පළකල දිනය : Wed, Jan 15th, 2020

අරුවක්කාලුවට දැමිය යුතු කුණු මුතුරාජවෙලට

අරුවක්කාලුවට කුණු බැහැරකිරිම නවතා දැමීමට තීරණය කිරිමත් සමග විකල්ප ස්ථානයක් ලෙස මුතුරාජවෙල යොදාගැනීමෙන් හැමිල්ටන් ඇල විනාශ වී එහි ජලජ ජීවීන් හා මසුන් විශාල පරිමාණයෙන් මියගොස් ඇතැයි තෙත්බිම් උරුමය සංවිධානය චෝදනා කරයි.

ආගමික නායකයන් හා මුතුරාජවෙල අභය භූමිය සුරැකීමේ සංවිධානය එක්ව කුණු දැමීමට එරෙහිව ගොනුකළ නඩුවක් අනුව කුණු දැමීම නවතාදමන ලෙස අධිකරණ තීන්දුවක් දුන්නේ යැයි ද මේ වනවිට අදාළ අධිකරණ නියෝගය ද නොතකා හරිමින් මෙම කුණු දැමීම සිදුකරන්නේ යැයි ද එහි ලේකම් කැලුම් තුෂාර මහතා පැවැසීය.

මේ නිසා හැමිල්ටන් ඇල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද අවට ප්‍රදේශය පුරා අධික දුගදක් පැතිර යමින් ප්‍රදේශවාසීන් ස්වසන අපහසුතාවලට පවා ලක්ව ඇතැයි ද තුෂාර මහතා පැවැසීය.

මෙම තත්ත්වය මත රටෙහි පවතින පරිසර නීති පද්ධතිය මෙන්ම එම නීති සම්පාදනය කිරිමට මෙන්ම ක්‍රියාත්මක කිරිම සදහා මහජන මුදලින් ආයතන පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය කුමක්දැයි ගැටලුවක් මතුවන්නේ යැයි තුෂාර මහතා කීය.

ජාතික පාරිසරික පනත අනුව මෙලෙස ජලමාර්ග වෙත සහ තෙත්බිම මතට කැලිකසල බැහැර කිරිම නීති විරෝධී වුවත් එම විනාශය රාජ්‍ය මට්ටමින්ම සිදුවීම කනගාටුවට කරුණකැයි ද තුෂාර මහතා අවධාරණය කළේය.

එබැවින් මෙම විනාශය පිළිබඳව හොදින් සොයාබලා ඊට එරෙහිව කඩිනම් පියවරක් ගන්නැයි රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ඒ මහතා කීය.

බිඟුන් මේනක ගමගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button