පළකල දිනය : Mon, Jan 13th, 2020

සත්තු වත්ත වසා දමන්න තවත් කල් දමන්නේ ඇයි ?

2014 වසරේ සිට 2019 වසර දක්වා කාලයන් තුළ දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සතුන් පන්සීය හැත්තෑ හයක්, පින්නවල සත්ත්වෝද්‍යානයේ සතුන් එකසිය දහයක්, රිදීගම සෆාරි උද්‍යානයේ සතුන් එකසිය දාහතක් සහ වෙනත් ස්ථානවල සතුන් තුනක් බැගින් මියගොස් ඇති බව වාර්තා වනවා.

පරිසරවේදීන් හා සත්ත්වෝද්‍යාන සේවකයන් චෝදනා කරන්නේ පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල, සතුන් එක් තැනකට කූඩු කර තිබීම හා පරිසරයේ ඇති වායු දූෂණය නිසා සතුන් අකාලයේ මියයන බවයි.

එමෙන්ම​ ලෙඩ රෝගයන්ට ගොදුරු වී සිටින සතුන්වත් මහජන ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය දෙහිවල සත්වෝද්‍යානයට යන නරඹන්නන්ට දැක ගැනීමට හැකියි.

කෙසේවෙතත්, දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු සත්ත්වෝද්‍යානවල මියගොස් සිටියේ සුරතල් සතුන් කාණ්ඩයට අයත් සතුන් බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.මෙලෙස මියගිය සුරතල් සතුන් වන්නේ හාවුන්, දියමන්ති කොබෙයියන්, ලව් බර්ඩ්ස්, පරවියන්, මසුන් හා ඌරු විශේෂ කිහිපයකි.

නමුත්, ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව වැඩිපුරම මියගොස් ඇත්තේ සුරතල් සතුන් නොව සත්ත්ව උද්‍යානවල ඇති දැඩි කළ හැකි සතුන් බව හෙළිවනවා,

එමෙන්ම, වසර පහක කාලයක් තුළ සත්ත්ව උද්‍යානවල ඇති දැඩි කළ හැකි සතුන් තුන්සිය අසූ අටක් මියගිය අතර සුරතල් සත්ත්ව කාණ්ඩයේ සතුන් එකසිය අසූ අටක් වැනි ප්‍රමාණයක් මියගොස් තිබුණා.

මෙලෙසම මියගිය සතුන් අතර ඔටුවන්, මුහුදු සිංහයන්, ෂීබ්‍රාවන්, ජිරාෆ් පිරිමි සතුන්, සුදු පැහැති බෙංගාල කොටි, , හිපෝ සතුන්, වඳුරු විශේෂ, කොටි හා සිංහයන් වැනි දුර්ලබ ගණයේ සතුන් ද වනවා.

පසුගිය වසර කිහිපයක කාලයක් තුළ සතුන් පන්සිය ගණනක් දෙහිවල සත්ත්වෝද්‍යානයේ මියයන්නට ඇත්තේ ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරයන් දීමට නොහැකි වූ නිසා යැයි සත්ත්වෝද්‍යාන සේවකයෝ සත්ත්වෝද්‍යාන පාලකයක්ට චෝදනා එල්ල කරන අතර ඔවුන්ගේ මෙම චෝදනාවලට සෘජුවම ලක්ව ඇත්තේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කණ්ඩායමයි.

සේවකයන් කියා සිටියේ දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින පශු වෛද්‍යවරුන් සතුන් රෝගී වූ විට එම සතුන් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි. රෝගී වූ සතුන්ව නිරීක්ෂණය නොකොට බෙහෙත් ඒවා රෝගී සතාට දෙන බවත් සේවකයෝ චෝදනා කරණවා.

මීට වසර කිහිපයකට පෙර රෝගී වූ වෙනත් ෂීබ්‍රා පැටවකුට දිය යුතු බෙහෙතක් නිරෝගී අයකුට දීම නිසා ෂීබ්‍රා පැටවකු මිය ගියා.ඒ ආකාරයට දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි හිපෝ මවක් හා පැටවකුත් මිය ගොස් තිබුණි. ඊට හේතුව බලෙන් පැටවා ප්‍රසූත කිරීමට ගිය නිසා බව සේවකයෝ පවසනවා.

එමෙන්ම, නයිල් හිපෝ සතකුද පසුගිය කාලයේ මිය ගොස් තිබුණේ නොසැලකිලිමත් ප්‍රවාහනය නිසායි. තවත් රයිනෝ සතකු තමන්ගේම මලපහ ආහාරයට ගැනීම නිසා දැඩි සේ අසාධ්‍ය තත්ත්වයට පත්ව සිට තිබෙනවා.

මෙවැනි සිදුවීම් අද දෙහිවල සත්ත්වෝද්‍යානයට සුලබ දෙයක් බවත් ඒ පිළිබඳව කෙතරම් පැවසුවත් පාලනාධිකාරිය සිටින්නේ බිහිරි අලින්ට වීනා වයන ලෙස බව සේවකයෝ චෝදනා කරනවා.

‘‘දෙහිවල සත්තු වත්ත හරියට අද කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ. කිසිම රුක් රෝපණ වැඩසටහනක් මෙහි සිද්ධ වෙන්නේ නෑ. ඒ අතරේ තවත් කොන්ක්‍රීටි තට්ටු දාලා හිපොලට ඉන්න තැනක් හදනවා. මේ නිසා වෙන්නේ තව තවත් සිමෙන්ති තට්ටු ගණන් වැටිලා තියෙන ස්වාභාවික පරිසරයත් මැරිලා යන එක විතරයි. අඳුනන අයට ටෙන්ඩර් දීලා කොළ අතුයි පොල් අතුයි තණකොළයි ගෙනල්ලා තියෙනවා. මේ නිසා දැන් ගිරවුන්ටත් කොළ අතු දෙන්න පුළුවන් මට්ටමකටම මේක ඇවිලා තියෙනවා. අනික මෙහෙ සතෙක්ව නිර්වින්දනය කළොත් කළාමයි. ආයෙත් මේ සතාට පණ එන්නේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ පිට රටකින් හරි වෛද්‍යවරු ගෙනල්ලා මේ සතුන්ගේ පණ කෙන්ද රැකලා දෙන්න කියලා. ” යනුවෙන් සත්තුවත්තේ සේවකයෝ පවසනවා.

කෙසේ නමුදු පරිසරවේදී සෙතිල් මුහන්දිරම් කියන්නේ මිනිසුන් මෙන් කතා කර සතුන්ට තමන්ට ඇති අයිතිය කීමට නොහැකි බැවින් ඔවුන් පැය විසි හතර පුරාම නිරීක්ෂණය කළ යුතු බවය.

‘‘සතෙක්ගේ වටිනාකම තහවුරු කරන්න කිසිම නිර්ණායකයක් නෑ. වනජීවියෙක් කියන්නේ රටේ සම්පතක්, අනික කැලෑවේ ඉන්න සතෙක්ට වඩා වැඩි ආයු කාලයක් සත්ත්වෝද්‍යානයක ඉන්න සතෙක්ට තියෙනවා. ඒත් දෙහිවල සත්ත්වෝද්‍යානයට විරල ඇනකොන්ඩා පැටියෙක්වත් බේර ගන්න ක්‍රමයක් නෑ. සත්තු වත්ත නරඹන්න එන මිනිස්සු සත්තුන්ට දෙන කෑම නිසා ඔවුන්ට දියවැඩියාව වගේ ලෙඩ රෝග හැදිලා මිය යනවා.’’ යනුවෙන් ඔහු පෙන්වා දෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button