පළකල දිනය : Wed, Jan 1st, 2020

සතොස ගබඩාවක කල් ඉකුත් වූ සහල්

මෙයට වසර දෙකකට පමණ පෙර පිටරටින් ගෙන්වූ සහල් කිලෝ 350000 කට අධික තොගයක් වෙළෙඳපොලට නිකුත් නොකර හිඟුරක්ගොඩ පිහිටි සතොසට අයත් ගබඩා සංකීර්ණයක කල් ඉකුත් වෙන්නට ගොඩ ගසා තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පෙරේදා (30) ප‍්‍රකාශ කලේය.

එම සම්මේලනයේ ලේකම් ටී.බී.සරත් මහතා ඇතුලූ පිරිසක් ඊයේ පෙරවරුවේ ඒ සහල් ගබඩා පරීක්ෂා කර බැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එසේ පැවැසීය.

මේ වනවිට එම සහල් අවුරුදු දෙකකට වැඩි කාලයක් එසේ කල් ඉකුත් වෙන්නට ඉඩහැර සත්ව ආහාර ලේබලය යටතේ කුණු කොල්ලයට විකුණා දමමින් තිබෙන බව පැවැසූ කරුණාරත්න මහතා මෝල් හිමියන් ඒ සහල් නැවත පොලිෂ් කර වෙළෙඳපොලට නිකුත් කරන්නේද යන්න සැකයක් මතුවන බව කීය.

”මේ හාල් ගෙනත් තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ. 2019 අගෝස්තු පළවෙනිදා වෙනකම් මේ හාල් පරිභෝජනය කරන්න පුළුවන් කියලා නිර්දේශ කරලා තිබුණා. හැබැයි අවුරුදු දෙකක කාල පරාසයක් ගියා. මේ අවුරුදු දෙකක් යනකම් මේ හාල් ගොඩ ගහලා සත්ව ආහාර දක්වා කල් ඉකුත් වෙනකල් තියාගෙන හිටියේ ඇයි? ඊළඟ කාරණය තමයි 2017 අවුරුද්දේ අපිට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න උවමනාවක් තිබුණේ නෑ. අපිට දැවැන්ත වී නිෂ්පානයක් ආවා.

කොහොමත් අපට වී මෙටි‍්‍රක් ටොන් 36ක් තමයි අවුරුද්දටම අවශ්‍ය වෙන්නේ. නමුත් ලක්‍ෂ 45ත්50ත් අතර අපි වාර්ෂිකව නිෂ්පාදනය කරනවා. හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් එක්ක. මේ තත්වය තුල හාල් පිටරටින් ගේන්න උවමනාවක් නැතුව තිබියදී සල්ලි වියදම් කරලා මේ වාගේ හාල් තොගයක් ගෙනාවේ මොකටද? ඒ හාල් ගොඩගහලා තියාගෙන සත්ව ආහාර දක්වා කුණු කොල්ලයට විකුණන තැනට පත් කෙරුවේ මන්ද? මේ ප‍්‍රශ්න ටික අපි අහනවා.ඒ වගේම අපි චෝදනාවක් එල්ල කරනවා. අපි සැක කරනවා මේ හාල් සත්ව ආහාර ලේබල් එක යටතේ ගිහිල්ලා ඊට පස්සේ මෝල්වලින් නැවත මේවා පොලිෂ් වෙනවා.

පොලිෂ් වෙලා නැවතත් එනවා ජනතාවගේ පරිභෝජනයට. ඒ වගේම තමා අපිට තවත් සැකයක් එනවා මේ ආණ්ඩුව ආවට පස්සේ රජයේ වී තොග ගත්තු මිලට මෝල් හිමියන්ට නිකුත් කරලා තිබෙනවා. ඒ වී මහමෝල් හිමියෝ කොමිස් එකක් තියාගෙන නැවත විකුණලා තියෙනවා. ඒ අනුව එම හිලව්වට මේ හාල්ම නැවත පොලිෂ් වෙලා එන්නත් ඉඩ තියෙනවා. කොහොම නමුත් සත්ව ආහාරයට මේවා ගියාට නැවතත් මහජනයාගේ පරිභෝජනයට එන ඉඩකඩ වැඩියි. රූපවාහිනී නාලිකාවල පෙන්නවා. කන්න නෑ. දරුවෝ බඩගින්නේ අඬනවා. ඉරිඟු ඇට කනවා.සමහර දරුවෝ කියනවා වේල් දෙකින් කෑවේ නෑ කියලා .ඊයේ

? ඉඳලා අද ? වෙනකල් කන්න මොකුත් නෑ කියනවා.මේ විදියට දුක් විඳින බඩ ගෙඩිය පිට පැත්තට ඇලිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන දරු පැටව් ඉන්න ජනතාවක් ඉන්න රටක ජනතාවගේ බදු මුදල් වලින් මේ විදියට හාල් ගෙනැල්ලා පිස්සු කෙලින්න පාලකයින්ට ඉඩ දෙන්න බෑ.මේකේ මූලික වග උත්තරකරු පහුගිය ආණ්ඩුවයි. පහුගිය ආණ්ඩුව යටතේ තමයි මේ හාල් තොග ගෙනාවේ. එහෙමනම් ගෝඨාභය ජනාධිපතිතුමාට අපි කියනවා මේ ගැන නිසි ක‍්‍රියා මාර්ගය ගන්න. මේ හාල් තොග තිබෙන්නේ ඔබ තුමාලගේ රජයේ ආයතනයක් යටතේ. මේක සතොසේ වැරැුද්දක් නෙවෙයි. තැන් තැන්වල තිබුණු හාල් තොග තමයි මේ ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන්නේ. මේකට අදාල වගඋත්තරකරුවන්ට වහාම ක‍්‍රියා මාර්ග ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා.

කරුණාරත්න ගමගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button