පළකල දිනය : Mon, Feb 10th, 2020

පෙම්වතා රවටා සල්ලි ගැරූ වෛද්‍ය සිසුවියක්

සරිදු මතුගම ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යපනයෙන් පසු ඔහු එම ප‍්‍රදේශයේම පවත්වාගෙන යන සන්නිවේදන ආයතනයකට සම්බන්ධ වූවේය. ඔහු වැඩ කිරීමට දක්ෂයෙකි. එලෙසම කාගේත් සිත් දිනාගත් පුද්ගලයකු ද විය. කලක් එහි සේවය කළ පසු සරිදුගේ දක්ෂතාවයන් හඳුනාගත් කළමනාකාරීත්වය ඔහුට උසස්වීමක් ද ලබාදුන්නේය. ඒ අනුව ඔහු එම ආයතනයේ ව්‍යපාර සංවර්ධන නිලධාරියකු ලෙස කටයුතු කළේය. කලක් එලෙස ගතවිය.

යෞවන වයසේ පසු වූ සරිදුට පෙම්වතියක් සිටියේය. අපි නමින් ඇය ශානි ලෙස හඳුන්වන්නෙමු. ඇය ද එම ප‍්‍රදේශයේම පදිංචි තරුණියකි. කලක සිට දෙදෙනා පෙමින් වෙලී සිටියහ. දුටුවන් වශි කරවනසුලූ රූපයක්් නොමැති වුවත් ශානි ලස්සන තරුණියකි. අමුතුම සිනහවක් ඇයගේ මුවගේ නිතරම රැඳී තිබුණි. සමහරවිට සරිදු ඇයට කැමතිවෙන්න ඇත්තේ එම නිසා වන්නට ඇත.

නිවැසියන්ට හොර රහසේ අවුරුදු කිහිපයක් ඔවුහු ආදරය කළහ. තවත් නිවැසියන්ට හොරා ආදරය කළා ඇති. එලෙස සිතූ ඔවුහු නිවැසියන්ට තම ආදර සම්බන්ධතාවය ගැන පැවසූහ. මෙයට ඔවුන්ගේ අකමැත්තක් ද නොතිබුණි. ඉන් මාස කිහිපයකට පසු මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්හ.

දැන් කිසිවෙකුටත් බිය විය යුතු නැත. කරදරයක් ද නොමැත. එම නිසා දෙදෙනා නිදහසේ ගමන් බිමන් ගියහ. විනෝද වූහ. කාලය එලෙස ගෙවි ගියේය. එහෙත් කලක සිට නොසිතූ ලෙස දෙදෙනා අතර අඬදබර ඇතිවන්නට පටන් ගත්තේය. කල් යත්ම එය වැඩිවන්නට පටන් ගත්හ. අවසානයේ දෙපැත්තේ වැඩිහිටියන්ට ද මෙයට මැදිහත් වීමට සිදු විය. එහෙත් ඵලක් වූයේ නැත.

කරන්න කිසිම දෙයක් නොමැති කල දෙදෙනාම තීරණයක් ගත්හ. ඒ ටික කලක් දුරස් වී සිටීමටයි. ඒ අනුව සිතූ ඔවුහු දුරස් වූහ. ශානි නිවසට වී තමන්ගේ පාඩුවේ සිටි අතර සරිදු සුපුරුදු පරිදි තම රැකියාව කරගෙන සිටියේය.

සරිදු තවම යෞවන වයසේය. හැඟීම් දැනීම් ද එලෙසය. එහෙත් අමාරුවෙන් හෝ ඔවුහු ඒවා පාලනය කරගැනීමට ලොකු උත්සහයක් දැරූහ. එහෙත් එය සිතන තරම් සාර්ථක නොවීය.

සරිදු රැකියාව කළේ කළුතරත් මතුගමත් අතර ප‍්‍රදේශයේය. දිනපතාම පාහේ ඔහුට බැංකු යෑමට ද සිදුවිය. වැඩිපුරම ඔහු ගියේ නාගොඩ ප‍්‍රදේශයේ පිහිටි බැංකුවකටයි. එම බැංකුවේ තරමක ලස්සන තරුණියක් සේවය කළේය. බැලූ බැල්මට ඇයගේ වයස අවුරුදු විස්සට අඩුය.ඒ වගේම ඇය බැංකුවට අලූත් අයෙකි.

දුටු මුල් දවසේම ඇය ගැන හැඟීමක් සරිදුගේ සිතේ ඇති විය. ඉන්පසු ඔහු එම බැංකුවට යන්නේ ඇය දැක ගැනීමේ අටියෙනි. ‘‘කසාදය යකාට ගියදෙන් කොහොම හරි මේ කෙල්ලත් එක්ක යාලූවෙනවා.’’ සරිදු දවසක් එලෙස සිතුවේය. ඒ අනුව ඔහු එම තරුණිය යාළු කර ගැනීමට අදිටන් කර ගත්තේය.

දිනපතාම එම බැංකුවට යන ඔහු එම තරුණිය සමග මිත‍්‍රත්වයක් ඇති කර ගැනීමට සමත් විය. සරිදු තමන් ගැන උනන්දුවක් දක්වන බව ඇයට හොඳාකාරව තේරුණාය. ඇය ද එයට යහපත් ප‍්‍රතිචාර දැක්කුවාය. සරිදුට ද එය තේරුණේය.

‘‘ඇයගේ අකැමැත්තක් නැහැ වගේ. කල් නොගොස්ම සිතේ තියෙණ දේ ඇයට පවසන්න ඕනා. ප‍්‍රමාද වුණොත් පසුතැවෙන්න වෙයි. කසාද බැඳපු ගෑණිට ඕන දෙයක් වුණ දෙන්. ඒකි යක්ෂණියක්. ඒ වගේ ද මේ කෙල්ල. දාහකින්වත් හොයා ගන්න බැහැ. පෙනුමෙනුත් අහිංසකයි’’ සරිදු නිතරම පාහේ එලෙස සිතුවේය.

දිනක් සරිදු සහ ඇය අතර දුරකථන සංවාදයක් ඇති විය. ඒ මෙලෙසින්ය.

‘‘සඳුනි මිස් මම කථා කරන්නේ සරිදු’’

‘‘ඔව් මම දන්නවා. කියන්න සරිදු මොකක්ද වෙන්න ඕනා.’’

‘‘මට මිස්ව පොඞ්ඩක් හම්බවෙන්න ඕනා.’’

‘‘මම බැංකුවේ ඉන්නේ. එන්න හම්බවෙන්න පුළුවන්’’

‘‘බැංකුවේදි හම්බවෙලා එක කියන්න බැහැ. මට මිස්ව එළියේදී හම්බ වෙන්න ඕනා. එක නිසා මට වේලාවක් කියන්න. ප්ලීස්.’’

‘‘මොකටද අනේ එළියේදි හම්බවෙන්නේ. දැන් කියන්න.’’

‘‘එහෙම කියන්න බැහැ. මිස් මට වෙලාවක් කියන්නකෝ.’’

‘‘හරි මම අද පහට ඕෆ් වෙනවා. ඔයා එන්න බැංකුව ළඟට.’’

‘‘හරි මිස් මම එන්නම්. බායි’’

‘‘බායි සරිදු’’

දුරකථන සංවාදය එලෙසින් අවසන් විය. සරිදු සිටියේ පුදුමාකාර සතුටකින්ය. හවස පහ වෙනතුරු ඔහුට ඉවසිල්ලක් නොමැති විය. වේලාව යන්නේ වෙනදාට වඩා හෙමින්දැයි ඔහුට සිතුණි. එදින ඔහුට රාජකාරිය ද අමතක විය.

නියමිත වේලාවටත් කලින් නියමිත ස්ථානයට සරිදු පැමිණියේය. සඳුනි ද පහ වන විට එම ස්ථානයට පැමිණියාය. ඉන් පසු සරිදු පැමිණි මෝටර් රථයට ඇය ගොඩ විය.

මෝටර් රථය තුළ බොහෝ දේ කතාවුණි. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ සඳුනි සරිදුට කැමැත්ත දීමයි. එතැන් පටන් දෙදෙනා ආදරය කරන්නට පටන් ගත්හ. දැන් සරිදුගේ එකම ලෝකය සඳුනිය. ඔහුට තම කසාද බිරිඳ පෙණුනේ නන්ද කුමරු නව දැලි හේනේ දුටු වැඳිරිය මෙන්ය.

සරිදු තම ජීවිතය, රැකියාව ආදි සියල්ල දෙවැනිකොට සඳුනිට ආදරය කළේය. කොටින්ම කියතහොත් ඇයගේ වියදම්වල සිට සියලූදේ සොයා බැලූවේ ඇයයි. අහිංසක පෙනුමක් තිබුණත් සඳුනි කට්ට කෛරාටික තරුණියකි. ඒ බව සරිදුට තේරුණේ නැත. ඔහු තම යහළුවන්ට පවා පැවසුවේ ‘‘මට බැංකුවක ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා. ඒකි පට්ට අහිංසකයි. ඒ වගේම බොක්කෙන්ම මට ආදරය කරනවා.’’ එහෙත් සඳුනි සිතුවේ මෙලෙසින්ය. ‘‘නියම කෙනෙක්නේ මට සෙට් වෙලා ඉන්නේ. ඇත්තටම පිරිමි ගැහැණුන්ට මෙච්චර වියදම් කරනවා කියලා දැන ගත්තේ සරිදුගෙන්. මගේ අනිත් ප‍්‍රශ්න ටිකක් මෙයාගෙන්ම ගොඩ දාගන්න පුළුවන්.’’

දිනක් සඳුනි, සරිදුට මෙලෙස පැවසුවාය.

‘‘අනේ සරිදු අපේ ගෙදර වැඩකට ලක්ෂ පහක් විතර ඕන වෙලා තියෙනවා. මට දැන්ම ලෝන් එකක් දාන්න බැහැ. ඒකට තව මාස දෙක තුනක් යයි. පුළුවන් නම් මට ලක්ෂ පහක් දෙන්න. මම ඔයාට ලෝන් එක දාලා දෙන්නම්.’’

‘‘ඒක ඔයා වදයක් කරගන්න එපා. මම සල්ලි දෙන්නම් ඔයාට’’ සරිදු පෙරලා එලෙස පැවසුවේය. හතර වටේ රෝලක් ගසා ඔහු ඒ ලක්ෂ පහ ද ඇයට දුන්නේය. මාස තුන හතරක් වන විට සරිදු ඇයට ලක්ෂ දහයකට අධික මුදල් ප‍්‍රමාණයක් වියදම් කර තිබුණි.

සඳුනි, සරිදුව ඇසුරු කළේ සැබෑ ආදරයකින් නොවේ. යටි සිතේ වෙනත් දෙයක් අරමුණු කර ගනිමින්ය. එහෙත් කිසි දිනක ඇය ඒ බව ඔහුට පෙන්නුවේ නැත. ඔය අතර කාලය තුළ ඇය සරිදු විවාහ ගිවිසගෙන සිටින තරුණිය ගැන සියලූ තොරතුරු ඉතා රහසිගතව සොයා ගත්තාය. කොටින්ම කියතහොත් ඇයගේ ජංගම දුරකථන අංකය පවා සඳුනි සොයා ගත්තාය. මේ කිසිවක් සරිදු දැන සිටියේ නැත.

‘‘සරිදු සමග සම්බන්ධය දැන් ඇති. වහාම එය නතර කර දැමිය යුතුය. ඒ තමන් වැරදිකාරයකු නොවන ලෙසටයි.’’ ඇය එලෙස සිතුවාය. ඒ අනුව ඇයගේ සිතේ තිබුණ සැලැස්ම කි‍්‍රයාත්මක කළාය. ඒ ඇයගේ ජංගම දුරකථනයට ඒවා තිබූ ආදර කෙටි පණිවුඩ සරිදු විවාහ ගිවිසගත් තරුණියට යැවීමෙන්ය.

එලෙස යවා ඇය තම ජංගම දුරකථනයෙන් සිම්පත ගලවා විසිකර දැමුවේ සියලූ දේ අවසන් කරමින්ය.

සඳුනි යැවූ කෙටි පණිවුඩ දුටු සරිදු විවාහ ගිවිසගත් තරුණිය වන ශානි යක්ෂාරූඪ වූවාය. ඇය සරිදුට දුරකථනයෙන් බැණ වැදුණේ සුද්ද සිංහල හෝඩියේ වචන ද භාවිතා කරමින්ය. එම අවස්ථාවේ සරිදු ඇය අසල සිටියා නම් ඒකාන්තයෙන්ම ගුටි කනු ඇත. ඒ තරම් අධික කේන්තියකින් යුතුවයි ඇය සිටියේ. සැබැවින්ම ඇයගේ කේන්තිය සාධාරණය.

විවාහ ගිවිසගත් තරුණියටත්, තමා රවටා පලා ගිය ආදරවන්තියටත් මැදිව සරිදු අසරණ විය. කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමටවත් නොහැකි විය. මෙම ප‍්‍රශ්නය තනියෙන් විසඳා ගැනීමට නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. තම සේවා ස්ථානයේ මිතුරන්ට එය පැවසිය යුතු යැයි ඔහු තීරණය කළේය.

රසික පතිරණ සරිදු සේවය කරන ආයතනයේම සේවය කරන තරුණයෙකි. රසික එම ආයතනයේ, ගමේ සහ අන් සැම තැනකම ප‍්‍රසිද්ධ වී ඇත්තේ ඕනැම අයකුගේ ප‍්‍රශ්නයක් විසඳීමට හැකි පුද්ගලයෙක් ලෙසයි. ඇත්තටම ඔහුට එලෙස හැකියාවක් තිබේ. සමහරු ඔහුට මහදැනමුත්තා කීවත් ඇත්තටම ඔහු මිනිසුන්ගේ ප‍්‍රශ්න තමන්ගේ කරගෙන විසඳුම් දෙන පුද්ගලයෙකි.

ඒ අනුව සරිදුට එක්වරම මතක් වූයේ රසික පතිරණයි. වහාම ඔහු තමා මුහුණ පා ඇති ගැටලූව රසිකට කිවේය. එය අසා රසික පැවසුවේ එක් දෙයකි. ‘‘ දැන් මේ ප‍්‍රශ්නය උඹේ විතරක් කියලා හිතන්න එපා. මේක මගේත් ප‍්‍රශ්නයක්. අපි මේක විසඳ ගමු. එච්චරයි.’’

රසික පළමුව සරිදු සමග ඔහු විවාහ ගිවිසගත් තරුණිය හමුවීමට ගියේය. එලෙස හමු වී පැය ගණනක් කරුණු පහදාදී බොහොම අමාරුවෙන් ඇයගේ සිත යම්තාක් දුරට සැදුවේය. එයින් සරිදුගේ සිතට යම් සහනයක් දැණුනි.

දෙවනුව ඔවුන් කළේ සඳුනි ගැන තොරතුරු සෙවීමයි. පළමුව ඇයගේ දුරකථන අංකය පරික්ෂා කර බැලූවේය. එය ලියාපදිංචි කර තිබුණේ වෙනත් අයකුගේ නමටයි. දෙවනුව ඇය සේවය කරන බැංකුවට ගියේය. එහිදී දැන ගන්නට ලැබුණේ එවැනි නමක් ඇති තරුණියක් නොමැති බවයි. තම සේවකයින් ගැන වැඩිදුර තොරතුරුදීමට එම බැංකුවේ නිලධාරින් අකමැති විය. එම නිසා ඒ තැනින් ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

තුන්වනුව ඔවුන් ඇයගේ නිවස සොයාගෙන යෑමට තීරණය කළේය. සරිදු සැමදිනම පාහේ ඇයව ගෙනත් බස්සන ස්ථානයට ගියේය. එම ස්ථානයේ විපරම් කළ බැලූව ද එවැනි තරුණියක් සොයා ගැනීමට නොහැකි විය. එයත් බොරුවක් බව ඔවුනට අවබෝධ විය. එහෙත් රසික ඇතුළු පිරිස උත්සහය අත හැරියේ නැත. අවසානයේ දින ගණනක් මහන්සි වී ඇය ගැන තොරතුරු සොයා ගත්තේය.

ඇයගේ නම සඳුනි නොවේ. එය බොරු නමකි. ඇය සරසවි වරම් ලබා වෛද්‍ය පිඨයට තේරුණ තරුණියකි. එම බැංකුවේ ඇය මාස හයක් සේවය කර ඇත්තේ සරසවි යෑමට පෙර පුහුණු පාඨමාලාවක් සඳහාය. ඇයගේ නිවස පිහිටා තිබුණේ සරිදුට පැවසූ ස්ථානයට කිලෝ මීටර් හතක් පමණ දුරින්ය.

කොටින්ම කියතහොත් ඇය ඉතා දක්ෂ රහස් පරීක්ෂක නිලධාරිණියක් විලසින් සරිදුව රවටා තිබුණි. වෛද්‍ය පීඨයට ඇතුළත් වූ මෙම තරුණිය මොනවයින් මොනවා කරයිද දන්නේ ඇයම පමණි.

ගයාන් සමරසිංහ
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button