පළකල දිනය : Mon, Mar 2nd, 2020

අපේ මිනිරන් වලින් හදන, බැටරි වතුර ප‍්‍රශ්නඅඩු ලොව පළමුවන බැටරිය.

තාක්ෂණික නවෝත්පාදනය සඳහා තීරණාත්මක සාධකය වන බුද්ධිමය සම්පත් වලින් අපේ රටට හිඟ කමක් නැත. ලොව පුරා විසිරී යමින් තම බුද්ධි මහිමයෙන් වැඩ ගන්නා ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනා ගැන අපට අසන්නට ලැබේ. ඒ මානව සම්පතින් අපටම වැඩ ගැනීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ ඒ බුද්ධිමය හැකියාවන්ට වැඞී වර්ධනය විය හැකි තාක්ෂණික පහසුකම් වලින් පිරුණු වටපිටාවක් සැකසීමයි.

මීට වසර ගණනාවකට පෙර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ජාතික විද්‍යා පදනම හරහා ශ‍්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය හෙවත් ස්ලින්ටෙක් (SLINTEC) ආයතනය බිහිකරන්නේ මේ දැඩි අවශ්‍යතාව හඳුනාගෙන එය සම්පූර්ණ කිරීමේ එක් උපායමාර්ගික පියවරක් වශයෙනි. මෙම ආයතනය

ගෙඩනංවනු ලබන්නේ ලෝකයේ වේගයෙන් වර්ධනය වෙමින් පවතින විෂය ක්ෂේත‍්‍රයක් වන නැනෝ තාක්ෂණයට අදාළ පර්යේෂණ හා සංවර්ධන ක‍්‍රියාවලීන්ට අවශ්‍ය ලොව ඉහළ පෙළේ තාක්ෂණික උපාංග ඇතුළු අනෙකුත් පහසුකම් සමගිනි. නැනෝ තාක්ෂණය රටේ තාක්ෂණික ආර්ථික ප‍්‍රගමනයට දායක කර ගැනීමේ ඉලක්කයෙන් බිහිවුනු මෙම ආයතනයේ මේ වන විට එහි අපේක්ෂිත ප‍්‍රතිඵල සාක්ෂාත් කරගැනීම අරඹා තිබේ. පසුගියදා ඒ පිළිබඳව අසන්නට ලැබුණු නවතම සුභාරංචිය වූයේ ලොව ප‍්‍රථම ග‍්‍රැෆීන් යෙදූ ලෙඞ් ඇසිඞ් බැටරිය ශ‍්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලැබීමේ පුවතයි.

මිනිරන් වලින් උපදින ග‍්‍රැෆීන්

2010 වසරේ භෞතික විද්‍යා නොබෙල් සම්මානය හිමිවන්නේ මැන්චෙස්ටර් සරසවියේ Andre Geim ට හා Konstantin Novoselov ට ය. ඒ මිනිරන් වලින් සාර්ථකව ග‍්‍රැෆීන් වෙන් කරගනිමින් එහි ගුණාංග ලොවට හඳුන්වා දීම වෙනුවෙනි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසා භාවිත කළ අපට හුරුපුරුදු මිනිරන් හෙවත් ග‍්‍රැෆයිට් සැකසී තිබෙන්නේ කාබන් ස්ථර ගණනාවක් එක්වීමෙනි. මිනිරන් ඇල්ලූ විට පතුරු ලෙස වෙන්වී යනු දකින්න ලැබෙන්නේ ද මේ හේතුවෙනි. මේ මිනිරන් පතුරු එකිනෙක ඈත් කරමින් එහි ඉතාමත් සියුම් ස්වභාවය නිරීක්ෂණය කිරීමට උත්සාහ කළහොත් දැකිය හැකි වන්නේ එය එක් කාබන් පරමාණුවක උසින් යුත් ෂඩාශ‍්‍රාකාර මී වදයක හැඩැති කාබන් ව්‍යුහ වලින් සමන්විත බවයි. මිනිරන් වල මේ මූල කාබන් ව්‍යුහය හැඳින්වෙන්නේ ග‍්‍රැෆීන් නමිනි.

ග‍්‍රැෆීන් වල ඇති මෙම සුවිශේෂී ව්‍යුහය නිසාම එය සැහැල්ලූ භාවයෙන් හා ශක්තිමත් භාවයෙන් ඉතා ඉහළ වෙයි. එමෙන්ම එහි විද්‍යුත් හා තාප සන්නයන ගුණ ද ඉතා ඉහළය. එපමණක් නොව රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා පහසුවෙන් නිරාවණය නොවන එය ඉතා ආසන්න වශයෙන් විනිවිද පෙනෙන සුළු ද වේ.

මේ අපූරු ගති ලක්ෂණ නිසා පවතින සහ නව යෙදුම් ගණනාවකට ග‍්‍රැෆීන් අමුද්‍රව්‍යයක් ලෙස සාර්ථකව යොදා ගැනීමට හැකියාව ඇත. ශක්තිමත් බවින් මෙන්ම සැහැල්ලූ බවින්ද ඉහළ ගුවන් යානා නිෂ්පාදන ද්‍රව්‍ය, විනිවිද පෙනෙන – නම්‍යශීලී ස්පර්ශක තිර (flexible touch screens), ස්වයංව බලය ජනනය කරන සංවේදක සහිත ඇඳුම් (smart textiles) ආදිය එයට උදාහරණ කිහිපයකි. ලොව පුරා පර්යේෂකයන් ගණනාවක් ග‍්‍රැෆීන් භාවිතයෙන් විවිධ නිෂ්පාදන බිහිකිරීමේ උත්සාහයේ අඛණ්ඩව නිරත වී සිටිති. මෙම නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැනට ඇති ප‍්‍රධාන අභියෝගයක් වන්නේ වාණිජ වශයෙන් භාවිත කළ හැකි පරිදි විශාල පරිමාණයෙන් පිරිසිදු ග‍්‍රැෆීන් නිපදවීමයි.

හොඳම ග‍්‍රැෆීන් අපේ ක‍්‍රමයට

පර්යේෂණාගාර තුළ ග‍්‍රැෆීන් නිපදවිය හැකි විවිධ ක‍්‍රම තිබුණත් ඒවා වාණිජව භාවිත කළ හැකි පරිදි මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇත්තේ මිනිරන් මගින් ඒකපරමාණුක ස්ථර ගලවා ගැනීම මගිනි. මෙලෙස ග‍්‍රැෆීන් නිපදවා ගැනීම සඳහා විවිධ ක‍්‍රම ලොව පුරා පර්යේෂකයන් භාවිත කරන අතර SLINTEC හි පර්යේෂකයන් මේ සියලූ ක‍්‍රම අභිබවා රසායන ප‍්‍රතිකාර කිරීමෙන් සාර්ථකව ග‍්‍රැෆීන් නිෂ්පාදනය කර ගත හැකි නව ක‍්‍රමයක් බිහි කර තිබේ. ඔවුන් මේ සඳහා ඇමෙරිකාවේ පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම ග‍්‍රැෆීන් වල ගුණාත්මක බව ඉතා ඉහළ වීමයි. ග‍්‍රැෆීන් අන්තර්ගත ලෙඞ් ඇසිඞ් බැටරි නිපදවීමේ කතන්දරයේ තීරණාත්මක සංසිද්ධස්ථානය වන්නේ මෙම හැකියාවයි. SLINTEC ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන මෙම බැටරි නිෂ්පාදනයට මුල්වූ ග‍්‍රැෆීන් නිපදවීම පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ නායකයා ලෙස ක‍්‍රියා කළ විමුක්ති ජයවීර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” ග‍්‍රැෆීන් වල ගුණාත්මක භාවය අපි සාමාන්‍යයෙන් මනින්නේ ඒකක බරකට පවතින පෘෂ්ඨීය වර්ගඵලයෙන්. අපි ඒකට BET කියන ක‍්‍රමය භාවිත කරනවා. තනි පරමාණු ස්ථරයක් සහිත පිරිසිදු ග‍්‍රැෆීන් වල තිබිය යුතු න්‍යායාත්මක BET අගය ග‍්‍රෑමයකට වර්ග මීටර 2600ක්. (2600m2g-1) ප‍්‍රායෝගිකව මේ අගයට සමීප වීම අපහසු දෙයක්. නමුත් ලෝකය පුරා නිෂ්පාදනය කරන ග‍්‍රැෆීන් බොහෝමයක මෙම අගය පවතින්නේ ඉතා පහළ මට්ටමකයි. අපි ලෝකය පුරා නිෂ්පාදකයන්ගෙන් ග‍්‍රැෆීන් සාම්පල ගෙන්නගෙන බැලූවා. ඒවා සමහරක් පවතින්නේ 25 ක් 50 ක් වගේ අගයකයි. අපට හමුවුන ඉහළම ගුණාත්මක බවක් සහිත ග‍්‍රැෆීන් වල පෘෂ්ඨික වර්ගඵලය පැවතුනේ 200 ත් 300 ත් අතර අගයකයි. නමුත් අපිට මෙම අගය 850 ක් (850 m2g-1) වන තරම් ඉහළ ගුණාත්මක බවකින් යුතුව ග‍්‍රැෆීන් නිෂ්පාදනය කිරීම කළ හැකි ක‍්‍රමවේදයක් ගොඩනගන්න පුළුවන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ග‍්‍රැෆීන් වල කාබන් ලේයර් තුනකට වඩා අඩුයි කියලා කියන්න පුළුවන්.”

ශ‍්‍රී ලංකාවේ කහටගහ පතල, බෝගල පතල ආදී මිනිරන් පතල් ගණනාවක් තිබේ. මේවායෙන් උකහාගන්නා මිනිරන් ඉතා ඉහළ තත්ත්වයෙන් යුතු ඒවා වෙයි. මෙම මිනිරන් වෙනත් රටවලට අපනයනය කෙරෙන්නේ විවිධ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ලෙසිනි. මාසිකව මෙලෙස නිෂ්පාදනය කරනු ලබන මිනිරන් ප‍්‍රමාණය ටොන් 300 ක් පමණ වේ. නමුත් මෙම මිනිරන් ග‍්‍රැෆීන් බවට පරිවර්තනය කර අපනයනය කළ හැකි නම් එමගින් ලබා ගත හැකි අපනයන ආදායම දහස් ගණනින් ගුණනය කර ගත හැකි බව විමුක්ති ජයවීර මහතා පෙන්වා දෙයි. මින් පෙනී යන්නේ තාක්ෂණය හා බුද්ධිය මනා ලෙස කළමනාකරණය කළ විට ප‍්‍රමාණයෙන් කුඩා රටක් වුව ද අප සතුව ඇති සම්පත් වලින් ඉහළ ප‍්‍රතිඵල නෙලා ගත හැකි බවයි.

”සාමාන්‍යයෙන් මිනිරන් නැත්නම් ග‍්‍රැෆයිට් අලෙවි කෙරෙන්නේ කිලෝග‍්‍රෑමයක් ඇමෙරිකානු ඩොලර් 4 ක් වගේ අගයකට නමුත් ග‍්‍රැෆීන් කිලෝග‍්‍රෑමයක මිල ඇමෙරිකානු ඩොලර් 5000 ක් වගේ අගයක් වනවා. මේ පරිවර්තනය අඩු මිලකට ප‍්‍රායෝගිකව කළ හැකි බව මේ වන විට අපි පෙන්වලා තියෙනවා. මේ හරහා අපිට විශාල විදේශ විනිමයක් උපයා ගන්න පුළුවන්.”

සාර්ථකව වාණිජ වශයෙන් ග‍්‍රැෆීන් නිපදවිය හැකි ක‍්‍රමයක් සොයා ගැනීමෙන් පමණක් සෑහීමට පත් නොවන SLINTEC පර්යේෂණ කණ්ඩායම එය ප‍්‍රායෝගිකව භාවිතා කළ හැකි නවමු යොදාගැනීම් ගණනාවක් ඔස්සේ පර්යේෂණ කටයුතු දියත් කර තිබේ. තාක්ෂණික මෙවලම් වල භාවිත කළ හැකි සියුම් සංවේදක (Sensors), මල නොබැඳෙන තීන්ත (Anti corrosion paint), තෙල් අවශෝෂණය කරගන්නා පිරිසිදු කාරක (Oil absorbent), පහසුවෙන් ජලය පිරිසිදු කළ හැකි පෙරහන් (Water filters), අධි ධාරිතාවකින් යුත් ධාරිත‍්‍රක (Super capacitors), ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු සූර්ය කෝෂ මේ අතර ඇති ව්‍යාපෘති කිහිපයකි. බැටරි සඳහා ද ග‍්‍රැෆීන් භාවිත කිරීමට ඇති හැකියාව සොයා බැලෙන්නේ මෙහි එක් අදියරක් ලෙසය.

බැටරි තුළට යන ග‍්‍රැෆීන්

2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ බැටරි නිෂ්පාදන සමාගමක් වන ABM (Associated Battery Manufacturers (Ceylon) Ltd) සමාගම SLINTEC ආයතනය සමග ව්‍යාපෘතියක් දියත් කරන්නේ ලෙඞ්-ඇසිඞ් බැටරි වල කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ දැමීමට නව ක‍්‍රමවේදයක් සෙවීමේ අදහසිනි. අප එදිනෙදා භාවිත කරන මෝටර් රථ, බස් රථ, ත‍්‍රීවීල් රථ, මෝටර් සයිකල් ආදී සියලූම වාහන වල එන්ජිම පණ ගැන්වීමට යොදා

ගැනෙන්නේ ලෙඞ්ඇසිඞ් බැටරියයි. මෙය ලෙඞ් ඇසිඞ් බැටරිය ලෙස හඳුන්වන්නේ එය සැකසී ඇත්තේ සල්ෆියුරික් අම්ල මාධ්‍යයක් තුළ ගිල්වූ ලෙඞ්ඔක්සයිඞ් කැතෝඩ හා ඇනෝඩ වලින් යුත් කෝෂ වලින් වන බැවිනි. මේවායේ ඇති අවේණික ගැටලූ පිළිබඳව විමුක්ති මහතා පැහැදිලි කරන්නේ මෙලෙසිනි.

”බැටරිය භාවිතයට ගනිද්දී ඇනෝඞ් එකේ ලෙඞ් ඔක්සයිඞ් වලින් ලෙඞ් සල්ෆෙට් හැදෙනවා. ආපහු ආරෝපණය කරද්දී මේ ලෙඞ් සල්ෆෙට් ආපහු ලෙඞ් ඔක්සයිඞ් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි බැටරියේ සාමාන්‍ය ක‍්‍රියාවලිය.

නමුත් කාලයක් බැටරිය පාවිච්චි කරද්දි මේ ලෙඞ් සල්ෆේට් ගොඩක් ලොකු ස්ඵටික (Crystalline lead oxide) විදිහට හැදෙන්න පටන් ගන්නවා. එකෙන් වෙන්නේ ඒවා නැවත ලෙඞ් ඔක්සයිඞ් බවට පරිවර්තනය වෙන එක අඩු වෙන එකයි. ඒ වගේම මේ ලෙඞ්සල්ෆෙට් ස්ඵටික ඇනෝඩයේ පෘෂ්ඨය වටා බැඳීම නිසා ඇනෝඩය ඇතුළේ තියෙන ලෙඞ්ඔක්සයිඞ් වලටත් බැටරියේ ප‍්‍රතික‍්‍රියා වලට සම්බන්ධ වෙන්න තියෙන සන්නයන මාර්ග ඇහිරෙනවා. මෙන්න මේකේ ප‍්‍රතිඵලයක් විදිහට කාලයක් ගත වෙද්දි බැටරියේ ධාරිතාව අඩුවෙනවා වගේම ආරෝපන විසර්ජන ක‍්‍රියාවලියත් මන්දගාමී වෙනවා. ඒ වගේම බැටරියේ ආයු කාලයත් මේකෙන් අඩු වෙනවා. ඒත් එක්කම තවත් කාරණයක් තමයි අඩු වෝල්ටීය අන්තරයක් පවතිද්දී අම්ල මිශ‍්‍රණයේ පවතින ජලය හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් බවට විද්‍යුත් විච්ෙඡ්දනය වෙලා වාෂ්ප වෙලා යන එක. අපිට සැරින් සැරේ බැටරි වලට වතුර දාන්න සිද්ධවෙන්නේ මේ නිසයි.”

මෙම ගැටලූවලට විසඳුමක් ලෙස පර්යේෂකයන් උත්සාහ කර ඇත්තේ බැටරියේ ඇනෝඩයේ සංයුතිය වෙනස් කිරීමටයි. ඇනෝඩය සකසනු ලබන ලෙඞ් ඔක්සයිඞ් වලට වෙනස් ගුණ ඇති කාබන් ප‍්‍රභේද වන කාබන් බ්ලැක්, කාබන් ෆයිබර්, කාබන් නැනෝ ටියුබ් වැනි ද්‍රව්‍ය විවිධ අනුපාත වලින් එක් කිරීමෙන් ඔවුන් ඇනෝඩයේ ගුණාංග වෙනස් වන අයුරු අත් හදා බලා තිබේ. ග‍්‍රැෆීන් වල ඇති විස්ම ගුණයන් ලෙඞ් ඇසිඞ් බැටරි වල ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳවද පර්යේෂකයන්ගේ අවධානය යොමු වන්නේ මේ ක‍්‍රියාවලියේ එක් අදියරක් ලෙසය. එලෙස සාමාන්‍ය බැටරි ඇනෝඩයට ග‍්‍රැෆීන් ස්වල්පයක් එක් කළ විට ලැබී ඇත්තේ අති විශිෂ්ට ප‍්‍රතිඵලයකි.

”මේක සිද්ධවෙන්නේ මුළු ඇනෝඩය පුරා විහිදිලා තියෙන ග‍්‍රැෆීන් අංශු ලෙඞ්සල්ෆයිඞ් වලට හැදෙන්න න්‍යෂ්ටිකරණ ස්ථාන විදිහට ක‍්‍රියා කරන නිසයි. මේ නිසා එක්තැනක ලෙඞ්සයිෆයිඞ් එකතුවෙලා ලොකු ස්ඵටික හැදෙන්නේ නැතිව පෘෂ්ටය පුරාම තැනින් තැන කුඩා ලෙඞ්සල්ෆයිඩ ස්ඵටික හැදෙනවා. මේවායේ ප‍්‍රමාණය කුඩාවීම නිසාම නැවත ආරෝපනයේ දී පහසුවෙන් වෙන් වෙලා යනවා. ඒ වගේම ග‍්‍රැෆීන් ඉතා හොඳ විද්‍යුත් සන්නයන ගුණ පෙන්වන නිසා අනෙකුත් ලෙඞ් ඔක්සයිඞ් වලට ප‍්‍රතික‍්‍රියා කරන්න තියෙන සන්නයන මාර්ග අවහිර වෙන්නේත් නැහැ. මේ නිසා බැටරිය සාමාන්‍ය බැටරියකට වඩා තුන් ගුණයක් ඉක්මණින් ආරෝපණය වෙනවා වගේම බැටරියේ ආයු කාලයත් ඉතා විශාල වශයෙන් ඉහළ යනවා. ඒ පස් ගුණයකින් හෝ ඊටත් වඩා දහ ගුණයකින් පමණ විය හැකියි. ඒ වගේම ග‍්‍රැෆීන් එක් කළ බැටරිවල ජලය ඉවත්වීම 35 % කින් 50% කින් පමණ අවම වන වනවා. ඒකත් විශාල වාසියක්. ”

බැටරියක ආරෝපණ වේගය ඉහළ යෑම, ආයු කාලය ඉහළ යෑම හා නඩත්තුව අඩුවීම පාරිභෝගිකයන්ට ඉතා වාසි දායක කරුණු බව අමුතුවෙන් කිව යුතු නැත. එපමණක් නොව ග‍්‍රැෆීන් හා ලෙඞ්ඇසිඞ් බැටරියේ මේ එකමුතුව පරිසරය මත ද ඇති කරන්නේ විශාල සහනයකි. ලෙඞ් පරිසරයට එක්වීම මගින් ස්වභාවික ජීව පද්ධතීන්ට විශාල හානියක් සිදුවෙයි. සාමාන්‍ය බැටරියක් මෙන් පස් ගුණයක් ආයු කාලයක් ඇති බැටරියක් භාවිතයට ගැනීම යනු බැටරි හරහා පරිසරයට එක්වන ලෙඞ් ප‍්‍රමාණය පහෙන් එකක් දක්වා අඩුවීමකි. එමෙන්ම කාර්යක්ෂමතාව ඉහළ යෑමත් සමග එක් බැටරියක් තුළ අන්තර්ගත කළ යුතු ලෙඞ් ප‍්‍රමාණය අඩුවේ. මෙය එක් අතකින් පරිසරයට ලෙඞ් එකතුවීම තවදුරටත් අඩු කරන අතර අනෙක් අතට මේ හේතුවෙන් බැටරියේ බර අඩුවේ. මේ හරහා සමස්ත වාහනයේ බර පහළ යන අතර එමගින් ඉන්ධන පිරිමැසීම නිසා නැවත පරිසරයට අත්වන්නේ ප‍්‍රතිලාභයකි.

කෙසේවෙතත් ග‍්‍රැෆයිට් වලින් ග‍්‍රැෆීන් වෙන් කර ගැනීමේ රසායනික ක‍්‍රියාවලිය තුළදී ද ඕනෑම රසායනික නිෂ්පාදන ක‍්‍රියාවලියක මෙන් අහිතකර රසායනික ද්‍රව්‍ය අතුරු ඵල ලෙස නිපදවීම සිදුවේ. නමුත් පර්යේෂකයන් තම ග‍්‍රැෆීන් නිෂ්පාදන ක‍්‍රියාවලිය ගෙඩනගා ඇත්තේ එම අහිතකර රසායන ද්‍රව්‍ය පූර්ණ වශයෙන් රසායනික ප‍්‍රතිකාරකිරීම් වලට ලක්කර පරිසරයට කිසිදු හානියක් නොමැති ඒවා ලෙස මුදාහැරීමට වග බලාගනිමිනි.

විද්‍යාගාරයෙන් කර්මාන්තශාලාවට

මෙම පර්යේෂණ සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරදීමෙන් පසුව SLINTEC පර්යේෂකයන් ග‍්‍රැෆීන් කිලෝග‍්‍රෑම් 1.6 ක් නිපදවා තිබේ. ඒවා භාවිත කරමින් වෝල්ට් 12 ලෙඞ්ඇසිඞ් බැටරි 200 ක් නිපදවා ඒවා වාහන වලට යොදා ප‍්‍රායෝගිකව අත්හදා බැලීමට ABM Ceylon සමාගම කටයුතු කර තිබෙන්නේ ඉන් අනතුරුවය. ඒවා ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කර දී ඇති අතර මහා පරිමාණයෙන් බැටරි නිෂ්පාදනය සඳහා ග‍්‍රැෆීන් අමුද්‍රව්‍යයක් ලෙස වාණිජ මට්ටමෙන් ලබාගැනීමට හැකි වන පරිදි කර්මාන්ත ශාලාවක් බිහි කරගැනීමේ අවශ්‍යතාව පැනනගින්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි.

නවෝත්පාදනයෙන් බැබලෙන ලංකාවක්

ග‍්‍රැෆීන් පාදක කරගනිමින් වැඩි දියුණු කරන ලද ලෙඞ් ඇසිඞ් බැටරියක් මෙලෙස නිපදවන්නේ මුළු ලෝකයෙන්ම ප‍්‍රථම වතාවටය. තාක්ෂණිකව අපට වඩා ඉදිරියෙන් සිටින්නේ යැයි කියන කිසිදු රටක් තවමත් ග‍්‍රැෆීන් අන්තර්ගත ලෙඞ් ඇසිඞ් බැටරියක් වෙළඳ පොළට හඳුන්වා දී නැත. එය බැටරි සම්බන්ධව එක්ව කටයුතු කරන අන්තර්ජාතික ප‍්‍රජාවගේ අවධානයට හා පිළිගැනීමට ලංකාව පත් කිරීමට හේතු වී ඇති අතර එය තව තවත් ග‍්‍රැෆීන් පාදක නිෂ්පාදන සඳහා විදේශ ආයෝජකයන්ගේ අවධානය ලංකාව වෙත යොමු කරවනු ඇත.

එමෙන්ම මෙහිදී කිව යුතු තවත් විශේෂ කරුණක් වන්නේ මේ වැඩිදියුණු කිරීමත් සමග මේ සාමාන්‍ය ලෙඞ් ඇසිඞ් බැටරිය දෙමුහුම් වාහන ඇතුළු නවතම සුඛෝපභෝගී වාහන පැනගැන්වුම සඳහා යොදාගනු ලබන ISS (Idle-Stop-Start) යන මිලෙන් අධික බැටරි කාණ්ඩයටද ඇතුළු වන පරිදි එහි ක‍්‍රියාකාරිත්වය ඉහළ යන බවයි. එබැවින් ඒ සඳහා ඇති ඉල්ලූම තවත් පුළුල් වනු ඇත.

ලංකාවේ පර්යේෂණාගාර තුළ සිදු වූ පර්යේෂණ හරහා සාර්ථක වාණිජ නිෂ්පාදනයක් වෙළඳ පොළට පැමිණීම රටක් ලෙස අප සියලූ දෙනාට අභිමානයට පත් විය හැකි කරුණකි. අපේ රටේ ආර්ථිකය කෙටි කාලයක් තුළ බල ගැන්වීමට හැක්කේ මෙම ක‍්‍රියාවලිය තව තවත් ශක්තිමත් කිරීමෙන් පමණි. විමුක්ති ජයවීර මහතා පෙන්වාදෙන්නේ පර්යේෂකයන්ගේ පර්යේෂණවල සොයාගැනීම් ප‍්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා එම තාක්ෂණික ක්ෂේත‍්‍රවල කර්මාන්ත ලංකාවේ නොමැති වීම විශාල අඩුපාඩුවක් බවයි. එබඳු අවකාශයන් ඇති කර ගත හැකි නම් අපේ රටේ පර්යේෂණ ක‍්‍රියාවලිය හා වාණිජ නිෂ්පාදන ක‍්‍රියාවලිය අතර දැනට පවතින බාධකය බිඳ දැමීම පහසු වේ. සුපිරි ගුණ ඇති බැටරි වලින් නොනැවතී තවත් බෙහෝ සුපිරි නිර්මාණ ලොවට බිහිකිරීමට එමගින් අපට හැකිවනු ඇත. එබැවින් ඒ සඳහා ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දීමට කටයුතු කිරීම රජයේ වගකීමකි. එලෙස අනුග‍්‍රහය දක්වා අපේ රටේ ඇති සම්පත් හා අපේ රටේ ඇති බුද්ධි මහිමය මනා ලෙස කළමනාකරණය කළහොත් ලෝකයේ දියුණු රටක් බවට ලංකාව පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

දමිත නිපුණජිත්

විශේෂ ස්තූතිය
SLINTEC ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය නුවන් ඩි සිල්වා මහතාට

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button