පළකල දිනය : Sat, Jan 25th, 2020

රන් හනුමන්තා පිළිරුවේ කතාව

හනුමන්තා කවුදැයි කියන්නට අවශ්‍ය නැත. අකුරු සාස්තරය දන්නා, හනුමන්තා නොදන්නා වුන් නැති තරම්ය. වායු හෙවත් මාරුත දෙවියන් නිසා, අන්ජානි ලෙස හැඳින්වෙන වැඳිරි වෙස්ගත් දිව්‍ය අප්සරාවගේ කුසින් ඉපදෙන හනුමාන් ලාංකිකයන්ට දැන හදුනා ගන්නට ලැබෙන්නේ රාමායණය නිසාය. රාම වෙනුවෙන් සේවය කළ හනුමාන් රාම – රාවණ යුද්ධයෙන් පසු ගියේ කොහිද… පාඨක ඔබ කියවන්නට යන මෙම ලිපියට පාදක වූ පොලිස් විමර්ශනයට පෙර නම් ඊට විසුළු පිළිතුරක් විය. හනුමාන් ඉන්නවා අන්න කටුනායක වගුරක වළ දාලා… යනුවෙන් එය යමකුට කිව හැකිය. හනුමාන් යුද්ධයෙන් පසුව ශිව දෙවියන්ගෙන් ඉල්ලූ වරම ගැන සඳහන් කරමින් රටම රැවටූ, බිලියන ගණනක මහා වංචාවේ කතාව ලිවිය යුතුය. “ශිව දෙවිදුනි, ශ්‍රී රාම යන නාමය ඇසෙනා තෙක් මා මේ පොළොවේ ජීවත් විය යුතුය. ඊට වරම් දෙන්න…

දැනට සති දෙකකට පමණ පෙර දිනයකි. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ කාර්යාලයේ සිටගෙන සිටිනා පුද්ගලයන් දෙදෙනෙකි. වත්මන් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අනුදැනුම මත, බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මඟපෙන්වීමෙන් මොවුන් දෙදෙනා පැමිණ තිබෙන බව කියැවිණි. වරුණ ජයසුන්දර මහතා තම කාර්යාලයට කැඳවූයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතාය. පැමිණි පුද්ගලයන් තම කතාව ආරම්භ කළේ ඉන් අනතුරුවය.

මේක මෙහෙමයි සර්, ප්‍රභාකරන් හින්දු බැතිමතෙක් කියලා, එයාට වන්දනා කරන්න අරන් ආපු තනි රත්රන් පිළිමයක් තියෙනවාලු. ඒක ඉන්දියාවෙන් ලංකාවට ගෙනැල්ලා තියෙන්නේ. ප්‍රභාකරන් හොරකම් කළ රත්රන් ටොන් ගාණක් ඒ පිළිමේ හදන්න දීලා. අවසානේ ටොන් 16ක් බර තනි රත්රන් පිළිමයක් හදලා. සම්පූර්ණ කැරට් 22 රත්රන්. පිළිමේ අඩි 16ක් වගේ උසයි. මේ පිළිමේ තමයි ප්‍රභාකරන් වුණ බාරේ එයාගේ යුද්ධෙ දින්නොත් තිරුපතිද කොහේද පූජා කරනවා කියලා. යුද්දෙ දිනනකම් එයා එයාගේ ළඟ තියාගෙන මේක වන්දනා කළාලු.

ප්‍රභාකරන් තදින් විශ්වාස කරලා මේ පිළිමේ නිසා එයා යුද්දෙ දිනනවා කියලා. අපේ හමුදාව ගහගෙන එද්දී එයාට පොඩි සැකයක් ඇවිල්ලා එයා ලංකාවෙන් පනින්න හදලා. ඒ පනින්න කලින් එයා මේ පිළිමේ ආරක්ෂිත තැනක තියන්න ඕනෑ වෙලා. ඒ නිසා එයා එයාට වැඩ කරන කොළඹ කට්ටියකට කියලා එයාගේ අතිශය පෞද්ගලික දෙයක් එවනවා, ඒක තියන්න තැනක් රෙඩි කරන්න කියලා. දැන් පිළිමේ කෙළින්ම වැල්ලට අරන් ගිහින් මාළු අස්සේ හංගලා අරන් ඇවිත්. නැවෙන් හරි ටැංකි බෝට්ටුවෙන් හරි ගොඩ ගත්තාට පස්සේ ඒකෙ තිබුණු මාළුත් ඒක්කම මේක ටිපර් එකකට පටවලා. පිළිමේ එහෙම පටවලා තියෙන්නේ පුත්තලම පැත්තෙන්…

පිළිමේ පුත්තලමට එද්දී දවස් 2ක් පරක්කු වෙලා. පිළිමේ පුත්තලමට ඇවිත් තියෙන්නේ 2008 ජනවාරි 08 වැනිදා. ටිපර් එකෙන් පුත්තලමේ ඉඳලා එද්දී ජා-ඇළ පොඩි කේස් එකක් වුණා. එදා තමයි ද.මු. දසනායක මහත්තයාට බෝම්බ ගැහුවේ. බෝම්බ සීන් එක නිසා මීගමුව පාරේ දිගටම හමුදාවේ බැරැක්ක දාලා. ලොරියේ හිටිය ඩ්‍රයිවරුයි, ගෝලයයි දෙන්නම බයවෙලා. එයාලා කෙළින්ම මේ ටිපර් එක හරවලා කටුනායක, තුඩාවට. එහේ ඉඩමක මේ පිළිමේ වළදාලා මෙයාල දෙන්න ගිහින්. මේ පිළිමේ ගැන දන්න එකම දෙන්නා මෙයාලා නිසා පස්සේ කොටි මේ දෙන්නාව මැරුවාලු. කොහොම හරි, දැන් මෙන්න මේ පිළිමේ එළියට ඇවිල්ලා. දැන් මේක එළියට ඇවිල්ලා තියෙන්නේ මේක ගන්න ඉන්දියාව ආපහු ට්‍රයි කරන නිසා. ඉන්දියාව කියන්නේ මේ පිළිමේ කියන ගාණකට එයාලා ගන්නවා, ලංකාවෙන් අරන් යන එකත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරගන්නවා, පුළුවන් කෙනෙක් පිළිමේ හොයාලා දෙන්න කියලා… දැන් මේ පිළිමේ එළියට ඇවිල්ලා. මුස්ලිම් අය තුන්දෙනෙක් තමයි ඩීල් එක කරන්න හදන්නේ…

දැන් ඔය පිළිමේ විකුණන්න හදන්නේ කීයටද.. කෝටි 3500ක් සර්… “මොකක්.. කෝටි 3500…” ඔව්. මේ බිස්නස් එක කළොත් ලැබෙන කොමිස් එකම කෝටි 200ක්.. දැන් ඕක කරන්න ඉන්දියාව එක්ක ඩීල් එක දාපු කෙනෙක් ඉන්නවාද.. “නෑ සර්.” ඊට පස්සේ මේ කතාව වෙනස් වෙනවා. දැන් මේක ඉන්දියාවට දෙන්න නෙවෙයි කට්ටිය බලන්නේ. දැන් කට්ටිය හොයන්නේ මේක ලංකාව ඇතුළෙම විකුණන්න. මේකේ තියෙන ටොන් ගාණක් රත්රන් නිසා බිලියන ගණන් කළු සල්ලි තියෙන මිනිස්සු මේ වගේ එකක් ගන්න හොය හොය ඉන්නේ. මේකේ තියෙන රත්රන්වල විතරක් වටිනාකම බලන්නකෝ සර්…

බැලූබැල්මට මේ කතාවේ ඇත්තේ ලෝකේ කා වතුර බිව් අයකුගේ උප්පරවැට්ටියක් බව වැටෙහෙන්නට පොලිස් නිලයන්ට මහ වේලාවක් ගියේ නැත. දැන් ඇත්තේ මේ මහා වංචාවේ මූලය සොයා යෑමය. සාමාන්‍යයෙන් මෙවන් කාරණා තැරැව්කරුවන් හරහා සිදුවන බැවින් මහ මොළකරු නිතරම සිටින්නේ සැඟවීය. එසේත් නැතිනම් ළඟාවීමට අපහසු තරම් දුරිනි. තැරැව්කරුවන් එකෙන් එකා විමසමින් මහ මොළකරු සොයා යද්දී බොහෝවිට ඔහු අතුරුදන් වේ. ඒ තැරැව්කරුවන් හරහා තමා සොයා යමකු එන වග ඔහුට දැනගන්නට ලැබෙන නිසාවෙනි.

“දැන් ඔයාලා මේකට මැදිහත් වෙන්නේ කොහොමද.?” “අපිටත් මේ ඩීල් එක ආවා. එක්කෝ මේක ගන්න පුළුවන්. නැත්තම් මේක ගන්න පුළුවන් විධියේ ලොකු සල්ලිකාරයෙක් හොයාලා දෙන්න පුළුවන්. එහෙම කළොත් කෝටි දහයක විස්සක කොමිස් එකක් එනවා.. “දැන් මේ කතාවේ කියන විධියේ පිළිමයක් තියෙනවා කියලා කොහොමද විශ්වාස කරන්නේ. සල්ලි තියෙන මිනිස්සු වුණත් එහෙම කතාවක් අහලා ඕක පස්සේ යන්න තරම් මෝඩ නෑනේ.. “මේ පිළිමේ වීඩියෝ තියෙනවා සර්. දවස ගහලා කරපු වීඩියෝ තියෙනවා. සර් හිතන්නේ මේ පිළිමේ රත්රන් නෑ කියලා නම්, ඒ වීඩියෝ එකේ ඩ්‍රිල් මැෂින් එකකින් පිළිමේ විදලා පෙන්වනවා ඇතුළේ රත්රන් මතු වෙන විධිය…”

“කවුද දන්නේ ඔය මතු වෙනවා කියන රත්රන් ඇත්තම ඒවාද කියලා…” “අයියෝ සර්, මෙයාලා ඒ රත්රන් චෙක් කරලා ගත්ත සහතිකෙත් තියෙනවා. ඒකෙත් දවස තියෙන්නේ ගිය අවුරුද්දේ 11 වැනි මාසේ…”

මේ කියැවෙනා අවසන් කාරණය සමඟ නම් කතාව තරමක් වෙනස් විය හැකිය. පිළිමයක් වේ. එහි සජීවී දර්ශන සහිත වීඩියෝ පටද වේ. අදාළ පිළිමය සම්පූර්ණයෙන්ම රත්රන්වලින් සාදා ඇත. මහ පොළොවේ වළ දමා තිබීම හේතුවෙන් පිළිමයේ වටා මඩ තට්ටුවක් ඇත. ලී විදිනා යන්ත්‍රයකින් මඩ තට්ටුව විද පිළිමයේ සිදුරක් සාදන විට ඉන් රත්රන් මතුවේ. ඒ අනුව මේ මඩට යටින් ඇත්තේ සම්පූර්ණ රත්රන් පිළිමයකි. මෙය ඉපැරණි වීඩියෝවක් වීමටද ඉඩ නැත. පිළිමය මත දිනය ලියා සලකුණු කළ පුවරුවකි. වීඩියෝව ගන්නා දිනය එහි සඳහන් වේ. පිළිමය විදිනා අවස්ථාවේ එන රත්රන් කැබලි හෝ කුඩු තත්ත්ව පරීක්ෂාවක් කොට ඒවා සැබෑ කැරට් 22 හෝ 24 රත්රන් බවට දුන් සහතිකයක්ද වේ. සියල්ල අවසානයේ සලකා බැලූවිට මෙහි ඇති එකම ගැටලුව මෙතරම් විශාල මුදලක් රට තුළ පාර්ශ්ව දෙකක් අතර සංසරණය වීම පමණි. උපයාගත් ආකාරය පැහැදිලි කළ හැකි අයකු මැදිහත් විණි නම් එහිද ගැටලුවක් නැත.

මෙලෙස සාධාරණය කර තමන්ට ලැබෙනා තොරතුරු මඟහැරීම නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ හෝ පොලිස් පරීක්ෂක කැළුම් සංගීත්ගේ හෝ ලක්ෂණය නොවේ. බැලූ බැල්මට මොකුත් ප්‍රශ්නයක් නෑ වගේ. ඒත් මොකද්‍ෙදා් අමුත්තක් තේරෙනවා. කැලුම් ඔයා මේක බලන්න. තියෙන තොරතුරු එක්ක අනිත් දේවල් හොයාගෙන යන්න. වරුණ ජයසුන්දරගේ උපදෙස් පිට ඒ අනුව පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් මෙහෙයුම ඇරැඹිණි. කෝටි 3500ක මහා වංචාවක් පිටුපස යෑමට කැලුම් සංගීත් ඇතුළු කණ්ඩායම සතුව ඇත්තේ වීඩියෝ පටයක් පමණි. ලද තොරතුරු අනුව මෙකී පිළිමය ගොඩගෙන කටුනායක මුතුරාජවෙල ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනක් සතුව දැනට පවතී.

තොරතුරු දූතයන් හා තමන් සතු විවිධ මූලාශ්‍ර හරහා සොයා යෑමේදී එක් දිනෙක ඔවුනට මීට අදාළ විය හැකි යැයි සැක කෙරෙන යමක් අසන්නට ලැබිණි. එය ලැබෙන්නේ නුගේගොඩ ප්‍රදේශයේ අයකුගෙනි. “සර්, කෝටි ගාණක රත්රන් පිළිමයක් විකුණන ඩීල් එකක් අද වෙනවා. පිළිමේ ගන්න එන කට්ටිය අද රෑට කෝටි 50ක ඇඩ්වාන්ස් එකක් පිළිමේ තියෙන කට්ටියට දෙනවා. මම තැන හරියට හොයාලා කියන්නම්.”

මේ කියැවෙන්නේ මුලින් තමන් සොයාගිය පිළිමය ගැන‍ෙදා්යි සැක සිතමින් පසුවුණ කැළුම් සංගීත් ඇතුළු පිරිසට සන්ධ්‍යාව වන විට අදාළ ගනුදෙනුව සිදුවන ස්ථානය ගැනද දැනගන්නට ලැබිණි. ගනුදෙනුව සිදුවීමට නියමිතව ඇත්තේ පෑලියගොඩ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක රථ ගාලේය. ඒ අනුව වහාම තම නිලධාරීන් සිවිල් ඇදුමින් සැක නොසිතෙන්නට අදාළ රථගාල පුරාවට ස්ථානගත කරන්නට කටයුතු යෙදිණි. එහි නියම ප්‍රතිඵල ලබාදෙමින් මෙම ගනුදෙනුව සිදු කරන්නට පැමිණි කලක් ඇඟලුම් කර්මාන්ත සිදු කර දැන් බංකොලොත්ව සිටිනා අයෙක්, නුගේගොඩ වාහන විකුණුම් ආයතනයක හිමිකරුවෙක්, යුද හමුදාවේ හිටපු සෙබළෙක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට පත්විය.

ඔවුන් සියල්ලෝම තැරැව්කරුවන් පමණි. කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් මිලදී ගන්නන් සොයාදීමේ වගකීම ලබාගැනීම මෙම සන්ධ්‍යාවේ සිදුවන මුණගැසීමේ බලාපොරොත්තුව බව කියැවිණි. දැන් කෙසේ හෝ කෙළවරක් සොයාගෙන තිබේ. මෙතැනින් ඉදිරියට යා යුතුය. නමුත් මේ අත්අඩංගුවට ගත් පිරිසෙන් කිසිවකු හෝ අදාළ පිළිමය දෑසින් දැක නැත. වඩාත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මේ පිරිස අතර එක් අයකු අදාළ මෙම පිළිමය අසල සිටිනා වෙනත් වීඩියෝ පටයක්ද ඇති බවය. එම පුද්ගලයා සැබෑ පිළිමය අසල සිටිනා වීඩියෝව නිසා අනෙක් තැනැත්තෝ එවැන්නක් ඇති බව විශ්වාස කළ වග කියැවිණි. එසේ නම් අදාළ තැනැත්තා මෙම පිළිමය ගැන වැඩියමක් දන්නවා විය යුතුය.

ඔහුගෙන් ප්‍රශ්න කරද්දී අවසානයේ ඔහු සැබෑවටම මේ කියන පිළිමය ඇතැයි කියන ස්ථානය දක්වා රැගෙන යෑමට එකඟ විය. ඒ අනුව කැලුම් ඇතුළු පිරිස මෙකී පුද්ගලයාගේ මඟපෙන්වීම මත කටුනායක අදාළ නිවෙස සොයා පිටත් වේ. සොයාගත් නිවෙසේ ඒ මොහොතේ කිසිවකු නොසිටි අතර පිළිමයක් තමාට පෙන්නුවා යැයි කියනා නිවෙස පිටුපස ඉඩම පිරිසේ නිරීක්ෂණයට ලක්විය. කෝටි 3000ක් වටිනා මේ පිළිමය තිබෙන්නේ එක්කෝ මේ නිවෙසේය. නැති නම් එකී මහාර්ඝ පිළිමය තිබෙනා තැන දන්නා පුද්ගලයා සිටින්නේ මේ නිවෙසේය. ලෙහෙසි පහසු නැත. මේ ලිපිය ලියවෙනා මොහොතේ රටේ කතා බහට ලක්වූ බැදුම්කර වංචාවෙන් අහිමි වුණා යැයි කියනා මුදලද මිලියන 10,000කි. එය කෝටි නම්, කෝටි 1000කි. මේ එමෙන් තුන් ගුණයකටත් වැඩි වටිනාකමකින් යුත්තකි. රතු පසින්, අෑතින් දිවෙන අධිවේගී මාර්ගයේ හඩින් වටා ඇති මුතුරාජවෙල වගුරේ ආඝ්‍රාණයෙන් යුතු මේ මොහොතේ වටිනාකම පාඨක ඔබට වැටහෙනවා විය යුතුය.

තරමක් සන්ධ්‍යාව එළැඹී හිරු බැස යද්දී දැනගන්නට ලැබෙන්නේ නිවෙසේ වසනා මේ පිළිමයේ හිමිකරුවා යැයි හෝ භාරකරුවා යැයි හැඳින්වෙන තැනැත්තා පැමිණෙන බවය. පිරිස ඊට සූදානමින් සිටිනා අවස්ථාවේ ඔවුන්ට එන්නේ බලාපොරොත්තු නොවූ ඇමතුමකි. එය ඉහළ පොලිස් නිලයකිනි.

“කොහේද ඉන්නේ.. ඔයාලා ඉන්න ආසන්නයේ හෙරොයින් ජාවාරමක ප්‍රධාන සැකකරුවෙක් ඉන්නව කියලා දැන් දැනගන්න ලැබුණා. ඉක්මනට එතැනට ගිහින් මිනිහාව ගන්න.”

මෙම පුවත සමඟ සසැලෙන පොලිස් කණ්ඩායම කරන්නට අන් යමක් නොවූ බැවින් පිළිම නිවෙස අත්හැර හෙරොයින් සැකකරු හොයා පිටත් වේ. අදාළ තොරතුර සනාථ කරමින් හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගනී.

“සර්, ඔය අල්ලගත්ත කෙනා තමයි සර් මට එදා පිළිමේ පෙන්නුවේ” පිළිම නිවෙස සොයා යන්නට මඟ කියූ පුද්ගලයා පැවැසුවේ කැලුම් සංගීත් හට සමීප වෙමිනි. එයත් සමඟ මේ පිළිම කතාව සම්පූර්ණයෙන්ම මුසාවක් බව කැලුම් සංගීත්ට වැටහිණි. එහෙත් එය එසේ වග ඔප්පු කරන්නට සාක්ෂි වුවමනාය. ඒ අනුව අත්අඩංගුවට ගත් චින්තක නමැත්තාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. ප්‍රභාකරන්ගේ හනුමා පිළිමයේ කතාව එළියට එන්නේ එතැන් සිටය.

“අනේ සර්, මම ගෙදර හදපු පිළිමයක් ඕක. මම ඕක කළේ ලංකාවේ තියෙන කළු සල්ලි කාරයෝ ටික අන්දලා කීයක් හරි හොයාගන්න. මට මේ දවස් ටිකට විතරක් ඕක විශ්වාස කළ සල්ලිකාරයෝ ගාණක් හොඳට සැලකුවා. මට මීගමුවේ මුදලාලි කෙනෙක් වාහනයකුත් අරන් දුන්නා. අපි ලැහැස්ති වුණේ ලොකු කළු සල්ලි කාරයෙක් ආවාම මිනිහාට ගහලා සල්ලි ටික ගන්න ගේම් එකක්..”

“එතකොට මොකද්ද මේ පිළිමේ.. මෙහෙම පිළිමයක් නැද්ද ඇත්තටම. මෙම ප්‍රශ්නද චින්තක ඉදිරියේ තැබිණි.

“ඕක මම හැදුව පිළිමයක් සර්. ඕක හදලා තියෙන්නේ වැලි එක්ක මැටි කවලම් කරලා. ඕක වටේට ඊට පස්සේ රෙද්දක් අතුරලා ඒක උඩත් වැලි එක්ක මැටි ගෑවා. ඕක මේ නිකම් ඇඟයි, කකුල් දෙකයි එන්න හදපු එකක්. දෙමළ මිනිස්සු රත්රන් ගැන ගොඩක් විශ්වාස කරන නිසා තමයි මම ඕකට හනුමන්තා කියලා කිව්වේ. පස්සේ තමයි ප්‍රභාකරන් වන්දනා කළා කිව්වේ. ඇත්තටම ප්‍රභාකරන් කතෝලික කෙනෙක් නේද සර්.. මම බයේ හිටියේ ඒක මිනිස්සුන්ට මතක් වේවි කියලා. පස්සේ මේ පිළිමේ වටේම සිමෙන්ති ගෑවා.

මේ පිළිමේ එක තැනක් හැදුවා ලෑලි කෑලි හතරක් මැද පිත්තල කුට්ටියක්. ඒ පිත්තල කුට්ටියේ මැද මම සාරි එහෙම පාට කරන්න ගන්න රත්රන් කුඩු පිරෙව්වා. ඩ්‍රිල් එකෙන් කළේ ඒ පිත්තල බාර් එක හාරපු එක. එතකොට ඒ මැද තියෙන රත්රන් ටික ඔක්කොම එළියට එනවා. වීඩියෝ එකේ පේන්නේ පිළිමේ විදිනකොට රත්රන් එනවා වගේ. පස්සේ මගේ ළඟ තිබුණ මුද්දක් අරන් ගිහින් දීලා ඒකට තමයි අර රිපෝර්ට් එක ගත්තේ. මේ දෙක එකට යැව්වා පිළිමෙන් ආපු රත්රන් කුඩුවලට රිපෝර්ට් එක ගත්තා කියලා.

චින්තක කියාගෙන ගියේ දැන් සියල්ල හෙළිවී ඇති බව හා තමන් කොටුවී ඇති බව තේරුම් ගත් නිසා ය.

මේ පිළිමේ මූණක් හදාගන්න මට බෑ. ඒ නිසා මම පිළිමේ මූණක් පෙන්නුවේ නෑ. මිනිසුන්ට විශ්වාස කරවන්න ඕන වෙන ටික විතරක් කිව්වා. පිළිමේ ඉස්සුවේ ලොකු කේබල් දාලා කියලා කේබල්වල ෆොටෝ ටිකකුත් යැව්වා. මම හිතුවාට වඩා මේක වටේම ගියා. වට්ස් ඇප් එකෙන් මේක හැමෝම වටේ යැව්වා. සමහර අය මගේ එක මටමත් එවලා තිබුණා. දැනුත් මගේ ෆෝන් එකට කෝල් එනවා මේක ගන්න මිනිස්සු ඉන්නවා, වැඩේ කළොත් කොමිස් එක කීයද අහලා.

අවසානයේ පිළිමයේ ඇත්ත සොයා ගැනිණි. මොවුන් අත්අඩංගුවේ සිටියදී පවා ඔවුන්ගේ දුරකථනවලට ඇමැතුම් පැමිණියේ පිළිමය ගන්නට සල්ලිකාරයන් සිටිනා බව කියමිනි. වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අනුදැනුම මත, බස්නාහිර පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මඟපෙන්වීම අනුව, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග අනුව කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා හා මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලුවආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් මහතා ඇතුළු පිරිස විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

හනුමාන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී රාම නාමය ඇසෙනා තෙක් ඔහු ජීවත් වේ. එය මිථ්‍යාවක් යැයි කියනා අයගෙන් අසන්නට ඇත්තේ එක් ප්‍රශ්නයකි. කෝටි 3500ක් කළු සල්ලි ඇති වුන් තවමත් සිටිනා මේ ශ්‍රී ලංකාවේ හනුමන්තා නොසිටී යැයි සිතිය හැක්කේ කෙසේද..

Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button