පළකල දිනය : Sun, Jan 19th, 2020

අකමැත්තෙන් වුවත් මුදල් හොයා ගන්න ඒ දේ කරනවා

නිරංජනී සම්මුගරජා. නම කිව්වම කෙනෙකුට ඒ කවුද කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූපය දුටු ගමන් ඇයව බොහෝ දෙනා හදුනනවා. ඒ ඉනිඅවන් වගේම සුනාමි සිනමා සිත්තමේ ඇයගේ රංගනයෙන්. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

අද අපි මේ කතා කරන කතා නායිකාව මේ දිනවල සාර්ථක අන්දමින් රිදී තිරයේ දිග හැරෙන ‘සුනාමි’ චිත්‍රප‍ටයේ ප්‍රේක්ෂකයන් හට අමතක නොවන චරිතයකට ජීවය දෙන නිරන්ජනී ෂන්මුගරාජායි.

ද්‍රවිඩ පවුලකට දාව උපන් නිරන්ජනී පවුලේ බඩ පිස්සීය. ඇයට වැඩිමහලු එක් සහෝදරියක් සිටී, කන්දඋඩරට උපන් නිරංජනී චතුර ලෙසින් සිංහල බස හසුරුවන්නිය. එය අපට ගම්‍ය වන්නේ 2009 වසරේ ඉඳන් මේ දක්වා ඈ රූපවාහිනී වැඩ සටහන් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරනයුරු දැක ඇති නිසාවෙනි.

මේ දිනවල අලුතින් නිර්මාණය වන චිත්‍රපට කිහිපයකම මාධ්‍ය දර්ශන නැරැඹීමේ අවස්ථාවන් කිහිපයක් ම අපට දැකගත හැකි විය. සමහර චිත්‍රපටවල ප්‍රධාන නිළිය එනතෙක් පැය ගණන් කාලය කා දමමින් බලා සිටින්නට සිදු විය. ඔවුන් ආවේ සුඛෝපභෝගී රථවලය. රතුපලස මතින් සිනමා ශාලාවට පැමිණියේ කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයින් ලෙසින් සැරසුණු ආරක්ෂකයින් මැද්දේය. ඒ නිෂ්පාදකවරුන්ගේ ‘මාකටින්’ පැත්තය. ‘සුනාමි’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය නැරැඹීමේ අවස්ථාව අපට පසුගියදා සැලසී තිබුණි. මාධ්‍ය සගයන් පැමිණෙන්නට පෙරාතුව එහි ප්‍රධාන නිළිය නිරන්ජනී සිනමා ශාලාව වෙත පැමිණ සිටියාය. අත්දිග හැට්ටයක් සහ සුදු ඔසරියකින් හැඩ වී පිච්ච මල් පොකුරක් හ‍ිසේ ගසාගෙන ඈ කුලියට ගත් ත්‍රීවිල් ථයකින් පැමිණි බව අපිට ආරංචි විය. ඒ ඇගේ ‘මාකටින්’ එකයි.

නිරංජනී සුනාමි චිත්‍රපටයට සම්බන්ධ වන්නේ පැරෂුටයකින් පැමිණි නිළියක් ලෙසින් ‍නොවෙයි. ඇය මේ ක්ෂේත්‍රයේ ‘කට්ට’ කාගෙන ආපු නිළියකි. එසේ නම් අපි ඇයගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන තොරතුරු දිග ඇර බලමු.

නිරංජනී මුලින් ම අකුරු කරන්නට ගියේ මහනුවර, දිගන, රජවල මහා විද්‍යාලයටය. දෙවනුව මහනුවර බද්යුදීන් මහමුද් බාලිකා විදුහලටය. වාණිජ විෂයය ධාරාව යටතේ අධ්‍යාපනය හැදෑරුවද, ඇය පාසලේ සෑම කලා කටයුත්තකට ම සහභාගි වී ඇත. උසස් අධ්‍යාපනයෙන් පසුව කොළඹට පැමිණෙන නිරංජනීට 2011 වසරේ පැවැති යෞවන නාට්‍ය උලෙළ නියෝජනය කරමින් තරංගා ප්‍රියදර්ශනිගේ නිෂ්පාදනයක් වන ‘ෆෝමැට්’ වේදිකා නාට්‍යයේ චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාවක් ලැබිණි. එහිදී දකුණු පළාතේ පැවැති තරගයෙන් ඇය හොඳ ම නිළිය ලෙසින් ද, දිවයිනේ අවසන් තරගයෙන් හොඳම නිළිය ලෙසින් ද සම්මානයන්ට පාත්‍ර විය.

“2012 වසරේ අශෝක හඳගම සර් ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණයකට ද්‍රවිඩ තරුණියක් සොයමින් ඉන්නා බව ආරංචි වුණා. මම රඟපෑ මෙම වේදිකා නාට්‍යය හරහා එහි නිෂ්පාදිකා තරංගා අක්කා, ජානක සහ අමල් අයියා තමයි මුලින්ම මාව හඳගම සර්ට හඳුන්වලා දෙන්නේ. කිසිම පෙරහුරුවක් නැතිව හඳගම සර් ඔහුගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගත්තා.” නිරංජනී පැවසුවේ සතුටු කඳුළු පිරි දෑසිනි.

ඈ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘ඉනි අවන්’ චිත්‍රපටයට සම්බන්ධ වන්නේ එලෙසිනි. එය ඇයගේ ප්‍රථම සිනමා ගමනයයි. වේදිකා නාට්‍යයක රඟ දක්වමින් කිසිදු ටෙලි නාට්‍යයක රඟ නොපා කෙළින්ම හඳගම වැනි ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයකුගේ සිනමා නිර්මාණයක රඟපාන්නට ලැබීම ඇගේ රංගන ජීවිතයේ මහත් භාග්‍යයක් කොට ඇය සලකන්නීය. කැමරාව ඉදිරියේ රඟපාන්ට ඇයට කිසිදු බියක් චකිතයක් නොතිබුණි. ඇය එලෙස පැවසුවේ ඊට පෙර ඇය රූපවාහිනි කැමරාව ඉදිරියේ අවුරුදු තුනක් තිස්සේ නිවේදිකාවක් ලෙසින් කටයුතු කර තිබූ නිසා විය හැකියි.

‘ඉනි අවන්’ චිත්‍රපටයේ රංගනය උදෙසා ‘හිරු’ චිත්‍රපට සම්මාන ‍උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි කරගන්නට නිරන්ජනීට හැකි වන්නීය. ඉන් අනතුරුව ඇය රඟපෑ ‘කෝමාලි කිංග්ස්’ ශ්‍රී ලාංකේය දමිල චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයන්ට දැක ගත හැකි විය. ‘රතු සමනල සිහිනයක්’, ‘Sons & Fathers’, ‘’සොප්පන සුන්දරී’, සහ ‘ගිරිවැසිපුර’ ඉදිරියේ තිරගත වීමට නියමිත ඇය රඟපෑ චිත්‍රපට කිහිපයකි. ‘සුනාමි’ චිත්‍රපටයේ කලයාණිගේ චරිතයට සෝමරත්න දිසානායක නිරන්ජීනීව තෝරා ගත්තේ ‘ඉනි අවන්’ චිත්‍රපටයේ ඇගේ රංගන කෞෂල්‍යය දැකීමෙන් අනතුරුවය.

“සෝමරත්න සර් මට නොයෙකුත් සම්මාන උලෙළවලදී සහ රූපවාහිනී ආයතනයේදී මුණ ගැසෙන වෙලාවෙදි මම සර්ට විහිළු කරනවා මට සර්ගෙ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද? ඇයි අපිට රඟපාන්න බැරිද? කියලා. සර් ඒ හැම අවස්ථාවකම හිනාවෙලා කියනවා ‘ඉන්නකෝ අවස්ථාව එනකම්… මම ඔයාව මගේ නිර්මාණයකට ගන්නවා’ කියලා. එතුමාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම ලොකු වාසනාවක්.රංගන ශිල්පිනියක ලෙසින් බැබළෙන්නට අධ්‍යක්ෂවරයාගේ මෙහෙයුම සහ අනෙකුත් රංගන ශිල්ප ශිල්පිනියන්ගේ සහාය අවශ්‍යමයි. ඒක තනියම කරන්න බැහැ. අපි ෂූටිං පටන් ගන්නට පෙර උදේ පාන්දරම මුහුණ දකින්නේ ‘ටී බෝයි’ ගේ. අපිව අවදි කරවලා ටී එක ළඟට ගෙනත් දීලා අපේ දවස පටන් ගන්න ජවය ලබා දෙන්නේ ඔහුයි. ඉතින් මේ හැමෝගෙම සහාය මත තමයි අපි සාර්ථක රංගනයක නිරත වන්නේ.” නිරංජනී නිහතමානීව පවසන්නීය.

ඇය අපූරුවට සිංහල භාෂාව හසුරුවන්නීය. ඇගේ ආච්චි අම්මා උඩරට, සිංහල, බෞද්ධ කාන්තාවකි. රංගන ජීවිතයේ චරිත තෝරා ගැනීමේදී, කොතරම් හොඳ කතා පිටපතක් වුණත් අධ්‍යක්ෂවරයා පිළිබඳ සැලකිලිමත් වන බව ඈ පවසයි.

ස්විනීතා වීරසිංහ, මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි. අනෝජා වීරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, අනෝමා ජනාදරී, දමිතා අබේරත්න සහ යශෝදා විමලධර්ම සිංහල සිනමාවේ ඈ කැමැතිම රංගන ශිල්පිනියන්ය. ඕනෑම චරිතයක් ප්‍රබලව ඉදිරිපත් කරන ‍ජෝ අබේවික්‍රම ඇයගේ ප්‍රියතම නළුවා බව පවසන නිරන්ජනී ඇගේ ආදරණීයම නළුවා මහේන්ද්‍ර පෙරේරා බව පවසන්නීය. දෙබස් උච්චාරණයේදී ගාමිණි ෆොන්සේකා තරම් නළුවෙක් නැති බව ඈ පවසන්නීය.

පසුගියදා ‘සුනාමි’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයෙන් සහ විශේෂ දර්ශනයකින් අනතුරුව ඇයට විශාල ප්‍රතිචාර ලැබුණි. ඇගේ අත අල්ලාගෙන කඳුළු පිරි දෙනෙතින් ඇයව වටකරගෙන චිත්‍රපටය නැරැඹූ අය ඇයට සුබ පැතූහ. එම ප්‍රතිචාර දරාගන්නට බැරිව ඇය සෝමරත්න දිසානායකයන්ව වැලඳගෙන හැඬු බව ඇය පවසන්නීය.

“අපේ සිනමා කර්මාන‍්තයේ සෝමරත්න දිසානායක, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවන් සිංහල සහ ද්‍රවිඩ ජන කොටස් එක්කාසු කරගෙන තිර රචනා තුළින් සිනමා නිර්මාණ කරගෙන යනවා. ඒවා ඇත්තටම සිනමාවට පමණක් ‍නොවෙයි ජාතිය, ආගම, භාෂාව පසෙකලා රටේ සෑම ජාතියකටම නිදහස් චින්තනයකින් යුතු ගැටුම්වලින් තොර රටක් ගොඩනඟන්නට මහෝපකාරි වෙනවා. ඒ අතරින් ‘සුනාමි’ චිත්‍රපටය මම දකින්නේ සංහිඳියාවේ සංකේතයක් ලෙසයි.” නිරංජනී පවස්නීය.

මෙතෙක් ලැබී ඇති චරිත කෙරෙහි ඇය සෑහීමකට පත්ව ඇතත්, ඇය රඟපෑමට කැමැත්තෙන් සිටින චරිත කිහිපයක් පිළිබඳ ඈ මෙසේ පැවසුවාය.

“මම ගැන මිනිස්සු මොනවා හිතාවිද මන්දා… මම ඉතාම ආසාවෙන් ඉන්නවා හොඳ අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක ගණිකාවකගේ චරිතයක් රඟපාන්න. ඒකට මම හේතු කියන්නම. ගණිකා වෘත්තිය කියන්නේ ලෝකයේ පැරැණිම සහ අමාරුව රැකියාව. ගණිකාවක් කියන්නේ ලිංගික ශ්‍රමිකයන්. එයාලා මෙම වෘත්තියේ නියැළෙන්නේ කාමයට තියෙන ගිජුකම නිසා නොවෙයි. තමන්ගේ, දරුවන්ගේ, මාපියන්ගේ කුසගින්න නිවා ගන්න. ගෙවල් දොරවල් හදාගන්න, යානවාහන ගන්න නෙමෙයි.

අකමැත්තෙන් වුවත් මුදල් හොයා ගන්න ඒ දේ කරනවා. නමුත් අද සමාජය මේ කාන්තාව දෙස බලන්නේ වැරදි කෝණයකින්. මේ ගණිකාවගේ ඇතුළාන්තයේ වේදනාකාරී කතාවක් තියෙනවා. ඉතින් මම කැමැතියි එවැනි කාන්තාවකගේ එම වේදනාකාරී පසුබිම සිනමාවේ චරිතයකින් ලෝකයට පෙන්වන්න. ඒ වගේම මම කැමැතියි අන්ධ චරිතයක්, අංග විකල චරිතයක් කරන්න. බොලිවුඩයේ දීපිකා පදුකෝන් ඇසිඩ්වැදි අවලස්සන වූ සමාජයෙන් කොන්වූ කාන්තාවක් ජීවිතය ජයගන්න වෙරදරන චරිතයක් අපූරුවට සිනමා පටයකින් රඟ දැක්වූවා. අන්න ඒ වගේ චරිතයක් කරන්නත් මම කැමැත්තෙන් ඉන්නවා.” ඈ පවසන්නීය.

නිරන්ජනී හරිම මිත්‍රශීලීය. ළෙන්ගතුය. නිතර ම මුහුණ සිනහවෙන් පුරවාගෙන සිටින්නීය. ඇගේ මේ ගතිලක්ෂණ ගැන විමසූ විට ඈ මෙසේ පැවසුවාය.

“මගේ සැබෑ චරිතයම එහෙමයි. මට කතා නොකර ඉන්න බැහැ. හිනානොවී ඉන්න බැහැ. උදාහරණයක් වශයෙන් අතීතයේ එක්තරා කතාවක් මම කියන්නම්. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වැරහැලි ඇඳගත්තු එක්තරා දුප්පත් මනුස්සයෙක් ආවලු. ඔහු බුදුරජාණන් වහන්සේට කිව්වලු බලන්න මගෙ ඇඳුම් දිහා මට හොඳ ඇඳුම් නැහැ. කවුරුත් මට කන්න බොන්න දෙන්නේ නැහැ කියලා. එතකොට බුදු පියාණන් කිව්වලු ඔයා හොඳට පිං කරන්න එතකොට ඔයාට මේ ආත්මේ වගේම ලබන ආත්මෙත් ඔයා හිතන දේවල් ලැබෙයි කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වලු මම කොහොමද පිං කරන්නේ මට සල්ලි නැහැ, ඉන්න තැනක් නැහැ, කන්න බොන්න නැහැ කියලා.

එත‍කොට බුදුරජාණන් වහන්සේ කිව්වලු ඔය මොනවා නැතත් ඔයාට පින් කරන්න ඔයා ළඟ ලොකු වටිනා සම්පතක් තියෙනවා කියලා. ඒ මනුස්සයා පුදුමයෙන් ඇහැව්වලු මොකක්ද ඒ කියලා. ඊට පස්සෙ බුදු රජාණන් වහන්සේ කිව්වලු ‘ඔයා ළඟ ලස්සන නිරහංකාර සිනාවක් තියෙනවා. ඒ සිනාව මිනිසුන්ට දෙන්න. එවිට ඔබ සිතන පතන දේවල් ඔබට ලැබේවි කියලා.’ “

“අන්න ඒ වගේ අපි හැම දෙනාටම සිනහවකින් සංග්‍රහ කරනවා නම්, අපිට පෙරලා ගොඩාක් දේවල් ලැබෙනවා. සිනාසෙන්න මුදල් අවශ්‍ය නැහැනේ. ඒවා අපි ළඟ තියෙන දේවල්.” ඈ පැවසුවාය. නිරන්ජනිට ‘වේකන්සියක්’ තිබේ. ඈ තාම තනිකඩය. ඒ ‘වේකන්සිය’ පිරවිය හැක්කේ සිංහල බෞද්ධ තරුණයකුට පමණක් බව ඈ පිළිසඳර නිමා කරමින් සිනාමුසුව පැවසුවාය.

“සිළුමිණ”
ටෙනිසන් එදිරිසිංහ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button