පළකල දිනය : Sat, Feb 1st, 2020

ප්‍රියාන් මැණික් පියුමි ගැන දැන් කියන කතාව

සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වූ ‘ප්‍රියාන් මැණික්” එසේ නැත්නම් එහි හිමිකරු ප්‍රියන්ත පුෂ්පකුමාර ගැන කරුණක් ගැන කතාබහට ලක්වුණා. ඒ පසුගියදා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඇසුණු හඬපටත් සමඟ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක හා ජනප්‍රිය නිළි පියුමි හංසමාලි අතර සිදුවූ කතාබහක් මීට හේතු වුණා. මේ හඬපටයත් සමඟම එවැනි ළමයෙක්  සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලය තුළ දක්නට ලැබුණා. ඒත් මේ වීඩියෝව තමන්ගේ නොවන බවත් එය සැලසුම් සහගත කූට ක්‍රියාවලියක් බවත් ප්‍රියාන් මැණික් කියා සිටියා. ඔහු මාධ්‍ය ඔස්සේ අභියෝග කරමින් මේ ගැන කතා කළා.

මොකක්ද නළු නිළියන් එක්ක ඔබේ තිබෙන හිතවත්කම?

නළු නිළියන් එක්ක මගේ එහෙම සුහද ඇසුරක් නැහැ. රන්ජන් අයියව මම දැකලා කතා කරලා තියෙන්නෙත් දවස් 4යි. පියුමි එක්කත් එහෙමයි. චාමර රණවක, තීක්ෂණ අනුරාධ, සඳුන් පෙරේරා වගේ කීපදෙනෙක් ඇසුරු කරනවා. අනෙකුත් කලාකරුවන් සමඟ ලොකු ඇසුරක් නැහැ. හැබැයි දන්නවා.

ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය මැණික්. කොහොමද මේ ගමන පටන් ගත්තේ? 

මම මුලින්ම වැඩ කළේ සුනිල් බීච් කියලා නාරිගම පැත්තේ තියෙන හෝටලයක. ඒ කාලෙදි මම කළේ වේටර් රස්සාව.

මේ කාලයේදී හෝටලයට ආපු මැණික් ව්‍යාපාරයට සම්බන්ධ මහත්තයෙක් මා එක්ක සුහදව කතා කරලා මගේ සේවාව ගැන අගය කළා. අගය කරලා කිව්වා මැණික් ව්‍යාපාරයට ඇතුළු වෙලා රැකියාවක් කරන්න. ඔබට දියුණු වෙන්න පුළුවන් කියලා. මම මේ ඔවදන හිතට ගත්තා. ඊට පස්සේ කාලෙක රස්සාවක් හොයාගෙන මම රත්නපුරේට ගියා. ඒ රුපියල් 900ක් අතේ තියාගෙන. එහෙම ගිහින් අනන්ත දුක් වින්දා. මට ඕන වුණේ පතල් වැඩ ඉගෙනගන්න. මැණික් ගැන දැනගන්න.

කොහේද ඔබේ ගම් පළාත? 

ඇල්පිටියේ අටකොහොට්ට. රස්සාව කළේ නාරිගම, හික්කඩුවේ. එතැන ඉඳලා තමයි සංචාරකයෝ අඩු කාලෙක රත්නපුරේට ගියේ.

ඒ කාලේ මට රත්නපුරේ නවතින්න තැනක්වත් තිබුණේ නැහැ. මම බස් හෝල්ට්වල තමයි නිදාගත්තේ. මම ඔය කියන්නේ 2008-2009 කාලේ. ඔය කියන කාලේ මට පතලක වැඩ හම්බවෙන තුරු කුලී වැඩ පවා කළා. නාට්ටාමි වැඩවලත් නිරතව සිටියා. කඩවල කොත්තු ගැහුවා. රොටී හැදුවා. පෙට්රල් ෂෙඩ්වල වැඩ කළා. ඔය වගේ නොයෙක් දේවල් කරලා සල්ලි හෙව්වා.

එතකොට ව්‍යාපාරිකයෙක් වෙන්නේ කොහොමද? 

මම පතල් වැඩ ඉගෙනගන්න යම් යම් අයගේ පස්සේ ගියත් ඒක හරිගියේ නැහැ. අන්තිමට නිවිතිගල පැත්තේ හතරදෙනෙක් මාව පතල් වැඩට එක්කරගෙන ගියා. මගෙන් ගොඩක් වැඩ ගත්තා.

ඔය කාලෙදි මම ලොකු මුදලාලිලාගේ ගෙවල්වලට ගිහින් දලන් කෑලි වගේම පොඩි පොඩි ගල් කෑලි ඉල්ලගෙන යනවා.

ඔහොම ඉද්දී මට එක වයසක කෙනකුගේ දලන් කෑලි ටිකක් ලැබුණා. ඒක මම ගත්තේ පොඩි මුදලකට. හැබැයි රුපියල් අනූදාහකට විකුණන්න පුළුවන් වුණා. හැබැයි ඒ මුදලින් පනස් දාහක් මම ආපහු ගිහින් අර මාමාට දුන්නා. මේකෙන් තමයි මට ලොකු මුදලක් අතට ආවේ. මේ තමයි ආරම්භය. ඉන් පස්සේ මම ටිකින් ටික දියුණු වුණා. පතල් කපන්නත් පටන් ගත්තා.

ලොකු මැණිකක් ලැබුණේ ඒ වෙලාවෙදි නේද? 

ඔව්.

වටිනාකම කියන්න බැරිද? 

(සිනාසෙමින්) නොකිය ඉම්මු නේද? වටින එකක් කියලා විතරක් කියමු.

කොහොමද ඔබට මේ වගේ වාසනා ගෙනදෙන මාර්ග පෑදෙන්නේ? 

මම කරන පින්කම් කියලා හිතනවා. මම දන්න කාලේ ඉඳලම පිනට දහමට ළැදියි. පින තමයි වාසනාවට මුල.

ඔබ විවාහකද? 

පෞද්ගලික ප්‍රශ්නයක්. (සිනාසෙයි). කතා නොකර ඉම්මු නේද?

පින්කම් කරමින් ජීවත් වන ඔබට, වාසනාව තිබෙන ඔබට එක පාරටම කඩාවැටෙන මේ දේවල් මොනවද? එහි ප්‍රධාන කරුණ ළමයෙකු සම්බන්ධ කාරණයක්? 

ඔව්. මෙතැනදී මට කියන්න තිබෙන්නේ ඔය කරුණු ගැන පොලිසිය හරිහැටි ක්‍රියා කරන්නේ නැත්නම් ජනාධිපතිතුමා ළඟට යන්න කියලයි. ළමා හා කාන්තාවන් ගැන කතා කරන ආයතන ඕනෑතරම් මේ රටේ තිබෙනවා. ඒවාට යන්නගිහින් මට විරුද්ධව දේවල් කරන්න. මාව අත්අඩංගුවට ගන්න කියන්න.

එහෙමත් නැත්නම් ඕනෑම කෙනකුට පුළුවන් මා වෙනුවෙන් පැමිණිලි ගොනු කරලා මාව උසාවි අරන් යන්න. ඇයි එහෙම මට නොකරන්නේ.

මම කියන්නේ මට විරුද්ධව එවැනි දේවල් තිබෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. මම එහෙම ඔප්පු කරන කෙනාට රුපියල් බිලියනයක් තෑගි කරනවා. පුළුවන් නම් එහෙම කරලා පෙන්වන්න කියන්න.

තවත් අය ෆේස්බුක් එකේ මට විරුද්ධව එක එක පෝස්ට් දාලා රඟනවා. මම කියන්නේ රඟන්න එපා. කෙළින් එන්න කියලයි.

ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි හංසමාලි වක්‍රව ඔබට මේ කාරණාව ගෙන එන බව පෙනුණා? 

ඒක පියුමිගේ නරක ගතිය. ඒ වගේම පියුමි හංසමාලියි රන්ජන් රාමනායක මන්ත්‍රිතුමයි සිහි බුද්ධියෙන් කළ කතාවක් නෙමෙයි.

පියුමි නරකයි මම කියන්නේ නැහැ. හොඳ කෙනෙක්. නමුත් අඩුපාඩු තිබෙනවානේ කාගෙත්. ඉතින් ඒ අඩුපාඩුව එළියට පැන්නා. මගේ ලක්ෂ 6ක ණය මුදල නොගෙවා ඉන්න සැලසුම් කළ බව ඒ විධියට ආපු හඬපටයෙන් හෙළි වුණා. ඒක නරකයි.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ගැන ඔබට තිබෙන අදහස මොනවගේද? 

මම මුලින් හිතාගෙන හිටියා ඔහු ඉතා හොඳ මනුස්සයෙක් කියලා. ඒ වගේම ලොකු විශ්වාසයකුත් තිබුණා.

නමුත් මේ හඬපට එක්ක මට තේරුම් ගියා ඔහුට වැරදුණා කියලා. ඔහු හිතුවේ නැහැ තමන්ට වුවමනා කරන දේවල් අස්සේ කතා කරන වල්පල් තියාගන්න එක හොඳ නැහැ කියලා. එයාගේ නම කැත වෙන දේවල් පවා රෙකෝඩ් කරලා තියාගන්න තරමට රන්ජන් මන්ත්‍රිතුමාගේ අයි.ටී. දැනුම අඩු වුණා.

දැන් බලන්න ඔය වල්පල් වගේම බුදු හාමුදුරුවන්ට බනින දේවල් පවා තියාගත්ත එකෙන් වෙච්ච දේ. රටට වැදගත් දේවල් තියාගෙන හිටියා නම් එයා ජාතික වීරයෙක්. ඒත් වුණේ වෙන එකක්.

මේ දෙදෙනාට ඔබ වෛර කරනවාද? අනුකම්පා කරනවාද? 

මට නම් අනුකම්පාවක් නැහැ. ඒ වගේම වෛරයකුත් නැහැ. දැන් නම් යාළුකම් හිතවත්කම් වුණත් වැඩක් නැහැ. මම ඒ දෙන්නව හිතින් අයින් කරලා ඉවරයි.

එතකොට පියුමිට දුන්නා කියන ලක්ෂ 6? 

ඒක මම පොලිසි ගිහින් ලබාගන්න කටයුතු කළා. ඒක කොහොම හරි ගන්නවා. නීතිය හමුවට ගියේ ඒ නිසයි.

කවද්ද මේ ලක්ෂ 6 ගත්තේ? 

මීට අවුරුද්දකට විතර කලින්.

පොලිසියට ගිහින් පැමිණිලි කරන්න කලින් පියුමිව හමුවුණේ, කතා කළේ නැද්ද? 

කතා කළා. මම පැමිණිල්ල දාන්න යන බව ඇයට කිව්වා. හැබැයි මම දන්නේ නැහැ පියුමි කොහේ ඉන්නවද කියලා.

ඔබට රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා මුණගැසුණේ කොහොමද? 

මුලින්ම හමුවුණේ ඔහුගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වන වෙලාවේ. ඊට පස්සේ චන්දිමාල් ජයසිංහ මල්ලිගේ උපන් දින සාදයේදී හමුවුණා. ඊට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ මම ඔහුව හමුවෙන්න නුගේගොඩ උසාවිය ළඟට ගියා. එතැනදී කතා කළා. නමුත් ඔහු මඟහැර ගියා.

හඬපට සිද්ධියෙන් පස්සේ කතා කරන්න ලැබුණේම නැද්ද? 

පස් වතාවක් විතර කතා කළා. කතා කරලා මම ඇහුවේ ඇයි මෙහෙම මට කළේ කියලා. එතකොට ඔහු කිව්වා ඕක කාලෙට භාරදෙන්න. කාලය ඕවා විසදාවි. ඔයා වැරැදි කරලා නැහැනේ කියලා.

ඒ වෙලාවේ මම කිව්වා මම අපරාධකාරයෙක්, හොරෙක් නෙමෙයි නම් මට ඔයාලගේ හඩින් කියන හඬපටයක් මට දෙන්න කියලා. නමුත් ඔහු නැවත කිව්වා ඕවා කාලයට බාරදෙන්න මල්ලි කියලා. මම හරි එහෙම නම් මම ආපසු ඔයාට කතා කරන්නේ නැහැ අයියේ කියලා කිව්වා.

ඇයි ඔබ මේ සිදුවීම් අතරේ මහරගම ඔබේ නිවෙස අස්සක් මුල්ලක් නෑර වීඩියෝ කරලා යූටියුබ් එක හරහා පෙන්නුවේ? 

මේ සිදුවීම්වලින් පසුව ගොඩාක් අය ප්‍රචාරය කරන්න පටන් ගත්තා මම පැනලා ගිහින් කියලා. ඒක එහෙම නැහැ. මම ගෙදර ඉන්නව කියලා පෙන්වන්නයි මම ඒ වීඩියෝව කළේ.

ඔබ මේ සිදුවීමෙන් පසුව මානසිකව ඇදවැටුණද? 

නැහැ. ඩිංගක්වත් නැහැ. හැබැයි බොහෝදෙනෙක් මාව හමුවෙලා මේ ගැන කතා කළා. ඒ අය සල්ලිත් අරන් මේ කළ තිරිසන් වැඩේ ගැන තමයි ඔවුන් කතා කළේ. විවේචනය කළේ.

ප්‍රියාන් මැණික් ප්‍රසිද්ධ වෙලා හිටියේ නැතිබැරි අයට උදවු කරන කෙනෙක් හැටියටයි. මේ චෝදනා නිසා ඔබේ ප්‍රතිරූපය බිඳුණු බව සිතුණේ නැද්ද? 

නැහැ. ටිකක්වත් නැහැ. මට මඩ ගහලා මගේ ප්‍රතිරූපය බිඳින්න කාටවත් බැහැ. මිනිස්සු මා ගැන දන්නවා. මම නරක විධියට හැසිරිලා නැහැ.

මේ සිදුවීම්වලින් පසුව මම අභියෝග කළා හැමෝටම. පුළුවන් නම් ඇවිත් සාක්ෂි එක්ක මට විරුද්ධව තිබෙන චෝදනා කියන්න කියලා. මම සියදිවි නසාගන්නවා කිව්වා මේවා ඔප්පු කළොත්. ඒත් කවුරුත් ආවේ නැහැ.

පියුමි හංසමාලි එක්ක ඔබේ යාළුකම පටන් ගන්නේ කොහොමද? 

මට ඇයම තමයි අන්තර්ජාලය ඔස්සේ ඇරයුමක් එවලා හිතවත් වුණේ. මම ඇය එක්ක යාළුවෙන්න ගියේ නැහැ. මම ඇය කවුද කියලා බලාගන්න වීඩියෝ කෝල් එකකින් කතා කළා. ඒක තමයි අපේ මුල්ම යාළුකම. ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්.

එතකොට ලක්ෂ 6ක් ණයට දෙන්න තරම් හිතවත් වුණේ කොහොමද? 

දැන හඳුනාගත්තට පස්සේ අපි නිතර කතා කළා. මම ඇගේ උපන් දින සාදයටත් ගියා. පින්කම්වලදිත් මුණගැසුණා. ඇය කරන සමාජ සත්කාර වැඩවලටත් මම උදවු කළා. ඔන්න ඔය වගේ යාළුකමක් තමයි අපි අතර තිබුණේ.

පියුමි මුලින් කළ පින්කම්වලදි මම රෝද පුටු පවා අරන් දීලා තියෙනවා. පියුමි අම්මා කෙනෙක්. ඇය ඇගේ දරුවට ගොඩාක් ආදරෙයි. ඔන්න ඔය නිසාත් මම හිතුවා ඇය ඉතා හොඳ ගැහැනියක් කියලා. හොඳ මනුස්සයෙක් විධියට හිතුවා.

අනෙක චන්දිමාල් ජයසිංහත් මට ඇය ගැන කියා තිබුණා. මම ඒ විශ්වාසයෙන් තමයි ඇයව ඇසුරු කළේ. ණය මුදල දුන්නේ.

චන්දිමාල් ඔබේ හොඳ යාළුවෙක්ද? ඔහු මේ සිදුවීමෙන් පසුව මොනවද කිව්වේ? 

චන්දිමාල් මට කිව්වා ඕවා ගණන් ගන්න එපා කියලා. ඕවා වැඩකට නැති ඒවා කිව්වා. චන්දිමාල් මගේ හොඳ යාළුවෙක්. ඔහු දන්නවා මම කවුද කියලා.

පියුමි ඔබෙන් සල්ලි ගත්තේ ණයට. එහෙම නේද? 

ඔව්. මාසයකට රුපියල් 50,000 ගාණේ දෙන්නම් කියලා තමයි ගත්තේ. මම පොලිසියට ගිහින් ඉල්ලුවෙත් ඒ සල්ලි අරගෙන දෙන්න කියලයි. නොදුන්නොත් මම අනිවාර්යයෙන්ම නඩු මඟට යනවා.

ඔබ දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරනවද? 

ඔව්. ඇසුරු කරනවා. හැබැයි මට දේශපාලනයක් නැහැ. මට හැම පක්ෂයකම යාළුවෝ ඉන්නවා. දේශපාලනඥයෝ ඉන්නවා. මම කවදාවත් ඔවුන්ගෙන් උදවු අරන් නැහැ. හැබැයි මම උදවු කරලා තිබෙනවා.

පසුගිය කාලේ ඔබ දේශපාලනයට එන බවටත් රාවයක් තිබුණා. ජනාධිපතිවරණයට ඉල්ලන බවටත් ආරංචි පැතිරුණා? 

නැහැ. ඒවා නිකම් කතා විතරයි. මට කවදාවත් දේශපාලනයට එන්න අදහසක් නැහැ. හැබැයි සමාජ සේවය කරනවා.

මම නැවත අහනවා ඔබ වැරදි කරුවෙකු බවට හෙළි වුණොත් මොකද කරන්නේ? 

ඕනෑම දඬුවමක් විඳිනවා. බාරගන්නවා. ඒ වගේම ඒවා හරිහැටි ඔප්පු කර පෙන්වන කෙනාට රුපියල් බිලියනයක් ඒ මොහොතේම ලබාදෙනවා.

ඒ වගේම ඒක බොරුවක් වුණත් ඔප්පු කරන කෙනා මට මොනවද දෙන්නේ කියලත් මුලදිම කියන්න ඕනෑ. මේක මගේ අභියෝගයක්. පුළුවන්නම් මම වැරැදියි කියලා ඔප්පු කරලා පෙන්වන්න.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button