පළකල දිනය : Sun, Jan 12th, 2020

මනෝගේ අවසන් කටයුතු වෙන්නෙ මෙහෙමයි

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

වසර 49 ක් ශ්‍රී ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි රංගන ශිල්පී ජයලාල් රෝහණ ප‍්‍රකාශ කළේ.

ජයලත් මනෝරත්නයන්ගේ රංග ප‍්‍රතිභාවයෙන් නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ලබාගත හැකි ආදර්ශ බොහොමයක් තිබෙන බවයි රංගන ශිල්පී ජයන්ත මුතුතන්ත්‍රි ප‍්‍රකාශ කළේ.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් ලෙසයි සැලකෙන්නේ. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

හඳයා, සපත් කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල මෙන්ම ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් සහ ගෝල් ජයලත් මනෝරත්න මහතා සිය රංග ප‍්‍රතිභාව විදහා දැක්වූ ජනපි‍්‍රය චිත‍්‍රපටවලින් කිහිපයක්.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න මහතා සිය රංග දායකත්වය ලබාදුන්නා.

බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර යන රසික සිත්සතන් දිනාගත් ටෙලිනාට්‍යවලද ඒ මහතා සිය රංගන ප‍්‍රතිභාව ප‍්‍රදර්ශනය කළා.

ජයලත් මනෝරත්න මහතා රගපෑ වේදිකා නාට්‍ය 37කට අධිකයි. බොහෝ දෙනාගේ ජනාදරයට පාත‍්‍ර වූ සිංහබාහු, මනමේ, නරිබෑනා, රතු හැට්ටකාරී, ගුරු තරුව, අන්දරේලා යන වේදිකා නාට්‍ය ඔහු සිය රංගන දායකත්වය ලබාදුන් ජනපි‍්‍රය වේදිකා නාට්‍ය කිහිපයක්. සිය රංග ප‍්‍රතිභාව වෙනුවෙන් ජයලත් මනෝරත්න මහතා ජනාධිපති සිනමා සම්මාන, සරසවි, රයිගම් සහ සුමති සම්මානවලින් අවස්ථා කිහිපයකදීම පිදුම් ලැබුවා.

2004, 2007 සහ 2015 යන වර්ෂවල පැවති සරසවි සිනමා සම්මාන උළලේදී දක්‍ෂතම සහය නළුවාට හිමි සම්මාන දිනා ගැනීමට ජයලත් මනෝරත්න මහතා සමත් වුණා. 2002 සුමත් සම්මාන උළලේ සහ 2009 රයිගම් ටෙලීස් සම්මාන උළලේ දක්‍ෂතම නළුවාට හිමි සම්මාන හිමිවන්නේද ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාටයි. වසර 49 ක් ශී‍්‍ර ලංකේය කලා කෙත පෝෂණය කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්වීම නොඅනුමානයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button