පළකල දිනය : Sat, Dec 14th, 2019

ගම්පහ, කරස්නාගල මිනිරන් පතලේ වැඩ යළි ඇරඹෙයි

අතහැර දැමූ ගම්පහ, කරස්නාගල මිනිරන් පතලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. සියයට 97කට වැඩි කාබන් ප්‍රතිශතයක් ඇති මිනිරන් අඩංගු මෙම පතලෙන් ඉදිරි වසර 20ක කාලය තුළ ලබා ගැනීමට අපේක්ෂිත මිනිරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 53,000කට අධිකයි. දශක ගණනාවකට පෙර ගම්පහ, අත්තනගල්ලේ අක්කර 7ක භූමි ප්‍රමාණයක පිහිටි කරස්නාගල මිනිරන් පතලේ පරීක්ෂණ කටයුතු ආරම්භ වූයේ මීට වසර 3කට පෙරයි. ඒ කැනේඩියානු සමාගමක් සහ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය එක්වයි.

මෙහි මිනිරන් තුළ ඇති කාබන් ප්‍රතිශතය 97% ඉක්මවා ඇති අතර ලොව බොහෝ රටවල මිනිරන් තුළ ඇත්තේ 10%ත් 40ත් අතර කාබන් ප්‍රතිශතයක්. ඒ අනූව පොළව මට්ටමේ සිට අඩි 150ක් පමණ අභ්‍යන්තරය දක්වා කැනීම් කටයුතු සිදුකර නවතා තිබූ පතලේ පළමු මිනිරන් අස්වැන්න ලබා ගැනීම ඊයේ සිදුකෙරුණි.

මෙම පතලෙන් ලබාගන්නා මිනිරන් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට අපේක්ෂිතයි.

පතල් කැණීම් අතින් මෙදියත පතළ ඉතිහාසයක් අපට වේ. එම සුපතළ පතල් කතාවේ මතකය මතින් අතීතයට ගිය විට මිහිපිටින් මිණිකැට මතු වී ඒවා රටට ඉසුරු ගෙනැවිත් තිබේ. සයුරකින් වට මෙදියත එහි මුතු ඇටය ලෙස සැලකීමට ද මේ මිණිකැට හේතු වී ඇත. මිණිකැට වලට අප කොතරම් ලොව පතළ වීද යත් මේ දිවයින රත්නදීප ලෙස ද සැලකේ. ඒ මිණිකැට මතුවුණේ පොළොව පතුලිනි.

මිණිකැට මෙන්ම මිනිරන් පතලට ද අප ලොව ප‍්‍රසිද්ධය. කහටගහ සහ බෝගල ඒ අතරින් පෙරමුණ ගත් පතල් වේ. මැණික්” මිනිරන් මතු නොව මයිකා” පෙල්ස්පා” සර්කෝන් සහ රූටයිල් ආදී විවිධ ඛනිජ අපේ මිහිතලය පතුලේ තැන්පත් වී ඇත. ඉන් ඉස්මතු කර ගන්නා ලද ඛනිජ සම්පත මෙන්ම අපේ පතල් කර්මාන්තය ද රටේ ලෝකයේ ප‍්‍රසිද්ධ වී ඇත.

මිනිරන් පතල් කර්මාන්තය නිසාවෙන්ම මතුව බිහිවූ උප සංස්කෘතියක් ද අපට උරුමව ඇත්තේය. ඒ වූ සංස්කෘතිය තුළින් පතල් කර්මාන්තය” මිනිරන් පතල් අපගේ ජන සමාජයට කෙතරම් සමීප ද යන්න මොනවට පැහැදිලි වේ.

ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට – කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට – යන්නේ කවදාද මවුපියො දකින්න ට

අපේ රටේ එම පතල් කතාව යළිත් අලූත් කරමින් අතීත පතලක් මතක මංපෙතට පැමිණ ඇත. ඒ පතල මතුවන්නේ නිට්ටඹුව ප‍්‍රදේශයෙනි. නිට්ටඹුව සිට කිලෝමීටර් 10 ක් පමණ ගිය විට හමුවන කරස්නාගල ප‍්‍රදේශයේ එම පතල පිහිටා ඇත.

වසර සියයකට එපිට ඉතිහාසයේ එහි මිනිරන් කැණීම් කර ඇති බවට සාක්‍ෂි වේ. එකල මිනිරන්වලට ලොව විශාල ඉල්ලූමක් තිබී ඇත.  මෙම පතල ගල්පතල ලෙස ද සැලකේ. ඊට හේතු වී ඇත්තේ එම පතල තනිකරම පාහේ ගලක් විද නිර්මාණය වු පතලක් නිසා විය හැකිය.

පොළොව මතුපිට සිට අඩි 153 ක් පමණ දක්වා මේ වන තෙක් කැණීම් කර ඇති එම පතලේ පතුල තෙක් ම යන විට හමුවෙන්නේ අතිවිශාල ගල් පර්වතයකි. එකල මිනිසුන් කිසිදු ශිල්පීය තාක්‍ෂණික දැනුමකින් තොරව මෙම කැණීම් සිදුකර තිබීම විශ්මය දනවන සුළුය. මිනිස් ශ‍්‍රමයෙන් පමණක් අඩි 150 ක් ගැඹුරට ගල් විදිමින් කඩමින් පතලක් කැනීමට ඔවුන් සමත් වී ඇත. අවසානයේ ඔවුන් මෙම පතල අතහරින්නට ඇතැයි සිතිය හැක. ඊට හේතු වන්නට ඇත්තේ පතල තුළට ජලය එක්රැස් වීමත්” ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් නොමැතිව හුස්ම ගන්නට අපහසු වීමත් නිසා විය හැක. ඒ ගල් පතලේ අතීත කතාවයි.

අතීතයේ වැලිතලාවට යට වී වැසී යන්නට අත්හැරුණු පතල් බොහෝ ය. එහෙත් ගල් පතලට එම ඉරණම අත් නොවීය. එය අතීත මතකයක් පමණක් නොවී වර්තමානයට” අනාගතයට රටට ලෝකයට අවැසි ඉල්ලූම සරිකරන්නට යළි මතු වී ඇත.

ඒ ඉස්මතුවීම පිටුපස ඇත්තේ වෙනම කතාවකි. ගල්පතල යළි රට වෙනුවෙන් මතුවන්නේ පිටරට ආයෝජනයකිනි. එය එසේ මෙසේ සුළුපටු ආයෝජනයක් නොවේ. ඩොලර් මිලියන 500 ක ආයෝජනයකි. රුපියල් වලින් මිලියන 9000 ක එනම් රුපියල් කෝටි 900 ක ආයෝජනයක් සමගිනි. ඒ සුවිසල් ආයෝජනයට මග විවර වෙන්නේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ මඟපෙන්වීම මගිනි. මෙම ව්‍යාපෘතියට අදාළ යෝජනාව සර්කෝන් ඩිවලොප්මන්ට් සමාගම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඊට අදාළ සමීක්‍ෂණ කටයුතු කාර්යාංශය විසින් සිදුකළ බව එහි සභාපති අසේල ඉද්දවෙල මහතා කරස්නාගල පතල ආශ‍්‍රයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

අතීතයේ මිනිරන් කර්මාන්තය තිබුණ බවට සැලකෙන අත්තනගල්ල. පස්යාල සහ ඌරාපොල ආදී ප‍්‍රදේශ තෝරා ගනිමින් වර්ග කිලෝමීටර් 27 ක පමණ වපසරියක කාර්යාංශය මගින් එම සමීක්‍ෂණ සිදුකර ඇත. පෙරදී කැණීම් සිදුකළ වළවල් තුනක් පමණ එම ඛනිජ ගවේෂණයේදී සොයා ගැනීමට කාර්යාංශයේ නිලධාරීන් සමත් වී ඇත. භූ භෞතික විද්‍යා සමීක්‍ෂණ වලට අනුව ඒ අතුරින් මිනිරන් තැනීම සඳහා යෝග්‍යතම ප‍්‍රදේශය ලෙස කරස්නාගල ප‍්‍රදේශය හඳුනාගෙන ඇත. එහිදී විදුම් වළවල් 23 ක පමණ අභ්‍යන්තරයට කැණීම් සිදුකර ඇති අතර ජාතියේ වාසනාවට ඉන් වළවල් 10 ක පමණ මිනිරන් සොයා ගැනීමට හැකි වී ඇත. ඒවා මීටර් භාගයක පමණ ඝනකමකින් යුත්ත මිනිරන් ධමනි ලෙස හමු වී ඇති අතර කාර්යංශයේ විශ්ලේෂණය කිරීමේදී සියයට 97.5 ක පමණ කාබන් ප‍්‍රතිශතයක් එහි ඇති බවත් විශ්ලේෂණය වී තිබේ.

මිනිරන් ගල් පතලේ කතාව අලූත් වෙන්නේ මෙතැන් සිටය. මිනිරන් ග‍්‍රැෆයිට් ලෙස ඉංග‍්‍රීසියට හැරුණේය. ගල්පතල පතල කරස්නාගල පතල වූවේය. වසර සියයකට පමණ පසුව කරස්නාගල ග‍්‍රැෆයිට් පතල බවට පත් වූ එදා මිනිරන් ගල්පතල මීට දින කිහිපයකට උඩදී අපගේ නිරීක්‍ෂණයට ලක්විය. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මෙම ග‍්‍රැෆයිට් සම්පත සොයා ගැනීමට මඟපෙන්වූවා සේම පතල නිරීක්‍ෂණය සඳහා මාධ්‍ය කණ්ඩායමක් එහි ගෙනගොස් පතල පිළිබඳව රටට කියාපෑමටත් ඔවුන් කටයුතු කර තිබිණි.

නිට්ටඹුවෙන් අත්තනගල්ල දෙසට ගොස් ඌරාපොළ ප‍්‍රදේශය පසුකර යැමේදී කරස්නාගල ග‍්‍රැෆයිට් පතල හමුවේ. නිට්ටඹුව සිට නිකහැටිකන්ද දක්වා ධාවනය වන බස් රථයේ ගමනාන්තය සමීපයේ ඇවිද යා හැකි දුරකින් කරස්නාගල පිහිටා ඇත. කරස්නාගල ග‍්‍රැෆයිට් පතල වෙත අප ළඟාවූයේ රටේ ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැෙඟමින් තිබියදීය. විශේෂයෙන් අප කරස්නාගල දක්වා ගිය දිනයට පෙර දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) මෙම පතල ගැන සාකච්ඡා කෙරිණි. ප‍්‍රශ්න කෙරිණි. ඒ භූ විදා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

කෝප් කමිටුවේ එදින සාක්‍ෂි විමසීම සඳහා එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති කමිටු සාමාජිකයන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමැතිවරුන් එක්ව සිටියහ. ඉමහත් ජාතික වටිනාකමකින් යුතු කරස්නාගල ග‍්‍රැෆයිට් පතල පිළිබඳව කාර්යාංශයේ අවධානය යොමු වී නැද්ද ඒවායෙන් ග‍්‍රැෆයිට්ය ලබා ගන්නවාද..? ඒවාට අගය කරනවාද යන්න කමිටුවෙන් ප‍්‍රශ්න කිරීමත් සමඟම භූ විද්‍යා සභාපතිවරයා පැවසුවේ ඒ පිළිබඳව දැනුවත් කිරීමට  අප මාධ්‍ය කණ්ඩායමක් ඒ සඳහා රැගෙන යන බවයි. එය ඊට සතියකට පමණ ඉහත දී සැලසුම් කර තිබිණි.

කොප් කමිටුවේදී එදින වඩාත් අවධානයට යොමු වුණේ මිනිරන් හෙවත් ග‍්‍රැෆයිට් වලට අගය එකතු කිරීම පිළිබඳවය. ග‍්‍රැෆයිට්වල ඇති අණුක ව්‍යුහයේ කාබන්දාමය හෙවත් කාබන් ස්ථරය වෙනස් කිරීමෙන් ග‍්‍රැෆීන් නිර්මාණය කෙරේ. ග‍්‍රැෆයිට් අමුද්‍රව්‍යයක් වශයෙන් සෘජුවම කර්මාන්තයන්හි භාවිතයට ගත නොහැකිය. ඒ සඳහා ග‍්‍රැෆයිට් රසායනිකව යම් වෙනස් කිරීමට ලක් කර ග‍්‍රැෆීන් බවට පත් කළ යුතුය. ග‍්‍රැෆීන් සඳහා ලොව විශාල ඉල්ලූමක් පවතී. අගය එකතු නොකර අපනයන කිරීම ඉතා අඩු ඵලදායිතාවයකින් යුතු ක‍්‍රියාවලියක් බව අනාවරණය විය. ඒ අනුව ඊට අදාළ රාජ්‍ය ප‍්‍රතිත්තියක් සැකසීමට අවශ්‍ය බවට ද එහිදී නියෝග කෙරිණි. විශ්මය උපදවන කරුණ නම් ග‍්‍රැෆයිට් මෙටි‍්‍රක් ටොන් එකක් අපනයනය කරන මිල ඩොලර් 2000 ක් බවත්” ග‍්‍රැෆීන් කිලෝ එකක අපනයන වටිනාකම ඩොලර් 5000 ක් පමණ වීමත්ය. එනම් කිලෝ 1000 ක අපනයන මිල ඩොලර් 2000 ක් වන ග‍්‍රැෆයිට්” ග‍්‍රැෆීන් බවට පත් කළ විට එක කිලෝ එකකින් ඩොලර් 5000 ක් ඉපයිය හැක.

කෝප් කමිටු සාමාජික හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ යන ඇමැතිවරුන් එහිදී පුන පුනා ප‍්‍රකාශ කළේ රටේ අනාගත සංවර්ධනයේ දොරටුව ග‍්‍රැෆයිට් සම්පත ග‍්‍රැෆීන් කර ගැනීමෙන් උදාකර ගත හැකි බවය. සැබෑය” භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය කළ කැණීම් පර්යේෂණවලදී සොයාගෙන ඇති තොරතුරු අනුව කරස්නාගල පතලින් මතුකර ගත හැකි බවට අනුමාන කරන ග‍්‍රැෆයිට් ප‍්‍රමාණය ටොන් 53000 කි. ඒවාට අගය එකතු කර ග‍්‍රැෆීන් කළ යුතුය. ග‍්‍රැෆීන් ටොන් 53000 ක් යනු කිලෝ වලින් ගත් විට කිලෝග‍්‍රෑම් පන්කෝටි තිස්ලක්‍ෂයකි. (53000000) කි. ඉන් කිලෝ එකක් ඇමරිකානු ඩොලර් 5000 ක මිලකට අපනයනය කළ හැකිය.

කිලෝග‍්‍රෑමයක මිල වන ඩොලර් 5000 අපේක්‍ෂිත ග‍්‍රැෆීන් ප‍්‍රමාණය වන 53000000 න් වැඩි කළ විට එකතු වන වටිනාකම රුපියල් බවට පත් කළ විට හිතා ගැනීමටවත් නොහැක. ගණිතඥයකුගෙන් හෝ විමසා එම මුදල ලිවිය හැක. එහෙත් ඇස්වහ කටවහ හෝ හදි හූනියම් හෝ ඊට වදීවි යැයි සිතෙන බැවින් එය නොලියා සිටිමු. ජාතියේ අනාගත දොරටුව හෙවත් ජාතියේ මහා නිධානය යැයි හැෙඟන එම පතලේ පතුලට අපේ දෙපතුල් ද ළඟාවිය. එහෙත් අපේ දෙපතුල් පතලේ පතුලේ නොගැටුණි. මන්ද අවශ්‍ය කරන ‘‘බූට්ස්.. අපි පැළඳ සිටිමු. එමෙන්ම කබා ආවරණ” හිස් වැසුම් සහ අත්වැසුම් ද පතුලට බැසීමට අනිවාර්ය ඇඳුම් පැළඳුම් කට්ටලයෙන්ද අපි සමන්විත වීමු.

පතලේ ඉහළ සිට පහළ දක්වා ඉනිමං බැඳ තිබිණි. වසර සියයකට පෙර හාරන ලද එම පතලේ යළි කැණිම් සඳහා පසුගියදා කටයුතු කරද්දී එහි ඉහළ කොටසේ බැම්ම කොන්ක‍්‍රීට් වලින් ශක්තිමත් කර තිබිණි. ඊට අමතරව ඉහළ සිට පහළ දක්වා විශාල ඔක්සිජන් බට සම්බන්ධ කර තිබිණි. එකිනෙකා අතර සන්නිවේදනය සඳහා කථන පහසුකම් ඇති කිරීමට අවශ්‍ය උපාංග උපකරණ ද පතල තුළ විය.

ඉණිමං විස්සකින් යුතු වූ පතලේ පතුලට බැසගෙන යද්දී හතර වටින්ම අපට පෙනුණේ ගල් කුට්ටිය. ඒවා පසාරු කරගෙන මිනිරන් සොයා යෑම එදා කර තිබිණි. එය ඉහළ සිට පහළට ඇති ගල් ගෙයක් මෙනි. ඉණිමෙඟන් ඉණිමඟට බසිමින් යන විට අඩි 120 සීමාවේදී පතලේ දෙපැත්තට කැණීම් කර ඇති බවට පෙනේ. අඩි 120 සිට කෙළින්ම පහළට බැසීමේදී හමුවන දැනට ඇති පතුලේ දී ඉහත කී කැණීම් මාර්ග දෙකට යළි දෙපසින් මාර්ගය විවෘත වේ.

එම ප‍්‍රදේශයේ මිනිරන් තට්ටු වශයෙන් දක්නට වේ. කැණීම් කරන විට හමුවන එම මිනිරන් පහළ සිට ඉහළට ගෙන යෑමට අවශ්‍ය විශාල බාල්දි ද ඊට අවශ්‍ය උපකරණ ද පතල පතුලේ වේ. ගල් අතර පිහිටි මිනිරන් තට්ටු ඉවත් කර ගැනීමෙන් පසුව කාලයක් යන විට එම ගල් නැවත සමීප වීම වැළැක්වීම සඳහා එදා යොදන ලද මාර සහ කුඹුක් ලී කොටන් තවමත් එලෙසම පවතී. පතලේ ඉදිරි කැණීම් අක්කර හතරක පමණ වපසරියක සිදු කිරීමට නියමිතය.

අඩි 150 ක් යට සිට ඉහළට ඒම පහළට යන තරම් ලේසි නොවිණි.

ඉණිමගෙන් ඉණිමඟට එල්ලී අප පැමිණි ගමනට තවත් බාධා කළේ ඒ වනවිට ඇදහැළුණු වර්ෂාවයි. නිධානයක් බඳු පතලකින් අපි ගොඩට මතුවීමු. මිණිකැට වලින් ඉසුරු සෙවූ අපි මිනිරන් හෙවත් ග‍්‍රැෆයිට් වලට අගය එකතු කර ඒවා ග‍්‍රැෆීන් කර අපනයනය කිරීමට සුදානම් වේ. මිනිරන් ද මිණිකැට මෙන් ඉතාමත් වටිනා ඛනිජයක් වේ. එය අපමණ අගයක් හෙට රටට උපයා දෙනු ඇත.

අතහැර දැමූ ගම්පහ, කරස්නාගල මිනිරන් පතලේ කැනීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. සියයට 97කට වැඩි කාබන් ප්‍රතිශතයක් ඇති මිනිරන් අඩංගු මෙම පතලෙන් ඉදිරි වසර 20ක කාලය තුළ ලබා ගැනීමට අපේක්ෂිත මිනිරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 53,000කට අධිකයි. දශක ගණනාවකට පෙර ගම්පහ, අත්තනගල්ලේ අක්කර 7ක භූමි ප්‍රමාණයක පිහිටි කරස්නාගල මිනිරන් පතලේ පරීක්ෂණ කටයුතු ආරම්භ වූයේ මීට වසර 3කට පෙරයි. ඒ කැනේඩියානු සමාගමක් සහ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය එක්වයි.

මෙහි මිනිරන් තුළ ඇති කාබන් ප්‍රතිශතය 97% ඉක්මවා ඇති අතර ලොව බොහෝ රටවල මිනිරන් තුළ ඇත්තේ 10%ත් 40ත් අතර කාබන් ප්‍රතිශතයක්. ඒ අනූව පොළව මට්ටමේ සිට අඩි 150ක් පමණ අභ්‍යන්තරය දක්වා කැනීම් කටයුතු සිදුකර නවතා තිබූ පතලේ පළමු මිනිරන් අස්වැන්න ලබා ගැනීම ඊයේ සිදුකෙරුණි.

මෙම පතලෙන් ලබාගන්නා මිනිරන් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට අපේක්ෂිතයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button