පළකල දිනය : Sat, Dec 28th, 2019

ඩොක්ටර් එලියන්තගේ විස්කම්

එකපාරටම නිපුනි තමාගේ පිටුපසින් පැමිණි වාහනය හප්පාගෙන යෑමත් සමඟම අඩි 10ක් පමණ උඩ ගොස් එම වාහනයේ ඉදිරිපස වීදුරුවේ ගැටී නැවත උඩගොස් වාහනයේ වහලේ වැදී වාහනයත් සමඟ මීටර් ගණනාවක් ඉදිරියට ගොස් මහ පාරේ ඇද වැටිණි.

නිපුනිගේ සිරුරේ සෑම තැනකින්ම රුධිරය ගලායමින් තිබුණු අතර ඇයට අතපය සෙලවීමට තබා ශරීරය හැරවීමටවත් නොහැකි විය.

ක්‍රම ක්‍රමයෙන් නිපුනිගේ දෑස් නිලංකාර වූ අතර ඇයට සිහිය නැති විය.

මෙය හින්දි චිත්‍රපටයක හෝ ත්‍රාසජනක සිනමා පටයක ජවනිකාවක් නොවේ.

මෙම සත්‍ය සිදුවීම සිදුවූයේ 2019 වසරේ අගෝස්තු 11 වැනිදා සවස 1.15 ට පමණය. ස්ථානය නුවරඑළිය, බ්ලැක්පුල්, නානුඔය ප්‍රදේශයයි.

16 හැවිරිදි නිපුනි ආරාධනා රණතුංග ශිෂ්‍යාව තම නිවෙසේ සිට ඇවිදගෙන පැමිණියේ බස් නැවතුම්පොළට යෑමටය. නුවරඑළියේ කරාටේ පන්ති යෑමට ඇය බස් නැවතුම්පොළට පැමිණියේ මවගේ නැඟණිය, තමාගේ බාල නැඟණිය හා ඥාති සහෝදරයකු සමඟය.

ඔවුන් සිවුදෙනා මාර්ගයේ දකුණුපසින් මගීන් සඳහා වෙන්කර ඇති කොටසේ ඇවිදගෙන එන විට පාරේ ඔවුන් ගිය පැත්තටම පැමිණි කාර් රථයක් පාරෙන් ඉවතට ධාවනය වී එකපාරටම නිපුනි හප්පාගෙන වේගයෙන් ඉදිරියට මඳ දුරක් ධාවනය වී නතර විය.

මිනිස්සු එකපාරටම ඉදිරියට පැන එම කාර් රථයෙන්ම නිපුනි නුවරඑළිය රෝහලට රැගෙන ගොස් තිබේ. රෝහලට ගෙනයන අතරතුර නිපුන් සිහිසුන්ව සිටියද රෝහලට ඇතුළු කරන විට ඇය යාන්තම් කෙඳිරිගෑමට පටන් ගත්තාය.

නිපුනි එම රථයේ ගැටෙන අවස්ථාව අසල නිවෙසක C.C.T.V. කැමරාවක සටහන්ව ඇති අතර එම දර්ශනය දුටුවිට නිපුනිගේ අනතුරේ භයංකාරත්වය ඉතා හොඳින් දැක ගත හැකිය.

නිපුනි රෝහලට රැගෙන ආ පුවත සැලවීමත්් සමඟ නිපුනිගේ මව වන දේදුනු චන්දිමා විතානගේ මහත්මිය රෝහලට දුවගෙන ආවාය.

ඒ වන විට නිපුනිගේ පියා වන ප්‍රදීප් රණතුංග මහතා අසනීප වූ යහළුවකුගේ සුවදුක් බැලීමට නුවරඑළිය රෝහලට පැමිණ තිබූ අතර තම දියණිය මුහුණ පෑ අනතුර කන වැකීමත් සමඟම ඔහුද නිපුනි සිටින ස්ථානයට දුවගෙන ආවේය.

ඒ අත්දැකීම නිපුනිගේ මව දේදුනු චන්දිමා විතානගේ මහත්මිය හෙළි කරන්නේ හැඩු­ කඳුළිනි.

‘මගේ දුව ඉස්පිරිතාලේ ඉන්න විදිය දැක්කම මට කෑ ගැහුණා. එයාට ඇඟ හොල්ලන්න බැහැ. නැටුම්වලට, කරාටේ ක්‍රීඩාවට දක්ෂ මගේ දුවට මේ මොකක්ද වුණේ කියලා මට කෑගැහුණා. ‘ ඒ අමිහිරි මතකය නිපුනිගේ මව එසේ අවදි කළාය.

නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ 12 වසර උසස් පෙළ කලා අංශයෙන් හදාරන නිපුනි කැපී පෙනෙන ශිෂ්‍යාවකි.

නිපුනිගේ පෙනුම දකින විට නැටුම් හැදෑරීම ඇය තෝරාගැනීම සාධාරණය. නමුත් කරාටේ වැනි ක්‍රීඩාවක් නිපුනි වැනි පාසල් ශිෂ්‍යාවක් සිදුකරාවි කියා එක පාරටම සිතීමට අපහසුය. නමුත් කුඩා කාලයේ සිටම නිපුනි කරාටේ ක්‍රීඩාවට ප්‍රිය කළාය. ඇය ඒ වන විටත් නැටුම් හා කරාටේ ක්‍රීඩාවෙන් පාසල තුළ නමක් දිනාගෙන සිටියාය.

නිපුනිට සහෝදරයකු සිටින අතර ඔහු අධ්‍යාපනය හදාරන්නේද නුවරඑළිය ගාමිණි ජාතික පාසලෙනි.

නිපුනිට කුඩා සහෝදරියක් සිටින අතර ඇයගේ වයස අවුරුදු 4කි.

පියා ප්‍රදීප් රණතුංග මහතා වන අතර ඔහු උෟව පළාත් සභාවේ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ බදුල්ල ධාවන කළමනාකරු ලෙස සේවය කරයි.

නුවරඑළිය රෝහලේදී නිපුනිට මූලික ප්‍රතිකාර සිදුකර ඇති අතර ඇය දිගටම පිටකොන්දේ වේදනාවකින් පෙළෙන්නට විය.

එක්ස් කිරණ ඡායාරූපයක් ගැනීම සඳහා නිපුනි යොමු කළද එමඟින්ද රෝගය ගැන නිශ්චිතව සඳහනක් නොවූ නිසා අවසානයේදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා තීරණය කළේ C.T.ස්කෑන් පරීක්ෂාවට ලක් කිරීමටය.

‘මේ අනතුර සිදුවුණාට පස්සේ නිපුනිට සිහිය නැතිවෙලා තියෙනවා. ඒක නිසා C.T. ස්කෑන් පරීක්ෂණයට යොමුකරන එක වඩා හොඳයි‘ යනුවෙන් නුවරඑළිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අනතුර සිදු වූ දිනයේම රාත්‍රි ගිලන් රථයකින් මහනුවර මහ රෝහලට නිපුනි රැගෙන ගියාය.

බෙල්ලේ සහ කොන්දේ අමාරුවක් තිබූ නිසා බෙල්ලට කොලරයක් දමා තිබුණු අතර ශරීරය නොසොල්වා ඉතා පරිස්සමට රැගෙන යන ලෙසට වෛද්‍යවරයා උපදෙස් ලබා දී තිබිණි.

මහනුවර මහ රෝහලේ C.T. ස්කෑන් පරීක්ෂාවේ ප්‍රතිඵල ලැබෙනතුරු නිපුනිගේ මවුපියන් සිටියේ දැඩි කුතුහලයකිනි.

‘නිපුනිගේ කොඳු ඇට පේළියේ බෙල්ල අසල අස්ථියක් පිපිරී ඇත’ යනුවෙන් එම වාර්තාව ලැබෙන විට නිපුනිගේ මවුපියන්ට හඬන්නට හැරෙන්නට වෙනත් කිසිවක් කිරීමට අවස්ථාවක් උදාවූයේ නැත.

“මගේ දුවගේ කොඳු ඇට පේළියේ අස්ථියක් පුපුරලා කිව්වා. බෙල්ල ළඟින්ම තමයි මේ අස්ථිය පුපුරලා තියෙන්නේ. එහෙම කියලා වෛද්‍යවරුන් කිව්වා, මේකට බෙහෙත් නැහැ ඉබේම සනීප වෙයි, හැබැයි හුඟක්ම දරුවා ප්‍රවේශම් කරගන්න වෙයි කියලා.

සමහර විට අත පය පණ නැති වෙන්න පුළුවන් කිව්වා. ඒක නිසා පරිස්සම් කරගන්න කිව්වා. දිගටම බෙල්ලට කොලර් එකක් දාගෙන ඇඳේ හාන්සි වෙලා විවේක ගන්න කිව්වා. ඇඟ හොල්ලන්න එපා කියලා වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන්නා.’ යනුවෙන් ප්‍රකාශ කරමින් නිපුනිගේ මව යළිත් හඬන්නට වූවාය.

ඉන්පසුව ඉතා පරිස්සමෙන් නිපුනි තම නිවෙසට පැමිණියද ඇයට වෙනදා මෙන් නැඟිටීමට නොහැකි විය. වෙනදා මෙන් කරාටේ ගැසීමට නොහැකි විය.

නර්තනය සහ කරාටේ ක්‍රීඩාව යන අංග දෙකම සඳහා ශාරීරික යෝග්‍යතාව අත්‍යවශ්‍යය.

පිටකොන්දේ අස්ථියක් පුපුරා තියෙද්දී නර්තනය සහ කරාටේ ක්‍රීඩාව ගැන සිතීමද විහිළුවකි.

නිපුනි නිසොල්මනේ ඇඳේ වැතිරී සිටියාය. ඇයට අවශ්‍ය ආහාරපාන දියරමය වශයෙන් මව විසින්ම ලබාදෙයි.

නිපුනිට වැසිකිළි යෑමටද නොහැකිය. එම කටයුතු ද ඇඳේ සිදුකරන අතර ඒවා පවිත්‍ර කිරීමේ කටයුතුද මව සහ පියා විසින් සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් ඇඳේම වැතිරී සිටීමට නිපුනිට මාස 1 1/2 ක පමණ කාලයක් සිදුවූයේ වෛද්‍ය උපදෙස් අනුවය.

මාස 1 1/2 කින් යළිත් වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව යළිත් උපදෙස් ලැබුණේ මේ ආකාරයෙන් තවත් මාස 4ක පමණ කාලයක් ඇඳේම වැතිර විවේකයෙන් සිටීමටය.

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන්නේ නිපුනිගේ අත පය හිරිවැටෙනවාද කියා සැලකිලිමත්ව සිටින ලෙසයි.

‘ මං කොහොමද මගේ දුව මාස 4ක් එක දිගටම මේ වගේ ඇඳේ තියාගෙන ඉන්නේ. මාස 1 1/2 ක් අමාරුවෙන් කොහොම හරි හිටියා. තව මාස 4ක් මෙහෙම ඉන්න ගියොත් දුවට පිස්සු හැදේවි’ නිපුනිගේ මව යළිත් හඬන්නට පටන් ගත්තාය.

එහෙම එක දිගටම එකම ඉරියව්වකින් හිටියොත් නිපුනිගේ ශරීරය තුවාල වෙන්නටද ඉඩ තිබෙන බව මවත්, පියාත් කල්පනා කරන්නට වූහ.

‘මගේ දුවට මෙහෙම එක තැන ඉන්න දෙන්න හොඳ නැහැ’ යනුවෙන් කල්පනා කළ නිපුනිගේ මව වෛද්‍ය උපදෙස් අනුව නිපුනි රෝද පුටුවකින් නුවරඑළිය වැව අසලට ගෙන යෑමට කටයුතු කළාය.

කොලර් එක බෙල්ලට දමා රෝද පුටුවේ වාඩි වූ නිපුනි ඉතා පරිස්සමට වාහනයකින් තම නිවසේ සිට නුවරඑළිය ගේ‍රගරි වැව අසලට ගෙනයෑමට කටයුතු කර තිබිණි.

මාස ගණනාවක් නිවෙසේ කාමරයේ බිත්ති හතරට කොටු වී සිටි නිපුනිට ගේ‍රගරි වැවේ වැව වටේ රෝද පුටුවෙන් යෑම අපූර්ව අත්දැකීමක් විය.

වැවෙහි හා නුවරඑළියේ සුන්දරත්වය නරඹමින් සිහිල් සුළං රොදක ආස්වාදය විඳිමින් ගමන් කිරීම නිපුනිගේ සිත තුළ ඇති කළේ ප්‍රබෝධයකි.

මෙම ගමනේදී තම ජීවිතයම ප්‍රබෝධවත් වන අත්දැකීමක් සිදුවේ කියා කිසිවකු නොසිතුවද එයද සිදුවෙමින් පැවතුණේ නිපුන්ගේ වාසනාවකටය.

නිපුනි වාගේ ලස්සන හිරිමල් වයසේ පසුවන ගැහැනු ළමයෙක් රෝද පුටුවකින් ගමන් කරන්නේ ඇයි? යන සිතුවිල්ල නිපුනි දකින බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති වුණේ නිරායාසයෙනි.

නිපුනි රෝද පුටුවෙන් ගමන් කරනු දුටු තරුණයකු ඒ අසලට පැමිණ නිපුනිගේ මවුපියන්ගෙන් විමසා සිටියේ රෝද පුටුවේ ගමන් කරන හේතුවයි.

රිය අනතුර සම්බන්ධ සිද්ධිය මවුපියන් විසින් දැනුම් දුන් අතර නිපුනිගේ නර්තන හැකියාව සහ කරාටේ ක්‍රීඩාවට තිබෙන හැකියාවද මෙහි දී හෙළි විය.

‘ ඒ පුතාගේ නම රවිඳු. එයා නුවරඑළියේ කාල්ටන් පෙර පාසලේ වැඩකට ආපු ගමන්. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ බාල පුතාගේ හොඳම යාළුවෙක්. (රෝහිත රාජපක්ෂ) මගේ දුවගේ අසරණකමෙන් රවිඳු පුතා හුඟක් කම්පා වුණා.

මේ වගේ අමාරු ලෙඩ්ඩු මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ වෛද්‍යවරයා වන වෛද්‍ය ඒලියන්ත වයිට් මහත්තයා සනීප කරලා තියෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් සනීප කළාකියලා මේ පුතා මට කිව්වා.

“අනේ කොහොම හරි මගේ දුවත් සනීප කරලා දෙන්න කියන්න. ඒක හුඟක් පින්සිද්ධ වෙන වැඩක්” යනුවෙන්ද නිපුනිගේ මව පවසා තිබේ.

“මම මේ ගැන අගමැතිතුමාගේ පුතා රෝහිත රාජපක්ෂ මහත්තයාට කියලා අගමැතිතුමා දැනුවත් කරලා ඩොක්ටර් ඒලියන්ත වයිට් මහත්තයාට කියන්නම්. අපි කොහොම හරි උත්සාහයක් ගමු” කියලා රවිඳු පුතා අපේ ෆෝන් නම්බර් එක ඉල්ලාගෙන ගියා.

අපිත් ඒලියන්ත වයිට් ඩොක්ටර් ගැන අහලා තිබුණා. ඒත් මේ වගේ ඩොක්ටර් සම්බන්ධ කරලා දෙන්න කවුරු හරි හම්බ වේවි කියලා අපි හිතුවේ නැහැ. එදා ඉඳලා අපි බලාගෙන හිටියේ රවිඳු පුතාගෙන් කෝල් එකක් එනකම්.

මේ අතර වැලිමඩ ප්‍රදේශයේ දේශීය වෙදකම් කරන වෙද මහතකුද පැමිණ නිපුනිගේ බෙල්ලට බෙහෙත් බඳින්නට විය.

ඒ අතරතුර රවිඳු මෙම අනුවේදනීය පුවත රෝහිත රාජපක්ෂට දැනුම් දුන් අතර ඔහු එය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විසින් මේ කාරණය වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට දැනුම් දුන්නේ මෙම දරුවා ඉක්මනින් සුවපත් කරන ලෙසයි. මේ ආකාරයෙන් මාලිංග ගැන එවකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී දැනුවත් කිරීමට කටයුතු කළේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂයි.

ඉන්පසුව රවිඳුගෙන් දුරකථන ඇමතුමක් නිපුනිගේ මවුපියන්ට ලැබුණේ උදෑසන 6.30 පමණ වන විට නිපුනි ඉතා පරිස්සමට කොළඹ පිහිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ නිවසෙට රැගෙන එන ලෙසයි.

නිපුනි ඒලියන්ත වයිට් මහතාගේ නිවෙසට රැගෙන එන විට රවිඳුද මිතුරකු සමඟ එහි පැමිණ සිටියේය.

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා සමඟ ඉරිදා “මව්බිම” පුවත්පත සිදුකළ සම්මුඛ සාකච්ඡාවක වාර්තාවක් එහි තිබූ අතර එය කියවා ගෙන ගිය නිපුනිගේ මවුපියන්ට තමාගේ දියණිය වයිට් මහතාට සුවකළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇතිවය.

නිපුනිගේ දකුණු අත ඇල්ලූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා විනාඩියක පමණ කාලයක් නාඩි හොඳින් අල්ලා රෝග විනිශ්වය සහ ඊට අදාළ ප්‍රතිකාර ගැන අවබෝධයක් ලබා ගත්තේය.

මේ දුවගේ ස්නායු තැළිලා තියෙන්නේ. මේක බොහොම භයානක තත්ත්වයක්. නමුත් මං සනීප කරනවා. මේ දුව බොහෝම වාසනාවන්තයි. මට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කතා කරලා කිව්වා මේ දුව කොහොම හරි සනීප කරලා දෙන්න කියලා.

මේ වගේ තරුණ දක්ෂ ළමයෙක් දිගටම රෝද පුටුවක ඉන්නවා දකින්න අපි කවුරුත් කැමැති නැහැ යනුවෙන් ප්‍රකාශ කළ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා නිපුනිගේ හිස අල්ලාගෙන යම්කිසි ආශීර්වාදයක් කිරීමෙන් අනතුරුව කුඩා බෙහෙත් කුප්පියක් බොන්නට දුන්නේය.

දුව මේක එක හුස්මට බොන්න. බොන ගමන්ම තමන්ගේ ලෙඩේ අනිවාර්යෙන්ම සුව වෙනවා කියලා හිතන්න. යනුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා විසින් උපදෙස් ලබාදෙන ලදී.

ඉන්පසුව පැය 2ක පමණ වේලාවක් ගිය පසුව වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා කියා සිටියේ බෙල්ලට පැලඳ සිටි කොලරය ඉවත් කරන ලෙසයි.

මහා පුදුමයකි. බෙල්ලේ කිසිම අපහසුතාවක් නොදැනුණු නිපුනි බෙල්ල එහාට මෙහාට සෙමෙන් හැරෙව්වේ වෛද්‍යවරයාගේ උපදෙස් මතය.

මාස ගණනක් තිස්සේ තමාව පීඩාව පත්කළ බෙල්ලේ සහ කොන්දේ කැක්කුම නැති වී ඇති බව නිපුනි ප්‍රකාශ කළේ කියාගන්න බැරි සතුටකිනි.

ඉන් අනතුරුව දිනක් හැර දිනක් නිපුනිට ඒලියන්ත වයිට් මහතා ප්‍රතිකාර කළ අතර නිපුනිගේ පියාගේ කොළඹ පිහිටි යහළුවකුගේ නිවෙසේ නැවැතී වයිට් මහතාගේ නිවෙසට පැමිණි ප්‍රතිකාර කටයුතු සිදුකරගන්නා ලදී.

එක බොන බොහෙතක් සහ කොන්දේ ගෑමට තෙල් වර්ගයක් පමණක් ලබාදුන් අතර සති 1 1/2ක් එසේ ප්‍රතිකාර ගන්නා විට නිපුනිට විශාල සහනයක් දැනුණි.

ඉන්පසුව නිපුනි ඇතුළු මවුපියන් නුවරඑළියට ගොස් බොන බෙහෙත වෙලාවට බීමෙන් අනතුරුව පිට කොන්දේ තෙල් ගාන කටයුතු මව විසින් සිදුකරන ලදී.

එසේ මාසයක් පමණ ප්‍රතිකාර කළ අතර සෑම දිනකම දුරකථනයෙන් නිපුනිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයාබැලීමට වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අමතක නොකළේය.

නිපුනි සම්පූර්ණයෙන්ම සුවවීමෙන් අනතුරුව නැටුම් ඉගෙන ගැනීමට හා කරාථෙ ක්‍රීඩාව පුහුණු කිරීමට ඇය ගියේ ඒලියන්ත වයිට් මහතාගෙන් අවසර ලබාගෙනය.

රෝද පුටුවට ගිය නිපුනි යළිත් පෙර පැවැති තත්ත්වයට පැමිණ ඇත.

ඊට හොඳම උදාහරණය වන්නේ මීට සතියකට පමණ පෙර පැවැත්වුණු විවෘත කරාටේ ක්‍රීඩා තරගාවලියයි. Kuniba-kai විවෘත කරාටේ තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගන්නේ මීට මාස 2කට පමණ පෙර රෝද පුටුවේ එක්තැන් වී සිටි නිපුනි ආරාධනා රණතුංගයි.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ තවත් ආශ්චර්යවත් වෙදකමක් හේතුවෙන් නිපුනිට යළි ජීවිතය ලැබිණි.

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අතිශය කාර්ය බහුල සහ වැඩි කාලයක් විදෙස්ගතව සිටින ජීවකයකු බැවින් ඔහුව

සම්බන්ධීකරණය කිරීමට ‘මව්බිම’ට අවස්ථාවක් නැත. එබැවින් ඔහු හමුවීම සඳහා අවස්ථාවන් ඉල්ලා අප වෙත දුරකථන ඇමැතුම් ලබාදීමෙන් වළකින ලෙස පාඨකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button