ. මම එතුමා දිහා බැලූවා. ඒ දවස්වල එතුමා වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි… එතුමා කවුරු ගැනවත් විවේචනය කරන, සොයන කෙනෙක් නෙමෙයි. එතුමා කාටවත් හිනා වෙන කෙනෙක් නෙමෙයි. කාටවත් යන්න ඇරලා කතා කියන කෙනෙක් නෙමෙයි. එතුමා තමන්ට භාර දුන්න රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්. ඒ සඳහා ඔහුගේ නොයෙක් ක‍්‍රමවේද තිබෙනවා. අපි ඒ ක‍්‍රමවේද දිහා බලනවා. අපි තරුණ නිලධාරීන් කාලේ එතුමා අනුගමනය කළ හැකි චරිතයක්… එතුමා බොහොම සාර්ථක හමුදා ජීවිතයක් ගත කරලා, මේ රටේ ආරක්ෂක ලේකම් ලෙස පත් වුණා. එහෙම පත්වෙලා මේ රටේ ත‍්‍රස්තවාදය සහමුලින්ම තුරන් කිරීම සඳහා නායකත්වය ලබා දුන්නා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසුව තවත් ආරක්ෂක ලේකම්වරු හිටියා. මම ඒ අය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබ විසින් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පිළිබඳව සඳහන් කළා. අනූහත් වතාවක් බුද්ධි අංශ විසින් දැනුම් දීලා තිබියදී කිසිකෙනෙක් ඒක ගාණකට ගත්තේ නැහැ. ඒ කාලේ තිබ්බ රජය ජාතික ආරක්ෂාව කියන එක සුනඛයාට දාලා තිබ්බා. තර්ජනයක් තිබෙන බව දැනදැනත් ඒ ගැන ගණන් ගත්තේ නැහැ. එක එක්කෙනාට දොස් කියලා ඒ හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් දැන් රිමාන්ඞ් එකේ. ආරක්ෂාව පිළිබඳව කිසිවක් දන්නේ නැති, හේමසිරි ප‍්‍රනාන්දු මහතා වගේ කෙනෙක්ව පත් කරපු අයටයි මම ඒ පිළිබඳව වැරැද්ද පටවන්නේ.

ඒ වගකීම ගන්න ඕනේ සුදුසු කෙනෙක් ඒ තනතුරට පත් නොකරපු එකයි එතැන වරද… අපිට ඒ වගේ දේවල් පිළිබඳව හොඳ අත්දැකීම් තියෙනවා. අපි ඒ පිළිබඳව හදාරා තිබෙනවා. හමුදාවල නාඩි වැටෙන හැටි, හදවත ගැහෙන හැටි දන්නේ නැති කෙනෙකුට මේ තනතුර හොබවන්න බැහැ. මම තර්ජනවලට මුහුණ දුන්න කෙනෙක්… සතුරා ගැන දන්න කෙනෙක්… සතුරා මොනවා හරි කරන්න හිතනකොට ඒක මට ඉවෙන් වගේ දැනෙනවා. ඒ මගේ දැනුම සහ අත්දැකීම්… මේ ආණ්ඩුව ආරක්ෂක ලේකම් තනතුරු දරපු අය ඒ ගැන කිසිවක් දන්නේ නැති අය. කිසිම දෙයක් ගණන් ගත්තේ නැති අය. මම ආදර්ශයට ගන්න චරිතය එහෙම කෙනෙක් නෙමෙයි… ඒ නිසා මගේ අරමුණ මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන එක. ඒ සඳහා මගේ රෝල් මොඩල් එක ගෝඨාභය රාජපක්ෂ.

ප‍්‍රශ්නය – අද වනවිට රාජ්‍ය බුද්ධි අංශ සම්පුර්ණයෙන්ම පිරිහිලා ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබගේ ප‍්‍රථම වගකීම වන්නේ බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයයි. ඒ සඳහා ඔබගේ සූදානම කොහොමද…?

පිළිතුර – මේ රටේ බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය සඳහා යෝධ පියවර තැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන අවධියේදී. එදා එතුමා එම බුද්ධි අංශ අතර මනා සම්බන්ධීකරණයක් ඇති කළා. යුද්ධය යන අතරේ එතුමා කෙතරම් කාර්ය බහුල වුණත් සෑම අඟහරුවදා දවසකම එතුමා සියලූ බුද්ධි අංශ හමුවී සාකච්ඡා පැවැත්වුවා. එම බුද්ධි අංශ ලබා දුන් තොරතුරු එතුමා සුළුකොට තැකුවේ නැහැ. ඒ සඳහා විශාල අවධානයක් ලබා දුන්නා. යහපාලන ආණ්ඩුව විසින් එම බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා වැට්ටුවා. බුද්ධි අංශ එකිනෙකා අතර අරගල ඇති කළා.

අපේ බුද්ධි අංශ ලෝකයේ තිබූ විශිෂ්ට බුද්ධි බළකායක්… මම අපේ බුද්ධි අංශ නගා සිටුවීම සඳහා ගුරුකොට ගන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා එදා බුද්ධි අංශ නගා සිටුවූ ආකාරයයි. මම සතියට එක් දිනක් සියලූ බුද්ධි අංශ මුණ ගැසෙනවා. එක කුඩයක් යටතේ මෙම බුද්ධි අංශ පවත්වාගෙන යෑම තමයි මගේ අරමුණ. පසුගිය රජය රහස් පොලිසියේ දූ ෂි ත නිලධාරීන් කිහිපදෙනකු උසි ගන්වලා දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව හමුදා බුද්ධි අංශය මුළුමනින්ම කඩා කප්පල් කළා. අපේ හමුදා බුද්ධි අංශය කියන්නේ අතිශය දක්ෂ, සම්පත් බහුල, අත්දැකීම් ඇති අංශයක්… එහෙම හමුදා බුද්ධි අංශයක් තියෙන හමුදාපතිවරයා පාස්කු සිදුවීමෙන් පස්සේ, නින්දෙන් ඇහැරිලා වගේ එළියට බැහැලා මොකද කිව්වේ “අපිට පොලිසියෙන් මේ ගැන දැනුවත් කළේ නැහැ” කිව්වා. මම ඒ ප‍්‍රකාශය ගැන අදත් ලජ්ජා වෙනවා. අපි අවුරුදු ගාණක් යුද්ධය කළේ හමුදා බුද්ධි අංශයේ උපදෙස් අනුව. ඊට පස්සේ ඒ හමුදාපතිතුමා පාර්ලිමේන්තුවේ කමිටුව හමුවේ කිව්වේ ‘‘මම මේ ගැන දැන ගත්තේ අන්තර්ජාලයෙන් කියලා. සුදුසු නිලධාරීන් ඒ තැනට පත් කරලා, දේශපාලන පළිගැනීම් පසුපස නොගිය පිරිස ඒ සඳහා පත් කරනවා. සියලූ බුද්ධි අංශ සම්බන්ධීකරණය කරලා, ඒ අයගේ සේවය අගය කරලා, එම අංශ සඳහා යළිත් ඔක්සිජන් ලබාදීමයි මගේ කාර්යභාරය.

ප‍්‍රශ්නය – පාස්කුවේ කරන ලද විනාශයෙන් අප පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා මෙන්ම, එම උවදුර දුරින් දුරු වුවාද යන සැකය අප හමුවේ තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ විග‍්‍රහය කෙබඳුද…?

පිළිතුර – සහරාන් ඇතුළු කල්ලිය විනාශ වූවාට ඔවුන් විසින් උත්තේජනය කරන ලද පිරිස් තවමත් මේ රටේ සිටිනවා. මම හිතන විදිහට සිය ගණන් තරුණයන්ව ඒ සඳහා ඔවුන් මතවාදීව පෝෂණය කරලා තියෙනවා. මෙම දැඩි මතධාරීන් සියලූ දෙනා පුනරුත්ථාපනය කිරීම අපි කළයුතු වෙනවා. එදා අපි එල්ටීටීඊය පරාජය කරලා එම සංවිධානයේ හිටපු පිරිස් පුනරුත්ථාපනය කළා. හයදාස් ගණනක් එදා අපිට භාරවුණා. දොළොස්දහස් දෙසිය හතළිස් දෙකක් අපි සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කළා.

එහි ප‍්‍රතිඵලය විදිහට ගෝපිලාගේ සිද්ධිය හැර වෙන කිසිම සිදුවීමක් අපට වාර්තා වුණේ නැහැ. යුද හමුදාව විසින් තමයි එම පුනරුත්ථාපන කටයුතු එදා සිදුකළේ… එවැනි පියවරක් සඳහා අපි මුලින්ම මේ රැඩිකල් පිරිස් හඳුනා ගත යුතුයි. එය හඳුනාගැනීම සඳහා ජනතාව අතරට යායුතුයි. ඒ සඳහා අපිට හොඳ බුද්ධි අංශයක් අවශ්‍ය වෙනවා. අපි මේ වෙලාවේ සිදු කළ යුත්තේ අපේ බලසේනා යොදා කරන යුද්ධයක් නෙමෙයි. මේක මොළේ කල්පනා කරලා කරන යුද්ධයක්. ඒ අයත් අපේම රටේ මිනිස්සු… ඒ අය නොමග ගොස් යම් දෙයක් කරන්න ඉස්සෙල්ලා අපි ඒ පිරිස් පුනරුත්ථාපනය කළ යුතුයි. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැන් ප‍්‍රධාන වගකීම සතු වන්නේ මා යටතේ සිටින බුද්ධි අංශ. මම ඒ වගකීම අරගෙන ක‍්‍රියා කරන බව කියන්න කැමතියි.

ප‍්‍රශ්නය – “රණවිරු දඩයම” කියන ක‍්‍රියාදාමය හේතුවෙන් අපේ හමුදා නිලධාරීන් විශාල පිරිසක් සිරගත වුණා. ඔවුන්ගේ පවුල් අනාථ වුණා. ඔවුන්ගේ උසස්වීම් වැනි දේ අහිමි වුණා. මේ ආණ්ඩුව බලයට පත් වුණේ රණවිරු දඩයම ආපසු හැරවීමේ ජනතා අභිලාශය සමගයි. ඒ සඳහා වගකීමක් ඔබටත් තිබෙනවා. එදා රණවිරු දඩයම වෙනුවෙන් හඬ නගපු පුද්ගලයෙක් ඔබ… අද ඒ සඳහා පිළියම් යෙදිය හැකි වගකිව යුතු තනතුරක ඔබ සිටිනවා. මේ සඳහා ඔබ ගන්නා පියවර කුමක්ද…?

පිළිතුර – පසුගිය රජය කාලයේදී රණවිරු කියන වචනය දෙවිදිහකට ඇසුණා, ඒ “රණවිරු දඩයම” සහ “රණවිරු ගාය” කියන සංකල්ප දෙක… “රණවිරු ගාය” කියන එක ඇසුනාම “අපිටත් රණවිරු ගාය ..” කියලා අපේ රටේ ජනතාව ප‍්‍රසිද්ධියේ කියන්න පටන් ගත්තා. රණවිරු ගාය කියන ලෙඬේ සනීප කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට රණවිරු ගාය හැදුණේ හතරේ පන්තියේ ඉන්න කාලේ… ඒ නිසා තමයි මං හමුදාවට බැඳුණේ… අපිත් එක්ක සටන් කරපු ජගත් ඩයස්ලා, ශවේන්ද්‍ර සිල්වා, ප‍්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේලා කියන ඔක්කොම අයට රණවිරු ගාය තිබ්බා. ඒක අපි මැරෙනකම් තියෙන දෙයක්… ඒ රණවිරු ගාය අපි පාවිච්චි කරන්නේ මේ රටේ ජීවිත සුරක්ෂිත කරන්න. මේ රට සුරක්ෂිත කරන්න… අපේ ජීවිත පවා ඒ අරමුණ වෙනුවෙන් පූජා කරන්න අපි සූදානම්, ඒක තමයි අපේ රණවිරු ගාය.

ඊළඟට රණවිරු දඩයම කළේ, අපේ සටන් කිරීමේ හැකියාව දුර්වල කිරීමටයි. අපේ සටන් කිරීමේ හැකියාවේ විශාල ප‍්‍රතිශතයක් යන්නේ චිත්ත ධෛර්යය කියන එකට. අපි ළඟ මොනතරම් හමුදා බලඇණි තිබුණත්, මොනතරම් අවි ආයුධ තිබුණත්, මොන තරම් හොඳ නායකත්වයක් තිබුණත්, චිත්ත ධෛර්යය කියන එක නැත්නම් අපිට සටන් කරන්න බැහැ. අපේ හමුදාවේ චිත්ත ධෛර්යය මේ රණවිරු දඩයමෙන් වැට්ටුවා. අපේ රණවිරුවෝ හිරේ මොන තරම් විඳගෙන හිටියත්, ඒ අයගේ පවුල් එතැනම වැටෙනවා. එළියේ ඉන්න කොල්ලෝ දන්නවා මේ හිරේ ඉන්න කෙනා මොනතරම් රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක් ද කියලා. ඒ නිසා ඒ අයත් මානසිකව ඇදගෙන වැටෙනවා. මේ රණවිරු දඩයම ආපසු හරවන යෝධ කර්තව්‍යය මට අද භාරවෙලා තියෙනවා. ඒ සඳහා මට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියන සටන් සගයා ඉන්නවා.

ඒ වගේම තව හොඳ නිලධාරීන් පිරිසක් සහ මේ රටේ ජනතාව මාත් එක්ක ඉන්නවා. මේ වැටිලා තියෙන චිත්ත ධෛර්යය නගා සිටුවන්න මට පුළුවන්… මේ හැම රණවිරු දඩයමක්ම කළේ එක නමක් අසාගන්නයි… ඒ හැම රණවිරුවෙක්ම හිරේ දාගෙන ඇහැව්වේ එක නමයි… ඒ නම කිව්වා නම් කිසි දඬුවමක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හිරේ දාගන්න තමයි මේ සියල්ල කළේ. අපි ඒකත් අමතක කළ යුතු නැහැ. මේ රණවිරු දඩයම දේශීය වශයෙන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගහන්න… ඒ වගේම විදේශීය වශයෙන් රණවිරු දඩයම කළේ අපි ඔක්කොටම ගහන්න… ඒ කියන්නේ යුද අපරාධ චෝදනා එල්ල කරලා, මේ යුද්ධය දිනා ගැනීම සඳහා නායකත්වය ලබා දුන්න සියලූ දෙනාට පහරදීමේ වුවමනාවක් ඒ රජයට තිබුණා. මේ සියලූ බලාපොරොත්තු අපි සුන් කරනවා. මේ රණවිරු දඩයම අපි ආපසු හරවනවා.

ප‍්‍රශ්නය – දැන් රට හමුවේ තවත් යුද්ධයක් ඇතිවී තිබෙනවා. ඒ තමයි ‘‘තහනම් ද්‍රව්‍ය යුද්ධය’’ මේ රට එම අභියෝගය ජය ගැනීම සඳහා ඔබට තිබෙන සැලසුම් මොනවාද…?

පිළිතුර – මේක භාරදුර වගකීමක්… අතින් ගිලිහිලා යන තරමට මේ උපද්‍රවය විසින් රට වෙලාගෙන අවසානයි. ඒත් ‘නොහැක්කක් නොමැත’ යන මම ගරු කරන කියමන උඩ මම මේ වැඬේටත් අත තබා තිබෙනවා. මේක අමාරු කාර්යයක්… මෙහි සියලූ මෙහෙයුම් කරුවන් සිටින්නේ බන්ධනාගාරය ඇතුළේ… එළියේ ඉන්නේ වාහකයෝ විතරයි. ඒ නිසා මුලින්ම අපි බන්ධනාගාර ටික ශුද්ධ කළ යුතු වෙනවා. ඒ කියන්නේ ඒ ඇතුළත දුරකථන ඇමතුම්, සම්බන්ධතා නැවැත්විය යුතු වෙනවා. ඒ සඳහා අපි සැලසුමක් සකස් කරගෙන යනවා. බෙදාහැරීම සහ පාවිච්චි කිරීම කියන එකත් අපි නැවැත්විය යුතු වෙනවා. මේ සඳහා ලතීෆ් මහතා යටතේ විශේෂ කාර්ය බළකාය ලොකු සේවයක් කරනවා. ඒ වගේම මේ සඳහා අපි බුද්ධි අංශ යොදවනවා. විශේෂයෙන්ම පාසල් ළමුන් මේ සඳහා ඇබ්බැහි කරමින් පවතිනවා. ඒ සමහර ද්ව්‍ය සෝදිසි කිරීම පවා අපහසුයි. එසේ වුවත් මේ රටේ අනාගතය වෙනුවෙන් අපි මේ වසංගතය රටින් තුරන් කර දමනවා.

ප‍්‍රශ්නය – හිටපු හමුදා නිලධාරියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ වත්මන් ජනාධිපතිවරයා. ඔබ මේ රටේ ආරක්ෂක ලේකම් වරයා. මේ විදිහට රටේ ප‍්‍රධාන ස්ථාන හමුදාකරණය වෙනකොට රටේ මිලිටරි පාලනයක් බිහිවෙයිද කියන බය සමහරුන්ට තියෙනවා…

පිළිතුර – අපි අපේ හමුදා ශක්තිය යෙදෙව්වේ මේ රට වෙනුවෙන් මේ රටේ සිටින සියලූ ජනතාව වෙනුවෙන්… ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා සමහරුන් සමාජ මාධ්‍ය ජාලවල ප‍්‍රසිද්ධ කළේ, අමාත්‍යංශ සියල්ලේම ලේකම් තනතුරු සඳහා හමුදා ප‍්‍රධානීන් පත් කරනවා කියලා, ඒ සියල්ල අද බොරු වෙලා තියෙනවා. ඒ ලේකම් තනතුරු සඳහා හමුදා නිලධාරියෙකු ලේකම් ලෙස පත් කළේ මාව විතරයි. ඒ ආරක්ෂක ලේකම් තනතුරට. මට ඒ ගැන දැක්මක් තිබෙනවා, අත්දැකීම් තිබෙනවා. ඒ නිසා තමයි මාව ඒකට පත් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවෙන් ගියාට පස්සේ සිවිල් තනතුරක් වන ආරක්ෂක ලේකම් තනතුර සහ නාගරික සංවර්ධන ලේකම් කියන තනතුර යන දෙකම ඉසිලූවා.

ඒ තනතුරු වලින් මෙරටේ මිලිටරි බලයක් ඔහු පැතිරෙව්වේ නැහැ. එදා එතුමා නිලධාරියෙක් ලෙස කරන ලද සේවය නිසයි, මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති තනතුරට පත් කර ගත්තේ. එදා යුද්ධයෙන් අසරණ වූ ජනතාවට වතුර ටිකේ ඉඳලා දුන්නේ හමුදාව… ඒ මිනිස්සුන්ට ජීවිතේ දුන්නේ හමුදාව. මේ නිසා ඔය මිලිටරි යාන්ත‍්‍රණයක් පිළිබඳව කිසිම බියක් ඇති කර ගත යුතු නැහැ. අපි කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව. අපි හමුදාවේ රාජකාරි කරපු පලියට, සටන් පුහුණු වූ පලියට, නිල ඇඳුමක් ඇන්ද පළියට, සටනට නායකත්වය දුන්න පලියට, සටන් කරපු පළියට, අපි අමනුෂ්‍යයෝ නෙමෙයි. සටනේදී අපි හොඳ සටන්කාමින්… සිවිල් සමාජයේදී අපි හොඳ මහත්වරු… ප‍්‍රජාතන්තවාදය කියන වචනය වියපත් වෛශ්‍යාවක් වගේ පසුගිය කාලයේදී භාවිත කළා. යකා අග්ගලාව ගිල්ලා වගේ මහ බැංකුව ගිලපු අයත් අපි දැක්කා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. අපි, මේ කතා කරන්නේ එහෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන නෙමෙයි. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවදයක් ගැනයි… ඒ ප‍්‍රජාතන්තවාදය අපි මේ රටේ සියලූ ජනතාවට කිසිම වෙනසක් නැතුව ලබාදෙනවා.

ප‍්‍රශ්නය – මේ තනතුර සඳහා ඔබව නම් වන්නේ පසුගිය කාලය පුරා ඔබ විසින් පැවති ආණ්ඩුවට එරෙහිව දක්වන ලද දැඩි විරෝධය හේතුවෙන්… ආරක්ෂක ලේකම් තනතුර පිළිබඳව ඔබ කලින් සිටම බලාපොරොත්තු තබාගෙන සිටියාද…?

පිළිතුර – මම එදා සියලූ දේ කළේ මේ රට වෙනුවෙන්. මම ඒ දේවල් කළේ කිසිම දෙයක් බලාගෙන නෙමෙයි. මේ රටට ජාතියට, අනාගත පරපුරට ආදරය කරන හොඳ නායකයෙක්ව මේ රටට පත් කරන්නයි මම ඒ සියලූ දේ කළේ. එහෙම නැතුව මම මේ තනතුර බලාගෙන හිටියේ නැහැ. මම පුද්ගලික අංශයේ හොඳ වැටුපකට, හොඳ රැකියාවක් කරපු කෙනෙක්… මට මේ තනතුර පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මාව ආරක්ෂක ලේකම් කරන්න කියලා ඉල්ලූවේ නැහැ. ඒ වගේම එතුමාත් ජනාධිපතිවරණයට පෙර කිසිම දවසක මාව ආරක්ෂක ලේකම් කරනවා කියලා කිව්වේ නැහැ. නමුත් එතුමා ඡන්දය දිනපු දවසේ උදේ මට කතා කරලා කිව්වේ “කමල්…

මම හිතන විදිහට ඔයා තමයි මේකට සුදුසුම කෙනා… මට මේ වැඬේ භාර අරගෙන කරලා දෙන්න…” කියලා එතුමා මට දැනුම් දුන්නා. එතුමා එහෙම කියන්නත් මම ඒ වාක්‍යය අහන්නත් පෙර, මේ රටේ සුවහසක් ජනතාව බලාපොරොත්තු වුණා, මම මේ රටේ ආරක්ෂක ලේකම් වෙයි කියලා. බොහෝ දෙනෙක් කතා වුණා ” ගෝඨාභය මහත්තයා ජයග‍්‍රහණය කළවිට කමල් ගුණරත්න තමයි ආරක්ෂක ලේකම්…” කියලා. ජනතාවගේ ඒ පැතුම, බලාපොරොත්තුව, ගෞරවය මම අමතක කරන්නේ නැහැ. ඒ වගකීම, බර, අභියෝගය මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහ මග පෙන්වීම අනුව මම ඒ බලාපොරොත්තු වෙන සුරක්ෂිත දේශය බිහි කරන්න සූදානම්… මම හිතනවා ඒ ශක්තිය මට තියෙනවා කියලා.

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර
Source : දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button