පළකල දිනය : Sat, Jan 18th, 2020

නව නිර්මාණකරුවන්ට අත්වෙලා තියෙන දේ මෙන්න

මං හදපු නව නියැපුම් නිර්මාණවලට යොදාගත්ත යකඩ කෑල්ලක්, ඇණයක් ගානේ මේ රටට ඒ තුළින් යහපත් දෙයක් වේවි කියලා මහා විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා.

ඒත් ඒ නිර්මාණ අද අබලි​ෙවන්නට අතෑරදාලා. ඒවා දකිද්දී හදවත මුවහත් බ්ලේඩ් එකකින් කපනවා වගේ දරන්න බැරි වේදනාවක් මට දැනෙනවා.
විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් තරුණයා එසේ කියයි. ඔහු කළ නව නිපැයුම් තුළින් අද පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුව ඇත. ලංකාවේ කසළ ගැටලුවට විසඳුමක් සොයාගත්, පයිනස් ශාකයෙන් පෙට්‍රල් සෑදූ, අගනා හෙලිකොප්ටරයක් නිර්මාණය කළ ඒ වගේම තම අලුත් නිර්මාණය ලෙස රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීමට සැරසෙන විකුම් තරුණයා ගම්පල, දොළුව, ගොඩවල ප්‍ර​දේශයේ ජීවත් වෙයි.

ඔහු ඉන්ජිනේරුවකු නොවුණත් ඊටත් එහා ගිය ප්‍රායෝගික දැනුමෙන් ඔහු නව නිපැයුම් කළ අයෙකි. තමා වඩාත් හිතකර නිර්මාණය වන්නේ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයයි. කසළ රැස් කරමින් කොටස් 4කට බෙදා ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අයුරින් කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් විකුම්ගේ දෑතින් නිර්මාණය ​ෙවන්නේ මීට වසර 4කට පෙරය. එහෙත් විෂයභාර ඇමැතිවරුන්, රජයේ වගකිවයුත්තන් එමගින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය පරිසරයක් සාදා නොදීම හේතුවෙන් ඔහුගේ මහන්සියෙන් නිර්මාණය වූ කසළ ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍ර ත්‍රිත්වයක්ම මේ ​ෙවනවිට ප්‍රයෝජනයක් නොගෙනම ඉවත් කිරීමට සිදුව ඇත.

අලුත් දේ හිතන අලුත් දේ තනන මෙවැනි නිර්මාණකරුවන්ට අපේ රටේ නිසි තැනක් ලැබෙන්නේ කවදාද..?

පයිනස් ශාකයෙන් පෙට්‍රල් : “අන්තිමට ඉන්ධන නිෂ්පාදනය කරන්න හදපු යන්ත්‍රය කඩලා යකඩවලට විකුණුවා”

මම මුලින්ම කළේ පයිනස් ශාකයෙන් පෙට්‍රල් හදපු එක. දවසක් මං ප්‍රවීණ ලේඛක රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයාගේ ලංකාවට අලුත් දේශපාලනයක් කියන පොත කියෙව්වා. ඒ පොතේ එක්තරා පරිච්ඡේදයක තිබුණා ලංකාවට පයිනස් ශාකය හඳුන්වලා දුන්නේ ඇයි? එහි අහිතකර ප්‍රතිඵල මොනවද? කියලා. ඵල හට ගන්නේ නැති ලීවලින් ප්‍රයෝජනයක් ගන්න බැරි පයිනස් ශාක ඉතා ඉක්මනින් දහනය ​ෙවන නිසා මම හිතුවා පෙට්‍රල් වගේ දෙයක් ශාකයෙන් හදලා බලන්න. ඒ වෙනකොට ලෝක වෙ​ෙළඳපොළේ බොරතෙල් මිල ගොඩක්ම ඉහළ ගිහින් තිබුණේ.

මේ ශාකයේ කොටස් එකතු කරලා පල්ප් එකක් හදලා ඒක වියළීමකට පත් කළා. එවිට මේකෙන් වායුවක් නිකුත් වුණා. ඒ වායුව නැවත කූලින් සිස්ටම් එකක් හරහා සිසිල් කළාට පස්සේ වතුර වැනි ද්‍රාවණයක් බවට පත්වෙනවා. මේ ද්‍රාවනය ඉතාම ඉක්මනින් පත්තු වෙනවා. ඒ විදිහට පෙට්‍රල් නිෂ්පාදනය කළ මම ගමේ ත්‍රීවීල්වලට පෙට්‍රල් ලීටරයක් රුපියල් 60ක වැනි මුදලකට විකිණුවා. මම මේකට එවකට හිටපු ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් ඉල්ලුවා මේක වැඩිදියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කර දෙන්න කියලා.
එතුමා කිව්වා මේ පිළිබඳ උප​දේශයක් ගත යුතුයි කියලා. දවස් දාහතරකට පස්සේ එතුමාගේ සෘජු නිවේදනය වුණේ කිසිම අවස්ථාවක මෙය නීත්‍යානුකුල කිරීමේ හැකියාවක් නොමැති බවයි. අවසනයේ මට නඩු දාන්නත් හැදුවා.

අන්තිමට ඉන්ධන නිෂ්පාදනය කරන්න හදපු යන්ත්‍රය කඩලා යකඩවලට විකුණුවා. පයිනස් ශාකයෙන් පෙට්‍රල් පෙරීම සංකල්පයට අවසානයේ අත්වූ ඉරණම ඕන්න ඕකයි.

හෙලිකොප්ටරය කුඹුර මැද දිරාපත් වෙලා : “මේ හෙලිකොප්ටරේ විශේෂත්වය ​ෙවන්නේ රසදියවලින් ධාවනය වීම”

මගේ අනිත් නිපැයුම වුණේ හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම. හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම අරුමයක් නෙමෙයි. මගේ අරමුණ වුණේ පොලිසියට සහ වනජීවී මහත්වරුන්ට අදාළ රාජකාරියට පහසු ආකාරයට හතර දෙනකුට යා හැකි හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීමයි.

ට්‍රැෆික් බයිසිකලයක් ගන්න විශාල මුදලක් යනවා. අපේ රටේ ආර්ථිකයට ගැළපෙන විදිහට මෙය ඉතාම අඩු මුදලකින් සිව් දෙනෙකුට ගමන් කළ හැකි හෙලිකොප්ටරය අද වසර 3ක් තිස්සේ දිරාපත් වෙමින් පවතිනවා. අදටත් මේක පණගන්වන්න පුළුවන්. ලංකාවේ තියෙනවා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක්, නව නිපැයුම් කොමිසමක් තියෙනවා. ඒත් නව නියැපුම් යන්ත්‍රයක් හැදුවට ඒක ක්‍රියා කරලා බලන්න අපේ රටේ නීතියෙන් අවසරයක් නැහැ.

මේ හෙලිකොප්ටරේ විශේෂත්වය ​ෙවන්නේ රසදියවලින් ධාවනය වීම. අපේ රටේ නව නියැපුම් නිර්මාණ දැක්කම මේ දැනුමෙන් වැඩක් ගන්නව නම් අපේ රට හිඟන තත්ත්වයට පත්වෙන්නේ නැහැ.

කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය: “මීට පෙර යන්ත්‍ර තුනක්ම හදලා අවසානයේ යකඩවලට විකුණලා දැම්මා.”

දැන් මම මේ දවස්වල නිර්මාණය කරන්නේ හතරවෙනි කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය. මීට පෙර යන්ත්‍ර තුනක්ම හදලා අවසානයේ යකඩවලට විකුණලා දැම්මා.
ගම්පොළ නගරයේ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල ප්‍රශ්නයක් මතු වුණා. 2015 අම්බුලුවාවේ කුණු කන්ද නාය ගිහිල්ලා ඇති වුණ ප්‍රශ්නයත් එක්ක තමයි මම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවේ.

ලක්ෂ 27ක් වියදම් කරලා මැෂින් එක හදලා පාවිච්චි කරන්න බලන කොට මෙවැනි නිර්මාණයක් වාහනයක් සම්බන්ධ කරලා හැදුවට පස්සේ ඒක පාවිච්චි කරන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැහැ.

අද තියෙන අවාසනාවන්ත තත්ත්වයක් මේක. වාහනයක් හැදුවට පරීක්ෂණයක් කරන්නවත් පාරේ ධාවනය කරන්නත් මේ රටේ නීතියෙන් තහනම්. ඉතින් ලක්ෂ ගාණක් වියදම් කරලා එක කසළ ප්‍රතිචක්‍රීකරණ මැෂින් එකක් ධාවනය කරන්න බෑ කිව්වම හදවත බ්ලේඩ් තලයකින් කපාගෙන යනවා වගේ දැඩි වේදනාවක් ආවා. මේ මැෂින් එකට දාපු ඇණයක් ගානේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේක මිනිස්සු ප්‍රයෝජනයට ගිනිවී කියලා.

මේ යන්ත්‍රයේ යන්ත්‍රානුසාරයෙන්ම කුණු පටවා ගන්නවා. ප්ලාස්ටික්, වීදුරු, යකඩ කාබනික, පොලිතින් යන්ත්‍රය ආධාරයෙන්ම තෝරා ගැනීමත් කරනවා. පසුව ඇඹරීමත් එක්ක ඇති වෙන දුගඳ නැතිකරන්න රසායනික ද්‍රව්‍යයකුත් ​යොදනවා. කුණු පටවා ගැනීමේ ඉඳලා තේරිලා ඇඹරෙන තැනට වෙනකම්ම පුද්ගලයන් දෙදෙනකුගෙන් මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.

පසුව මේවා කාබනික පොහොර වශයෙන් ගන්න පුළුවන්. ඒවා ප්ලාස්ටික්, යකඩ, වීදුරු කර්මාන්ත ශාලාවලට සපයන්න පුළුවන්. මේ යන්ත්‍රයෙන් ක්‍රමවේදයන් 8ක් සිදු වෙනවා. මිනිස්සු දෙදෙනෙකුගෙන් මේ යන්ත්‍රය මගින් කසළ ටොන් 45ක් පැය 3 ඇතුළත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මේ යන්ත්‍රය මගින් කසළ ප්‍රතිචක්‍රීකරණය කරනවා නම් රජයට ලැබෙන ආදායම සුළුපටු නැහැ.

කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඇගයීමට ලක්වුණ වෙලාවේ මට මහත් සතුටක් දැනුණා. ඒ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වේවි කියලා. ඒත් අත්වුණු ඉරණම හරිම ඛේදනීයයි. මේ රටේ ජාතික ආරක්ෂාවට වඩා කසළ සම්බන්ධයෙන් මේ රටේ මිනිස්සුන්ට සංවේදී බවක් තියෙනවා. මැෂින් එක ක්‍රියාත්මක කරන්න නීතිමය තත්ත්වයක් නැහැ කිව්වම මම යන්න පුළුවන් හැමකෙනා ළඟටම ගිහිල්ලා මේකට අවසර අරගෙන දෙන්න කියලා බැගෑපත් මුණා. ඒත් වැඩක් වුණේ නැහැ. පස්සේ මැෂින් එක පැත්තකට දාලා නිකං හිටියා.

මෙතනින් එහාට මොකක්ද ඔබේ අරමුණ:

අපි රටේ තියෙන මොළවලින් මේ රටේ අලුත් අලුත් දේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ තරම් දක්ෂයෝ මේ රටේ ඉන්නවා. මම කරන නව නිපැයුම් අද කැලෑවට ගිහින් දිරාපත් වුණත් මම මගේ ගමන නවත්වන්නේ නැහැ. මට කාගෙන්වත් සත පහක්වත් එපා. මට ඕනැ ආශිර්වාදය සහ මගපෙන්වීම විතරයි. ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලනවා නව නිපැයුම් හැදුවා කියල මල්මාල දාලා උත්සව තියන එක නෙවෙයි කළ යුත්තේ. ඒ නිපැයුමෙන් ඉදිරියට මේ රටේ ව්‍යාප්ත කළ යුත්තේ කෙසේද කියලයි බැලිය යුතු ​ෙවන්නේ.

මම අ.පො.ස. උසස් පෙළ වෙනතෙක් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. කාර්මික අංශයෙන් ඉලෙක්ට්‍රිකල් අංශයේ ඉංජිනේරු අංශයෙන් මම කවදාවත් ඉගෙන ගෙන නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි නව නිපැයුම් ලෙස මම නිර්මාණ කළේ. ඉදිරියටත් මම තවත් බොහෝ දේ නිර්මාණය කරනවා. මම මේ දිනවල ලක්ෂ 70ක් පමණ වියදම් කරලා ජංගම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර හදනවා. තවත් දින කිහිපයකින් ඒ යන්ත්‍රය සාදා නිම කරන්න පුළුවන්. පළාත් පාලන ආයතන 325 තුළ දිනකට බැහැරවන කසළ ප්‍රමාණය අනුව මැෂින් 1800 පමණ අවශ්‍ය වෙනවා. රජයේ අවධානය යොමු වෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේවි කියන විශාල විශ්වාසයකින් තමයි නැවත මම මේ යන්ත්‍රය හැදුවේ.

නගර සභාවල කුණු එකතු කරන අහිංසක මිනිස්සුන්ට මේ යන්ත්‍රය හැදුවට පස්සේ අතින් කුණු අල්ලන්න අවශ්‍ය නැහැ. රජයෙන් මා බැගෑපත් ඉල්ලීමක් කරනවා. මේ ගැන සොයලා බලලා කසළ ගැටලුවට මා සොයාගත් විසඳුමට අනුමැතිය දෙන්න කියලා.දේශපාලන පොරොන්දු නම් දීලා මාව ගොඩක් අය රවට්ටලා තියෙනවා. මම දැන් ඒ පොරොන්දුවලට අහුවෙන්නේ නැහැ. එයාලා සාකච්ඡා කරනවා විතරයි. රටට ආදරේ මිනිස්සු දේශපාලනයේ නැහැ.

වසර ගාණකට පස්සේ අලුත් පාලනයත් එක්ක අලුත් බලාපොරොත්තුවක් ආවා. ඒ නිසා නැවත කසළ ප්‍රතිචකීකරණ යන්ත්‍රය මම හදන්න පටන් ගත්තා.

මීට අමතරව අතිවිශාල ටර්බයින් තාක්ෂණයෙන් කරකවා විදුලිය නිපදවීම ඔහු ඉදිරිපත් කරනු ලැබූ සංකල්පයක් අතුරින් තවත් නිර්මාණයකි. රසදියෙන් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවිය හැකි එන්ජිමට රාජ්‍ය මට්ටමෙන් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කනගාටුවකට කරුණක්.මගේ අලුත්ම අරමුණ වන්නේ රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීම. මේක ශබ්දයෙන් තොරයි. ග්‍රහලෝකවලින් එන යානා ශබ්දයෙන් තොරව ගමන් කරන්නෙත් රසදිය මගින් ධාවනය කරන තාක්ෂණයක් යොදාගෙන තිබෙන නිසයි. රාවණා රජුට දඬුමොරණයෙන් යෑමට තරම් අපේ තාක්ෂණය දියුණුවී තිබුණා නම් අද තියෙන තාක්ෂණයත් එක්ක මගේ තාක්ෂණික දැනුම සාර්ථක නම් ගුවන් යානා ධාවනයට රසදිය යොදා ගත හැකියි.

ඒ විතරයි නෙමෙයි විදුලිය නිපදවීමට, ජෙනරේටර් දිවීමටද ​යොදාගත හැකියි. විශේෂයෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ටර්බයින් කැරකැවීමටද රසදිය යොදාගෙන තනන ඇන්ජිමට හැකියාව තිබෙනවා. මේ වෙනකොට මගේ රසදිය තාක්ෂණික ක්‍රමවේදය නොබෙල් ත්‍යාග සඳහා ද ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් නොරොච්චෝලේ වැනි විදුලි බලාගාරයකට ගල් අඟුරු පුච්චා රුපියල් කෝටි ගණන් වියදම් කරන එක මේ රසදිය තාක්ෂණ යන්ත්‍රය මගින් අවම කර ගන්න පුළුවන්. වැස්ස, සුළඟ අවශ්‍ය නැහැ. විදුලිය සීමා සහිතයි කියන්න කාටවත් බැහැ.මිනිසුන්ට විදුලිය වෙනුවෙන් මේ තරම් මුදල් ගෙවන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ලස්සන දිය ඇළි හරස් කරලා විදුලි බලාගාර ඉදිකරන්න අවශ්‍ය නැහැ. මේ වසරේ මාර්තුවල විදුලිය හිඟයක් එනවා කියලා මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ව්‍යාපෘති වාර්තාවක් පවා දීලා තියෙනවා. ඒවට තාම ප්‍රතිචාරයක් නැහැ.

මේ රසදියෙන් වැඩ කරන යන්ත්‍රය මම හැදුවේ මිනිරන්වලින්. මෙහි අකෘතිය මේ ​ෙවනවිට මම නිර්මාණය කර අවසන්. අපේ දක්ෂතාවන්ට අත හිත දෙනවට වඩා කකුලෙන් අදින මිනිස්සු හරිම වැඩියි. සුවිශේෂි නිර්මාණයන් රැසක් නව නිපැයුම් තුළින් බිහිකළ විකුම් සැබෑම දක්ෂයෙකි. රුපියල් ලක්ෂ ගණනක් විදයම් දරමින් ඔහු නිපදවූ සුවිශේෂ නිර්මාණ රැසක් කිසිදු ඇගයීමක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. එය කාගේ අවාසනාවද? ඔහුගේ නිර්මාණයන්ට නිසි ඇගයීමක් ලබා දෙන්නේ නම් ඔහුගේ දක්ෂතා ඉතිහාසගතවනු නොඅනුමානය.

නදීශා අතුකෝරල

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button