පළකල දිනය : Sun, Jan 5th, 2020

දෙස් විදෙස් ජයකෙහෙළි නැංවූ සූරියවැවේ ආනන්ද

අතපය හතරම හොඳින් තිබියදීත් විවිධ අගහිඟකම් කියමින් අලසකමින් අනුනට අතපා කීයක් හරි හොයාගෙන දවස ගෙවනා පිරිස සමාජයේ ඕනෑ තරම් දැකිය හැකිය. ඒ අතරට අතපය නොමැති අයද නැතුවාම නොවේ. යම් ආබාධයක් තිබූ තරමින්ම අනුනට අත නොපා සිය හැකියාවෙන් හා දිරියෙන් නැගී සිටින අතලොස්සක් වූ මිනිසුන්ද මේ සමාජයේ සිටින වග අප කිවයුතුය. අද අප ඔබට කියන්නට යන මේ කතාවද එවන් එකකි. සිය ආබාධ සියල්ලම පසෙකලා සිය ජීවිතය ජයගත් මේ අපූරු තරුණයා ලොවටම මහත් ආදර්ශයක් සැපයූ අයෙකු වීමද විශේෂත්වයකි. සිය පාද වලින් නැගිට යෑමට තරම් හැකියාවත් නොමැති මෙම තරුණයා සිය හැකියාවන් තුළින් මෙරටට මෙන්ම විදෙස් රටවලටද ගොස් ජයකෙහෙළි නැංවූ අයෙකි. අප මේ කතාව පාඨක ඔබ හමුවේ තබන්නේ අතපය හොඳින් ඇති අයද කම්මැළි කමින් ගේ මුල්ලට වී හෝ රස්තියාදු ගසමින් දෙමාපියන් දෙන දෙයක් කා බී සිටින ඇතමුන්ට ආදර්ශයක් සැපයීමටය.

සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද, අංක 4198 ලිපිනයේ පදිංචි එල්. පී. මර්තේරිස් හා අයි. පී. රස්ලින් එදිනෙදා කුලියක් මලියක් කරගෙන සිය ජීවන චාරිකාව ආරම්භ කළේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය. තරුණ වයසේ පසු වූ එල්. පී. මර්තේරිස් එවකට රජයේ කන්තෝරුවක මුර රැුකියාවක් කළේය. ඒ අතරට ඉඩක් ලැබුණු මොහොතක කුලියකට යන්නත් සිය කෑමට බීමට අවශ්‍ය බෝගයක් වගා කරගන්නත් මර්තේරිස් අමතක නොකළේය. මර්තේරිස්ට මේ සියල්ලටම සවියක් වූයේ සිය බිරිඳ වූ රස්ලින් මහත්මියයි.

කාලයත් සමගින් මේ දෙදෙනාට දාව ගෑනු දරුවන් තිදෙනකු හා පිරිමි දරුවන් තිදෙනකු මෙලෙව එලිය දකින්නේ එවකට සූරියවැව පැවති කටුක වූ පරිසරය තුළදීමය. වන අලින් හා වන මුර්ගයන්ගෙන් පිරි පරිසරයක් පිහිටි සූරියවැව එවකට කියන්නට තරම් මෙහෙමයි කියා පහසුකමක් තිබුණේද නැත. දැඩි වියළි කඨෝර පරිසරයත් සමග ඔට්ටු අල්ලමින් ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙස වූ මර්තේරිස්ට හා රස්ලින්ට ජීවන චාරිකාවේ දැඩි අභියෝගයකටද මුහුණ දීමට සිදු වූයේ ඔවුන් නොසිතු පරිදිය.

මේ දෙදෙනාට දාව උපන් දරුවන් සය දෙනාගෙන් තිදෙනකුම උපතින්ම ආබාධිත තත්ත්වයේ පසු අය වීම නිසාය. මේ නිසාම රස්ලින් මහත්මියට ආබාධිත දරුවන් තිදෙනාගේ කටයුතු තනියම කරගත නොහැකි විය. තිදෙනාටම සිය කටයුතු තනියම කරගැනීමට නොහැකි වීම දැඩි අභියෝගයක් බවට පත්විය. මේ නිසාම මර්තේරිස් මහතාද සිය රැුකියාවට සමුදී නිවසට පැමිණියේ දරුවන් හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය වූ නිසාවෙනි. මර්තේරිස් හා රස්ලින් මහත්මිය තමන්ට පුළුවන් උපරිම අයුරින් මේ දරුවන් රැකබලා ගැනීමට කටයුතු කළේ සිය දරුවන් කිසිදු අයුරකින් සිඟමනේ යැවීමට කිසිදු කැමැත්තක් නොතිබූ නිසාවෙන්ය. එදා ආබාධිත තත්වයෙන් පසු වූ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ජීවන චාරිකාවෙන් සමුගන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙනි. කෙසේ නමුත් එදා ආබාධිත තත්ත්වයේ සිටි තමන්ටම කියා කිසිවක් කරගත නොහැකි වූ දරුවන් සමාජයටම ආදර්ශයක් සපයනු දැකීම දෙමාපියන්ට මහත් සතුටට කරුණක් විණි.

තිස්පස් හැවිරිදි වියේ පසුවන ලහදපුරගේ ආනන්ද අද අපේ කථානායකයාය. අඩි තුනක්වත් උස නොමැති ආනන්ද උපතින්ම ආබාධිතය. කතාබහ කිරීමත් තවත් කෙනෙකුට සවන්දීමත් හැරෙන්න ආනන්දට තනියම ඇවිද යෑමට හෝ කිසිවකුගේත් ආධාරයක් නොමැතිව වෙනත් වැඩක් කිරීම අපහසුය.

ආනන්දට අයියා දෙදෙනකුත් හා අක්කලා තිදෙනකුත් සිටි අතර පවුලේ බඩ පිස්සා වූයේ ආනන්දය. නිසි කල වයස එළඹීම නිසා ආනන්දගේ අයියලා දෙදෙනා විවාහ වී වෙනත් ප‍්‍රදේශවල ජීවත් වෙයි. ආනන්ද වගේම ආබාධිත තත්ත්වයෙන් පසුවූ එක් අක්කා කෙනෙකු වයස අවුරුදු 16 දී මිය යන්නේ හතිය හා සෙම් රෝගයක් වැළඳීම හේතුවෙනි. ආබාධිත තත්ත්වයේ පසුවන 44 හැවිරිදි සෝබනීද ආනන්දට සවියක් වෙමින් මහගෙදරම ජීවත් වෙන්නේ සිය මවගේත් අක්කාගෙත් පිහිටෙනි. එමෙන්ම ආබාධිත නොවූ තවත් එක් අක්කා කෙනෙකු ගෙදර දොරේ වැඩ කරගෙන විවාහ නොවී සිටින්නේ ආනන්දටත් ආබාධිත අක්කාටත් හා සිය වයෝවෘද්ධ මවටත් උවැටැන් කරන්නට කෙනකු සිටිය යුතු නිසාය. දරුවන් සය දෙනකුගේ මවක වූ රස්ලින් මහත්මිය අද 73 හැවිරිදි වියේ පසුවෙයි. රස්ලින් මහත්මියගේ තනිනොතනියට සිටි ජීවන ගමනේ සහකරු වූ මර්තේරිස් මීට අවුරුදු 05 ට පෙර අසනීප තත්ත්වය හේතුවෙන් මිය යන්නේ දරුවන්ගේ සියලූ වගකීම් රස්ලින් මහත්මියගේ කරමත පටවමිණි. අද වන විට සිය අතපය කොතරම් වාරු නැතත් සිය අබාධිත දරුවන් දෙදෙනාගේ සියලූ කටයුතු මේ මව විසින් සිදු කරන්නේ මාතෘත්වයේ ඇති උත්තුංග වූ ගුණය ලොවටම කියා දෙමිණි.

පවුලේ බාලයා වූ ආනන්දට නිවසේ ඇඳක් මතට වී දවස ගෙවීම මහා පිස්සුවක් බවට පත් වීය. නිකරුණේ කාලය ගත කිරීමට අකැමැති වූ ආනන්දට අකුරු සාස්තරේ ඉගෙනීමට ආසාවක් ඇතිවිය. ඒ අනුව නිවසේ සිටින අක්කා ලවා සහ වෙනත් ගුරුවරයෙකු නිවසට ගෙන්වාගෙන ඔහුගේ සහාය ඇතිව සිංහල අකුරු සාස්තරේ ඉගෙන ගත්තේය. එතනින් නතර නොවූ ආනන්ද තමන්ට ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනීමටද ඕනැ යැයි මවට පැවසීය. මව එය එතරම් සැලකිල්ලකට නොගැනීම නිසා ආනන්ද නිතර නිතර මවට ඇවිටිලි කරන්නට විය.”මොන කෙහෙල් මලකටද උඹ ඉංගිරිසි ඉගෙන ගන්නේ” යනුවෙන් වරෙක මව ආනන්දට සැර වූයේ මවගේ ආනන්ද කෙරෙහි වූ ආදරය සිතේ කොනක සඟවාගෙන සිටියදීය. කෙසේ නමුත් අවසානයේ ආනන්ද ජය ගත්තේය. ප‍්‍රදේශයේ ඉංග‍්‍රීසි උගන්වන කෙනෙකු නිවසට ගෙන්වා ආනන්දට ඉංග‍්‍රීසි ඉගැන්වීමට මව හා පියා එවකට කටයුතු කළේය.

ඇඳක් මතට වී දවස ගෙවීම ආනන්දට මහත් හිරිහැරයක් සේම ජිවිතයද එපා කරවන්නක් වීය. මේ නිසාම ආනන්ද නිතර නිතර බලන්න යන එන අය ලවා කැඞී බිඳී ගිය විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක්ම ගෙන්වා ගත්තේ තමන්ට කියා යමක් කළ හැකිද යන්න උත්සාහ කිරීමටය. මෙය ගමේ ඇතමෙකුගේ උසුළු විසුළුවටද ලක්වීමට හේතුවක් විය. කෙසේ වෙතත් වැඩිකලක් නොගොස් ආනන්ද ඉලෙක්ටට්‍රොනික උපකරණ අළුත්වැඩියාව සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගත්තේය.

මේ නිසාම ගමේ ගොඬේ පොඩි පොඩි දෝෂ සහිත ඉලෙක්ට්‍රොනික උපකරණ අලූත්වැඩියා කර ගැනීමට ආනන්ද සොයා ඒමට ගම්මුන්ද පුරුදු විය. මහා ගිනි ගණන් දී සිය ඉලෙක්ට්‍රොනික උපකරණ අලූත්වැඩියාවට නගරයට ගෙනයනවාට වඩා සිය කැඩුණු හා දෝෂ සහිත ඉලෙක්ට්‍රොනික උපකරණ අලූත්වැඩියාවට ආනන්ද ළඟට රැුගෙන යෑම ගම්මුන්ගේ සාක්කුවටද වාසිදායක විය. මේ නිසාම ආනන්දට දිනපතා යම් මුදලක් උපයා ගැනීමට හැකි විය. එය පවුලේ වියදමටද විශාල ශක්තියක් විය. ගම්මුන්ගෙන් ලැබෙන විවිධ උපකරණ පුළු පුළුවන් විදියට ආනන්ද අලූත්වැඩියා කළද ඒ වන විටත් ඉලෙට්‍රොනික විද්‍යාව කියන්නේ කුමක්ද කියාවත් ආනන්ද දැන සිටියේ නොමැතිය. තමන්ට ලැබෙන දෙයක් අතපත ගා හදාගැනීමේ හැකියාව පමණක් ආනන්දට වීය.

තනියම සිදුකළ අත්හදා බැලීම් වලින් හා ලද අත්දැකීම් මෙන්ම පොතපත පමණක් කියවා ලද අත්දැකීම් පමණක් ආනන්දට ප‍්‍රමාණවත් නොවීය. මේ නිසාම තමන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් හැදෑරීමට ආනන්දට ඕනෑ විය. එහෙත් ඊට තිබූ ලොකුම අභියෝගය වූයේ ආනන්දට උදවු කරන්නට හා උගන්වන්නට කෙනෙකු නොමැති වීමය. මේ කාලය වන විට ආනන්ද සූරියවැව පැවති රාජ්‍ය නොවන සංවිධානයක් වූ ගයිඞ්ස් නමැති සංවිධානය හා අත්වැල් බැඳගෙන සිටියේය. ආනන්දගේ මේ හැකියාවන් නිසාම ගයිඞ්ස් ආයතනය ගාල්ලේ පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් වූ ප‍්‍රජා ව්‍යාපාර හා තාක්ෂණ සංවර්ධන ආයතනයට (ක්‍ඊඔ) ආනන්ද පිළිබඳව දැනුම් දීමට පියවර ගැනිණි.

එමෙන්ම ආනන්දට ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙන් ඉගෙනීමට උදවු කරන ලෙසද ගයිඞ්ස් ආයතනය ප‍්‍රජා ව්‍යාපාර හා තාක්ෂණ සංවර්ධන ආයතනයෙන් ඉල්ලීමක් කළේය. එහිදී එම ඉල්ලීමට අනුව එහි සභාපති වරයා ලෙස කටයුතු කළ කිත්සිරි ධර්මප‍්‍රිය මහතා සූරියවැව ආනන්දගේ නිවසට පැමිණ ඔහු සමග කතාබහ කර ඔහුට උදවු කිරීමට එකඟ විය. ඒ අනුව ධර්මප‍්‍රිය මහතා ආනන්දට ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගැන්වීමට ගුරුවරු සොයන්නට වීය. අගුණුකොළපැලැස්ස තෙලඹුයායේ පිහිටි ආබාධ සහිත වූවන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දුන් ආයතනයට ගොස් කතා බහ කළද එහි ආනන්දට ඉඩක් නොලැබුනේ ඔහුගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් හා ඔහුට එහි නේවාසිකව සිටීමට තිබූ නොහැකියාව හේතුවෙනි.

උත්සාහය අත් නොහල ධර්මප‍්‍රිය මහතා ආනන්දට ගුරුවරුන් සොයමින් සිටින අතරවාරයෙ 2007 ආබාධ සහිත වූවන් වෙනුවෙන් පවත්වන තරගයක් වූ ඔලිම්පික් තරගය සඳහා අයැදුම්පත් කැඳවිණි. මේ සඳහා ආනන්ද ද අයදුම්පත‍්‍රයක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව හම්බන්තොට පැවති දිස්ත‍්‍රික් තරගයෙන් ආනන්ද පළමු තැන ලබා ගත්තේ එහි සිටි සියලූ දෙනාට අභියෝගයක් වෙමිනි. දිස්ත‍්‍රික් තරගයෙන් පළමු තැන ලැබූ ආනන්ද පළාත් තරගය සඳහා ගාල්ලට ගියේය. එහිදීද ආනන්ද පළමු තැන හිමි කරගත්තේය.

ගාල්ලට ගිය ආනන්ද ලෝකය දැක්කේද එදාම විය. ගාල්ලේදී දුම්රියක් හා මුහුදක් දැක්ක ආනන්දට ලෝකය දැකීමේ ආසාවද වැඩිවිය. පළාත් තරගයෙන්ද පළමුතැන ගත් ආනන්ද කොළඹ ගියේ සමස්ත ලංකා තරගය සඳහාය. එහිදීද ආබාධ සහිත වූවන් වෙනුවෙන් පැවති තරගයේ සියලූ තරගකරුවන් පරදා ආනන්ද ප‍්‍රථම ස්ථානය හිමි කරගත්තේය. ජාත්‍යන්තරය දක්වා ජයග‍්‍රාහකයන් රැුගෙන යන මේ තරගාවලිය සංවිධානය කෙරුණේ කොළඹ පිහිටි ෘඋෘභ නමැති සංවිධානයක් විසිනි. මෙහිදී ජයග‍්‍රහණය ලබන තරගකරුවන් ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගය සඳහා ඉදිරිපත් කිරීමට නියම වි තිබුණි.

සියලූ තරග ජයගත් ආනන්ද ජපන් යැවීමට නියම වුවත් ඔහුගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වෙමින් තිබුණි. කෙසේ නමුත් ධර්මප‍්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ ්ඡුඔ නමැති රාජ්‍ය නොවන සංවිධානය ආනන්ද සඳහා අවශ්‍ය මුදල් පහසුකම් ලබා දීමට ඉදිරිපත් වීය. මෙහිදී වූ අභියෝගය නම් ආනන්ද ජපන් යන්නේ නම් ඔහුගේ සහායට ඔහුගේ මවටද යෑමට සිදුවීමයි. කෙසේ වෙතත් එංගලන්තයේ ්ඡුඔ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ආධාර ඇතිව ආනන්ද ඇතුළු ආබාධ සහිත වූවන් සිව් දෙනකු, කාර්ය මණ්ඩලයේ සිව් දෙනකුත් හා ආනන්දගේ මවත් ධර්මප‍්‍රිය මහතාත් 2007 වසරේදී ජපන් බලා පිටත්ව ගියේ එහි පැවැත්වෙන ජාත්‍යන්තර තරගය සඳහා ඉදිරිපත් වීමටය.

ඒ වන විටත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව මෙලෝ හසරක් නොදත් ආනන්ද ඔහු ලද අත්දැකීම් හා පොත පතෙන් ලද දැනුම පමණක් භාවිත කරමින් මෙම සියලූ තරග සඳහා ඉදිරිපත්ව ජපන් යන්න තේරීම විශේෂත්වයකි. ජපන් තරගයට යන්න පිටවූ ආනන්ද රැුගෙන ගියේ මල්ටි මීටරයත්, බවුත් එකත්, කටර් අඬුවකුත් පමණකි. ඊට එහා ගිය උපකරණයක් පිළිබඳව දැනීමක් ආනන්දට තිබුණේ නැත. එහෙත් යමක් කඩාබිඳ දමා හැදීමේ හැකියාව පමණක් ඒ වන විටත් ආනන්දට තිබුණේ සහජයෙන් ආ කුසලතාවයකටය. ජපානයට ගිය ආනන්දට එහිදී ලබාගැනීමට හැකි වූයේ කුසලතා සහතිකයක් පමණි. මන්ද එම තරගයට පැමිණ සිටි බොහෝ පිරිසක් ඒ සඳහා රැුගෙන ආ උපකරණ නවීන පන්නයේ ඒවා වීමය. ආනන්ද කුඩා බෑගයක ඔතාගෙන ගිය මල්ටි මීටරය හා බවුත් එක එම තරගය සඳහා කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය. ආනන්දට පැවරුණු කාර්යය අදාළ වේලාව තුළදී නිමා කරගැනීමට ආනන්දට හැකි වූයේ සියයට අසූවක් පමණි.

ජපානයට ගොස් විශාල ප‍්‍රසිද්ධියක් ලබා නැවත ලංකාවට පැමිණි ආනන්දට කෙසේ හෝ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව ඉගැන්වීමට ධර්මප‍්‍රිය මහතා කටයුතු කළේ ඉන් පසුවය. තරගයට යන්නට කලින් ආනන්දට මේ සම්බන්ධයෙන් වූ දැනුමක් ලබා දීමට හැකියාවක් තිබුණේ නම් අනිවාර්යයෙන්ම ආන්නද පළමු තැන ලබාගැනීමට කටයුතු කරන බවයි ධර්මප‍්‍රිය මහතාද අපත් සමග කීවේ.

ගාල්ල ප‍්‍රජා ව්‍යාපාර හා තාක්ෂණ සංවර්ධන ආයතනයේ සභාපති ධර්මප‍්‍රිය මහතා ආනන්ද ගාල්ල බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලූවත් එහි ඒ වන විටත් අධ්‍යාපනය ලැබුවේ ආබාධ නොමැති පිරිස්ය. එහිදී ආනන්දට එම ආයතනයට ඇතුළත් වීමේ හැකියාව ඇහිරී තිබුණේ එහි වූ විවිධ නීති රීති චක‍්‍රලේඛ හා රෙගුලාසි හේතුවෙනි. එවකට එම ආයතනයේ ආයතන ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නිමල්සිරි විදානගම මහතාට ආනන්දව සිය පුහුණු ආයතනයට ඇතුළත් කරගැනීමට නොහැකි බව පැවසුවේ තමන්ට චක‍්‍රලේඛ උල්ලංඝනය කළ නොහැකිව තිබූ නිසාවෙනි.

කෙසේ වෙතත් උත්සාහය අත් නොහල ධර්මප‍්‍රිය මහතා එවකට වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති වරයාව හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණි. එහිදී සිදුවූ විශේෂත්වය නම් එවකට වෘත්තීය පුහුණු අධිකාරියේ සිටි සභාපතිවරයා නැවතත් සියලූම ආයතන සඳහා චක‍්‍රලේඛයන් නිකුත් කෙරිණි. එහිදී කියවුණේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ පටිපාටිය කුමක් වුවත් ඉදිරිපත් කර ඇති චක‍්‍රලේඛ කුමක් වුවත් වෘත්තිය පුහුණු ආයතනයකට පුහුණුව ලැබීමට පැමිණෙන ඕනෑම ආබාධ සහිත වූවෙකුට ඒ සඳහා අවස්ථාව දිය යුතුය යන්නය. එය අදටද වලංගුය. වෘත්තීය පුහුණු අධිකාරියේ එවකට සිටි සභාපතිවරයා ගත් මෙම තීරණය නිසා ආනන්දට වගේම ආනන්ද වගේ තවත් බොහෝ පිරිසකට අදටත් වෘත්තීය පුහුණ අධිකාරිය හරහා විශාල සෙතක් සැලසෙන බවද සඳහන් කළ යුතුය.

මාස 04 කට ආසන්න කාලයක් ගාල්ල බද්දේගම පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය අසල ලෑලි මඩුවක නැවතී සිටිමින් ආනන්ද ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳව දැනුම ලබාගත්තේය. පසුව නිවසට පැමිණ ආනන්ද සිය කටයුතු නිසි පරිදි පුහුණුවකින් පසු ආරම්භ කෙරුණේ ඉන් පසුවය. අද වන විට ආනන්ද නිවස ඉදිරිපිට කඩයක් දමාගෙන ටීවී රේඩියෝ ජංගම දුරකථන ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ අලූත්වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යයි. නිවසේ ආබාධිත තත්ත්වයෙන් සිටින සිය අක්කාටද මේ පිළිබඳව උගැන්වීමට ආනන්ද කටයුතු කර ඇති අතර අද වන විට දෙදෙනාම එක්ව මෙම කඩයේ වැඩ කරගෙන යයි.

දිනපතා මව විසින් දෙදෙනාම ඔසවාගෙන විත් කඩයේ ඇති කුඩා ඇඳක් මතින් තබන ආනන්ද සවස් වන තුරුම මෙම ඇඳ මත දිගාවී සිට සිය අක්කා සමගින් තමන් වෙත එන පාරිභෝගිකයාගේ අවශ්‍යතා ඉටුකිරීමට සමත්වී සිටිති.

මම අද වන විට අක්කටත් මේ පිළිබඳව උගන්වලා තියෙන්නේ. මන් ළඟට ගේන ඕනම උපකරණයක් මන් අලූත්වැඩියා කරනවා. මගේ අම්මා තමයි මගේ මේ ඔක්කොම වැඩ කරන්නේ. අම්මටත් දැන් මාව උස්සගෙන යන්න බෑ. මට තනියම යන්න පුළුවන් ක‍්‍රමයක් පිළිබඳව මාත් තාම හොයනවා. ලෝකයේ රටවල නම් ඒවාට විවිධ උපකරණ තියෙනවා. ඒවා මිලෙන් අධිකයි. කවුරු හරි කමක් නෑ මට උදව්වක් කරනවා නම් ඒක ලොකු පිනක් වෙනවා යැයිද ආනන්ද අපත් සමග පැවසීය.

අතපය හතරම තිබියදීත් සිඟමන් යදින මිනිසුන් අතරේ දෙපයින් නැගී සිටීමටවත් බැරි ආනන්ද ලෝකයටම ආදර්ශයක් සපයා ඇති බව කිවයුතුමය. අද වන විට ආනන්ද සූරියවැව තාරුණ්‍යට නව දිරියක් නමැති සංවිධානය සමග එක්ව ආබාධ සහිත වූවන් සඳහා විවිධ දිරිගැන්වීම් වැඩසටහන් පවත්වන්නේ දිරියෙන් නැගීසිටීමේ ඇති වැදගත්කම ලෝකයාට කියා දෙමිනි.

සටහන හා සේයා රූ – මත්තල දිලීප් එන්. ජයසේකර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button