පළකල දිනය : Mon, Jan 6th, 2020

අවුරුදු පහේ ළමයා හිගා කන්න දාපු හැටි

‘‘අනේ නෝනා, මහත්තයා, මේ දරුපැටියට කන්න දෙන්න දෙයක් නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. අනිත් ළමයි වගේ ඉස්කොලේ යවන්න විදිහක් නැහැ. දරුවා හම්බවුණ ගමන් මිනිහා දාලා ගියා. එතැන ඉඳන් නොවිඳිනා දුක් විඳලා තමයි ළමයාව මේ තත්ත්වයට ගෙනාවේ. දැන්නම් කොහොමවත් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒකයි මේ දරු පැටියත් එක්ක හිඟා කන්න ආවේ. වෙන අය වගේ වංචාවක් කරනවා නොවෙයි. ඔබතුමන්ලට ඇස් දෙකෙන්ම බලන්න පුළුවන්නේ අපි විඳින දුක. එක නිසා පිං අයිතිවෙයි මේ අසරණයා ගැන හිතලා කීයක් හරි දෙන්න අපිට ජීවත් වෙන්න.’’ සැම දිනකම අවුරුදු පහක් පමණ වයසැති දරුවකු සමග කාන්තාවක් කොළඹ හයිඞ්පාර්ක් කෝනර්හි පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිරියේ මෙවැනි දුක් මුසු වදන් කියමින් සිඟා කෑමේ නිරත වෙති. ඒ අතර ඇය අතේ හඳුන්කූරු, කපුරු බෝල පැකට් ආදියද තිබේ.

එම දුක් මුසු කතාවත්, අහිංසක ලෙස ඇය අසල සුරතල් වෙමින් සිටින දරුවාත් දකින බොහෝ පිරිස් ඔවුනට උදව් උපකාර කරති. ඒ අය අතර එම ස්ථානයට පැමිණෙන විදේශිකයෝ පවා සිටිති. සුපුරුදු පරිදි දිනපතාම පාහේ ඇය දරුවාත් සමග එලෙස හිඟා කෑවාය. කලක් එලෙස ගත විය.

කලක සිට මෙම හිඟන කාන්තාව සහ දරුවා ගැන බොහෝ පිරිසක් ඇස ගසාගෙන සිටියහ. ඒ අතර විශේෂිත පුද්ගලයෙක්ද සිටියේය. අපි නමින් ඔහුව සුනිල් ලෙස හඳුන්වන්නෙමු. සුනිල්ටද කලක සිට මෙම කාන්තාව ගැන සැකයක් ඇතිවුණි. එම නිසා ලද සෑම මොහොතකම ඔහු මෙම කාන්තාව ගැන ඇස ගසාගෙන සිටියේය. එහිදී ඔහුට දැක ගන්නට ලැබුණේ මෙම කාන්තාව තනිකරම සිදු කරන්නේ රඟපෑමක් බවයි. මිනිසුන් ඉදිරිපිටදී ඇය දරුවාට බොරු ආදරයක් පෙන්වන බවත් මිනිසුන් නොමැති තැන දරුවාට නොසලකන බවත් ඔහු අධ්‍යයනය කර ගත්තේය. එම දරුවා ගැන දැක ඔහුගේ සිත උණුවිය. එම අහිංසකයා වෙනුවෙන් කුමක් හෝ සිදුකළ යුතු යැයි ඔහු සිතා ගත්තේය. ඒ අනුව ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට මේ පිළිබඳව දැන්නුවේය. ඒ අනුව තවත් කිහිපදෙනෙක් ද මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබුණි.

ලද තොරතුරුවලට අනුව වහාම කි‍්‍රයාත්මක වූ එම පොලිස් නිලධාරීහු අදාළ ස්ථානයට කිහිපවරක්ම ගියහ. ගොස් මේ පිළිබඳව සොයා බැලූහ. එවිට ඔවුන්ට දැක ගන්නට ලැබුණේ හඳුන්කුරු, කපුරු පැකට් ළඟ තබාගෙන ඒ මුවාවෙන් ඇය ළමයාව පෙන්වා සිඟමන් යදින බවයි. ඒ අනුව එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ඔවුහු තීරණය කළහ. ඇය අත්අඩංගුවට ගැනීමට යන විටත් එම කාන්තාව සුපුරුදු පරිදි දරුවා සමග සිඟමනේ යෙදී සිටියහ. එලෙස පැමිණි පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගැනීමට පෙර එම කාන්තාවගෙන් මෙලෙස ප‍්‍රශ්න කළහ.

‘‘තමුන් මේ ළමයවත් හවුල් කරගෙන මෙතන කරන්නේ වරදක් නේද?’’

‘‘මොන වරදක්ද මහත්තයෝ මම කරන්නේ.

ගංජා කුඩු විකුණනවද? නැහැනේ. ජීවත් වෙන්න විදිහක් නැහැ ඒකයි මේ දරුවත් එක්ක හඳුන්කූරු, කපුරු පැකට් ආදිය විකුණන්නේ. කීයක් හරි හොයාගෙන තමයි මේ දරුවට කන්න දෙන්නේ. අඩු ගානේ ඉන්න තැනක්වත් නැහැ. පාරේ තමයි නිදාගන්නේ. එතරම් දුකක් මේ දරුවත් එක්ක විඳිනවා. මේ බඩු විකුණලා තමයි කීයක් හරි හොයාගන්නේ. සර්ලා ඒකටත් බාධා කරනවද. හිතක් පපුවක් නැද්ද?

‘‘හිතක් පපුවක් තියෙන නිසා තමයි ආවේ. ඔයා මේ බඩු විකුණන්නේ නැහැ. ඒවා තියන් ඉන්නේ බොරුවට. අපිව රවට්ටන්න. බලන්න මේ දරුවා දිහා අව්වෙ තියන් ඉන්න විදිහ. අම්මා කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම මේ තමුන්ගේ පුතාද? තමන්ගේ පුතා වුණත් මෙහෙම දරුවන්ව පෙන්නලා හිඟා කන්න බැහැ. ඒක නීති විරෝධීයි.’’

‘‘මේ මගේ පුතා නැත්නම් වෙන කාගේ පුතෙක්ද සර්. දරුවත් එක්ක හිඟා කෑවේ නැහැ. කරන්න දෙයක් නැති නිසා. මේ බඩු විකිණුවා විතරයි.’’

‘‘ඒ වුණාට තමුන් ගැන සැකයි. තමුන් මෙතන හිඟා කනවා. ඒ වගේම මේ තමුන්ගේ දරුවෙක් වෙන්න බැහැ. අපිට පැමිණිලි ලැබිලා තියෙනවා මේ පිළිබඳව. ඔප්පු කරන්න පුළුවන්ද මේ තමුන්ගේ ළමයා කියලා.’’

‘‘ඇයි බැරි. මේ තියෙන්නේ ළමයාගේ උප්පැන්න සහතිකය.’’

එලෙස කියූ ඇය අසල තිබූ ගමන් මල්ලක් තුළ තිබූ ලියකියවිල්ලක් රැගෙන එක් පොලිස් නිලධාරියෙකුට ලබා දුන්නේය. උප්පැන්න සහතිකය බැලූ පොලිස් නිලධාරීන්ට එය හොර සහතිකයක් බව තේරුම් ගියේය. ඒ අනුව එක් නිලධාරියෙක් තරමක තර්ජනාත්මක ස්වරූපයකින් ඇයට මෙලෙස පැවසුවේය.

‘‘තමුන් හිතන්න එපා අපි මෝඩයෝ කියලා. මේ තියෙන්නේ හොර සහතිකයක්. ඇත්ත කියනවා නැත්නම් තමුන්ට වැඩ වරදියි.’’

‘‘ ඇත්ත තමයි කීවේ සර්’’ ඇයට පැවසීමට හැකිවූයේ එපමණකි. නැවතත් අර පොලිස් නිලධාරියා කටහඬ අවදි කළේ මෙලෙසින්ය.

‘‘ මම එක පාරක් කිව්වා තමුන්ට අපිව අන්දන්න හදන්න එපා කියලා. තමුන් ඇත්ත කියන්නේ නැහැනේ එනවා යන්න පොලිසියට. එතකොට ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.’’

සියල්ල වැරදී ඇති බව ඇයට තේරුම් ගියාය. තවත් බොරු කියන්න ගියහොත් තමන් ලොකු අමාරුවක වැටෙන බවද ඇය දැන ගත්තාය. එම නිසා පොලිස් නිලධාරීන්ට ඇය මෙලෙස පැවසුවේය.

‘‘අනේ සර් මම ඇත්ත කියන්නම්. මම වරදක් කළේ නැහැ. මේ ළමයා මගේ නොවෙයි. මම අරන් හදාගන්න ගත්තේ. මගේ පුතා හිටියේ ආමි එකේ. එයා යුද්දේ දවස්වල නැතිවුණා. ඒ දුක මගේ හිතේ තවමත් තියෙනවා. ඒ දුක නැති කරගන්න තමයි මම මේ ළමයව අරන් හදා ගත්තේ. ඒක තමයි ඇත්ත.’’

එලෙස පවසනවාත් සමගම ඇයගේ කතාවට බාධා කරමින් තවත් පොලිස් නිලධාරියෙක් මෙලෙස අතුරු ප‍්‍රශ්නයක් නැගුවේය.

‘‘හරි කියනවා බලන්න මේ ළමයාව හදා ගන්න ගත්තේ කොහෙන්ද කියලා.’’

‘‘සර් මේ ළමයව ගත්තේ කිරිඳිවැල පැත්තෙන්. දැනට අවුරුදු එකහමාරකට විතර කලින්. මම දරු කමට හදාගන්න තමයි ගත්තේ. ඇත්තටම මේ දරුවට ආදරෙයි. මෙයාව දැක්කම මට මගේ නැතිවුණ දරුවාව මතක් වෙනවා. එයත් පොඩි කාලේ මේ විදිහම තමයි.’’

‘‘දරුකමට හදා ගන්න ගත්තනම් ඇයි ළමයත් එක්ක හිඟා කන්නේ. තමුන්ගේ මූණ දැක්කම කියන්න පුළුවන් මෙතන ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. අපිට ඇත්ත කියනවා. තමුන්ගේ පුතා ආමි ඒකේ ඉඳලා කොහෙදිද නැතිවුණේ. එයා ගැනත් විස්කර ටිකක් කියනවා එහෙනම්.’’

පොලිස් නිලධාරියා එලෙස කියූ පසු එම කාන්තාවගේ මුහුණ එක්වරම වෙනස් විය. පුතා ගැන කියාගන්න බැරුව වචන ගොත ගැසුණි. යළිත් ඇය බොරු පවසන බව එම නිලධාරීන්ට වැටහුණි. එම නිසා යළිත් ඔවුන් පැවසුවේ ‘‘තවත් බොරු කියන්න ලැහැස්ති වෙන්න එපා. එහෙම වුණොත් තමුන්ව කූඩු කරන්න සිද්ධවෙනවා.’’

‘‘අනේ සර් මම ඇත්ත කියන්නම්. මට අනුකම්පා කරන්න. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ එක්කෙනෙක්වත් ආමි ඒකේ නොවෙයි. දෙන්නම ඉන්නේ හිරේ. ඒ අපරාධ කරලා. එක්කෙනෙක් ජීවිතාන්තය දක්වාම හිරේ. මම මෙහෙම හිඟා කාලා තමයි ජීවත් වෙන්නේ. මට රජයෙන් හම්බවුණ නිවාසයකුත් තියෙනවා. මේ දරුවව අරගත්තේ හිඟා කන්නත් එක්කයි. මේ ළමයාව පෙන්නුවහම මිනිස්සු අනුකම්පා කරලා සල්ලි දෙනවා. මම දවසට රුපියල් 30,000 ක් විතර හම්බකරනවා. මගේ අම්මත් කළේ මේ රස්සාවම තමයි. ඔන්න ඕක තමයි සර් ඇත්ත කතාව.’’

ඇයගෙන් ලබා ගත් තොරතුරුවලට අනුව පොලිස් නිලධාරීන් එම ළමයාගේ ඇත්ත දෙමාපියන් පිළිබඳව සොයා බැලූවේය. ඔවුන් ඉතාමත් දුප්පත් පිරිසකි. එම පවුලේ තවත් ළමුන් සිව් දෙනකු මහණ කර තිබේ. ඒ දැඩි ආර්ථික අපහසුකම් නිසාය. මෙම ළමයාව සැකකාර කාන්තාව විසින් එම දෙමාපියන්ට බොරු පවසා රැගෙන විත් තිබුණේ දැනට අවුරුදු එකහමාරකට පමණ පෙරයි.

පරීක්ෂණ වලින් පසු එම සැකකාර කාන්තාව සහ ළමයාව කොම්පඤඤවීදිය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ළමයාව තාවකාලිකව ඇත්ත දෙමාපියන් භාරයට පවරා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කරන ලෙසත් සැකකාර කාන්තාව බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළහ. මෙම ලිපිය ලියන මොහොත වන විටත් එම අහිංසකයා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. ඔහු සුව වූ පසු ඉදිරියේදී කරන්නේ කුමක්ද කියා අධිකරණය විසින් තීරණය කරයි.

මේ තවත් එක් මල් කැකුලක් පමණි. තවත් මෙවැනි ළමෝ බොහෝ සිටිති. අදාළ නිලධාරීන්ගේ වගකීම වනුයේ එවැනි ළමුන් බැල මෙහෙවරකමේ යොදාගෙන මුදල් උපයන පාපතරයන්ව නීතියේ රැහැනට කොටුකරගෙන දැඩි දඬුවම් දීමයි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කලූආරච්චි මහතාගේ උපදෙස් පරිදි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර, උප පොලිස් පරීක්ෂක බන්නැහක, සඳරුවන්, සැරයන් නිමල් (32188), කොස්තාපල් දිසානායක (39558), ජයසිංහ (63375), පුෂ්පකුමාර (73492), බාලසූරිය (91075), කාන්තා පොලිස් කොස්තාපල් ලක්ෂිකා (10668) යන මහත්ම මහත්මීන් පරීක්ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button