පළකල දිනය : Mon, Dec 16th, 2019

ඉන්දියාවේ සියලූම බෞද්ධ සිද්ධස්ථානවල නාම පුවරු සිංහල බසිනුත්

ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්හි නාම පුවරු සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කරයි.

මෙතෙක් එම පුවරු පැවතියේ හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පමණි. ඒ අනුව බුද්ධගයාව, කුෂිනාරා, වරනාසි, සාංචි ඇතුළු ලාංකික බැතිමතුන් බහුලව පැමිණෙ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයන්හි නාම සහ විස්තර පුවරු සිංහල භාෂාවෙන් ද සවි කරන බව ඉන්දීය මධ්‍යම රජයේ සංචාරක ඇමැති, මධ්‍ය ප්‍රදේශ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රහ්ලාඩ් සිංග් පටෙල් (Prahlad Singh Patel) පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මධ්‍ය ප්‍රදේශ් හි සාංචි ස්ථූප පුදබිමෙන් පසුගිය දා ආරම්භ කරමින්ය.

සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන සැරියුත් – මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වන්දනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සමගාමීව ඇමැති ප්‍රහ්ලාඩ් සිංග් පටෙල් මෙම සිංහල භාෂා විස්තර පුවරු විවෘත කළේය. සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ඇරයුමෙන් පටෙල් මෙම උත්සවයට සහභාගි විය. මේ පිළිබඳ අදහස් දැක් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙර සාංචියට පැමිණි පටෙල් ඇමැතිතුමා , සාංචියට පැමිණෙන බහුතරය සිංහල බෞද්ධයන් නිසා , මෙම පුවරු සිංහලෙන් සවි කිරීමට උපදෙස් දුන් බවය.

මෙම අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා වන්දනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට මධ්‍ය ප්‍රදේශ් අධ්‍යාපන ඇමැති ප්‍රභූරාම් චෞද්රි ද (Hammurabi Chaudhary) එක් විය.

සාංචි පුද බිම යනු සර්වඥ ධාතුන් වහන්සේලා සහ සැරියුත්-මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා එකම ස්ථානයක වැඩවසන ලොව එකම පුද බිමය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button