පළකල දිනය : Sun, Mar 8th, 2020

අපේ රටේ මැණික් නිධියෙන් තාමත් අරගෙන තියෙන්නේ අරික්කාලයි

ලොව වටිනාම මැණික් උපදින්නේ අපේ රටේය. මෙරට මැණික්වලට ජාත්‍යන්තරයේ ඇති ඉල්ලූම තවමත් හීන වී නැති බව සැබෑය. ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තරමට අපේ මැණික් ලෝකයට වටින්නේය. එමෙන්ම මැණික් කර්මාන්තය හරහා විශාල විදේශ විනිමයක් ද රටට ගලා එන්නේය. මෙරට අපනයන වෙළෙඳපොළේ ඩොලර් උපයන කර්මාන්ත අතර මැණික් කර්මාන්තයට හිමි වන්නේ අටවැනි ස්ථානයයි. එමෙන්ම මැණික් කර්මාන්තය හරහා රට පුරා විශාල රැුකියා ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇති බව ද සැබෑය. මේ රන් පොළවේ උපදින මිණි කැට රටට සම්පතක් වී ඇත්තේ එසේය.

එහෙත් මෙරට පතල් හා මැණික් කර්මාන්තය තවමත් ක‍්‍රියාත්මක වන්නේ යල් පැන ගිය සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ටය. මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයින් අතළොස්සක් සැප විඳිද්දී, කර්මාන්තයේ බහුතරය දුක්විඳින්නේ එහෙයිනි. එහෙත් දැන් මෙරට මැණික් කර්මාන්තය ඒ අවාසනාවන්ත යුගයේ අවසාන කාලපරිච්ෙඡ්දයට පැමිණ ඇති බව පෙනේ. මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයන්ට යහපත් කල දසාවක් උදාවෙමින් තිබෙන බව සැබෑය.

කාලයත් සමඟ යල් පැන ගොස් ජරාජීර්ණ වී ගිය පතල් කර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දෙමින්, බලපත‍්‍ර ලබාගැනීමට ඇති නීති රීති ලිහිල් කරමින් පතල්කරුවන්ට උපරිම සහන ලබාදෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ගාමිණී ජයනන්ද වලේබොඩ මහතා පසුගිය දිනක අපට කීවේය. එමෙන්ම මෙරට ගෘහස්ත ස්වර්ණාභරණ කර්මාන්තය නඟාසිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන බව ද ජයනන්ද මහතා අප සමඟ පැවසීය. එම ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් වී ඇති ආකාරය මෙන්ම, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයන් වෙලාගෙන තිබෙන බොහෝ ගැටලූ ගැන අපි ඔහු සමඟ කතාබහ කළෙමු. පහතින් පෙළගැසෙන්නේ එම සාකච්ඡුාවේ සංක්‍ෂිප්තයකි.

‘‘පතල් කර්මාන්තයේ නියාමන අධිකාරිය විදිහට මේ වෙනකම් කටයුතු කරලා තියෙන්නේ පනතේ පැවරී තිබෙන බලතල ප‍්‍රකාරව. ඒ බලතලවලට අනුව පර්යේෂණ කරලා අලූතින් මැණික් ඉල්ලම් සොයාගන්න තියෙන ඉඩකඩ අඩුයි. සම්බාධක වැඩියි. මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීමට ප‍්‍රථමයෙන් පවතින නීති රීති සංශෝධනය කරන්න ඕනෑ. දැනටමත් අපි ඒ නීති මාලාව සංශෝධනය කරගෙන යනවා. මෙච්චර කාලයකට සිදු වුණේ මිනිස්සු සොයාගන්න මැණික් ඉල්ලම්, මැණික් සංස්ථාව අත්ප

ත් කරගෙන වෙන්දේසි කරන ඒක හෝ සීමා පැනවීම. එම ක‍්‍රමය වෙනස් කරලා මැණික් සංස්ථාව විසින් මැණික් ඉල්ලම් ගවේෂණය කරන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ සොයාගන්නා මැණික් ඉල්ලම් කැණීම් කරන වැඩපිළිවෙළකුත් හඳුන්වා දෙනවා. මැණික් කර්මාන්තයේ පවතින නීති සංශෝධනය වෙච්ච හැටියේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා…’’

‘‘ඒ වගේම අපේ රටේ බහුලව මැණික් ලැබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන්. එම දිස්ත‍්‍රික්කය තමයි මෙරට වැඩිපුරම ඉඩම් ආරවුල් තියෙන දිස්ත‍්‍රික්කය බවට හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම නිරවුල් නොවූ ඉඩම් බහුලව තියෙන්නෙත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ. විහාර දේවාල පනත යටතේ ඉඩම් තියෙනවා. පන්සල්වලට, දේවාලවලට අයිති ඉඩම් වගේම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් තියෙනවා. මහවැලි අධිකාරියට අයිති ඉඩම් තියෙනවා. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තියෙනවා. මේ ආයතනවලට අයිති ඉඩම්වල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. ඒත් ඒ මිනිස්සු පදිංචි ඉඩම්වලට තවම අයිතියක් නෑ.

මැණික් සංස්ථාවේ පනතට අනුව පතල් කැණිම් කිරීමට අදාළ ඉඩමේ තුනෙන් දෙකක අයිතියක් තියෙන්න ඕනෑ. රත්නපුරේ තියෙන බොහෝ ඉඩම්වලට තුනෙන් දෙකක අයිතියක් නෑ. ඒ ඉඩම් ගැටලූ නිරාකරණය වන ආකාරයට අපේ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඒ වගේම පහුගිය කාලය පුරාවටම බදු ඉඩම්වලට පතල් කැණීම් බලපත‍්‍ර නිකුත් කළා. ඒත් පනතේ ගැටලූසහගත තත්ත්වයක් මතුවීමත් එක්ක මෑතක ඉඳලා බදු ඉඩම්වලටත් බලපත‍්‍ර නිකුත් කරන්නෙ නෑ. බදු ඉඩම්වලටත් නැවත කැණීම් බලපත‍්‍ර ලබාදීමට අදාළ නීති සංශෝධනය කරලා ගැසට් කරන්න දැන් අපි කටයුතු කරලා තියෙනවා. තව සතියක්, දෙකක් යනකොට ඒ ගැටලූව නිරාකරණය වෙයි කියලා මම විශ්වාස කරනවා…’’

‘‘මේ නීති රීති ලිහිල් කරන්නේ නැතිව මැණික් කර්මාන්තය දියුණු කරන්න බෑ. ඒත් අදාළ පනතේ නීති ලිහිල් කරනු ලබන්නේ පරිසර සංරක්‍ෂණ, ආරක්‍ෂණ නීති රීති දැඩි කරමින්. ඉදිරියේදී පතල් කැණීම් සිදු කරගෙන යන්න ඕනෑ පරිසර සංරක්‍ෂණයක් සහිතව පොදු දේපළ ආරක්‍ෂා කරමින් උපරිම ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින්. පතල්වලට බිලි වෙලා මිනිස් ජීවිත නැති වෙන්න බෑ. කැණීම් සිදු කරන ස්ථානයට සතෙකුටවත් කිට්ටු වෙන්න බැරි විදිහට ආරක්‍ෂිතව ආවරණය කිරීමට අපි නීති හඳුන්වා දෙනවා. දැනටත් පනතේ නීතිවලට අනුව මැණික් පතලක් වටේට අඩි පහක් උසට ආරක්‍ෂිත වැටක් ඉඳිකරන්න ඕනෑ. ඒත් බොහෝ මැණික් කැණීම්වලදී ඒ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වගේම කැණීම් සිදු කර අවසාන වූ පසු කණිනු ලැබූ පතල පස් පුරවලා වහන්න ඕනෑ. එහෙම වහන්නේ නැති පතල් වහන්න අවශ්‍ය වියදම බලපත‍්‍රය නිකුත් කරනකොටම අධිකාරිය විසින් තැන්පතුවක් විදිහට තියාගන්නවා.

ඒත් අදාළ පාර්ශව දෙකෙන්ම ඒ කටයුත්ත සිද්ධ නොවෙන අවස්ථා තියෙනවා. ඒ තියෙන්නේ නිමාවට පත් නොවිච්ච පතල් වෙන්නත් පුළුවන්. බලපත‍්‍රය අහෝසි වෙච්ච පතල් වෙන්නත් පුළුවන්. ඉදිරියේදී නිවැරැුදිව පතල් කැණීම් අධීක්‍ෂණය කර, බලපත‍්‍ර කාලසීමාව අවසාන වෙච්ච සියලූ පතල් වහන්න අපි කටයුතු කරනවා. නීතිය අකුරටම ක‍්‍රියාත්මක වෙන්න ඕනෑ. පතලක යම්කිසි කාලසීමාවකට වැඩ නතර කරනවා නම් අදාළ පතල වටා වැට නවීකරණය වෙන්න ඕනෑ. පතලයක් තිබෙන බවට අනතුරු සංඥා පුවරු ප‍්‍රසිද්ධ කරන්න ඕනෑ. කුඹුරු වගේ ප‍්‍රදේශයක වුණත් සතුන්ටවත් රිංගන්න බැරි වෙන ආකාරයට ආරක්‍ෂිත වැට ඉදිවෙන්න ඕනෑ. මේ නීති උල්ලංගනය කරමින් කැණීම් කරන අයට දැඩි දඬුවම් ක‍්‍රියාත්මක කරනවා. තියෙන සම්පත් විනාශ කරගෙන රට සමෘද්ධිමත් කරලා වැඩක් නෑ. සොබාදහම විසින් දායාද කරලා තියෙන සම්පත්වලින් ප‍්‍රයෝජනය ගන්නා අතරේ මතු පරපුරටත් ඒ සම්පත් සුරක්‍ෂිත කර තැබීම අපේ වගකීම…’’

‘‘මේ පොළොවේ තියෙන මැණික් කැටවලින් 25% ත් තවම මතුකරගෙන නෑ. අපි තවම කෑණිම් කරමින් ඉන්නේ ද්විතීයික නිධිය විතරයි. ප‍්‍රාථමික නිධියට කිට්ටු කරලවත් නෑ. ඒ වගේම දැනටමත් ගෙවුඩ මැණික් විපරීත වෙමින් තිබෙනවා. පොල් කටුවක හැඩයට නිර්මාණය වෙලා තියෙන රත්නපුර ප‍්‍රදේශයට තවමත් කඳු මුදුන්වලින් මිණිකැට පහළට බහිනවා. තව පරම්පරා ගණනාවකට අපේ රටේ මැණික් තියෙනවා. දැන් විය යුත්තේ මැණික් කර්මාන්තය රටට සම්පතක් කිරීමේ වැඩ ආරම්භ කිරීමයි. ප‍්‍රථමයෙන් ඕනෑම ව්‍යාපාරිකයකුට පහසුවෙන් මැණික් කර්මාන්තයට ප‍්‍රවේශ වීමට ඇති බාධක ඉවත් කරන්න ඕනෑ. පරිසර ආරක්‍ෂණ ක‍්‍රම උපායන් ඔස්සේ මැණික් කැණීම් කරගෙන යෑමට අවශ්‍ය බලපත‍්‍ර ඉතාම කඩිනමින් ලබාදීමට පනතේ නීති ලිහිල් කරන්න ඕනෑ. කැණීම් කොට ලබාගන්න මැණික්වලට ඉහළ වටිනාකමක් එකතු කරන ක‍්‍රමවේදයන් භාවිත කරන්න ඕනෑ. මේ වෙනකොටත් ස්වාභාවික තත්ත්වයෙන් මැණික් වෙළෙඳාම නතර කර, මැණික් ගල්වලට ඔප දැමීම් කොට, රත්තරන් මිශ‍්‍ර නිෂ්පාදන ලෙස විකිණීමට පෙළඹවීම් කරගෙන යනවා…’’

‘‘ඒ වගේම ලෝකයේ වටිනාම මැණික් ලැබෙන්නේ අපේ රටේ. ඒත් ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ ජයගෙන තියෙන්නේ තායිලන්තය. ආසියාතික රටවල වගේම යුරෝපීය රටවල ව්‍යාපාරිකයනුත් මැණික් මිලදී ගන්න යන්නේ තායිලන්තයට. ඒත් තයිලන්ත මැණික් වෙළෙඳපොළේ තියෙන්නේ පිටරටවල මැණික්. විශේෂයෙන්ම එම මැණික් වෙළෙඳපොළේ අලෙවි වෙන්නේ අප‍්‍රිකානු රටවලින් වගේම මෙරටින් ගෙන යන මැණික්. තායිලන්තයේ මැණික් තියෙන්නේ 5% ත් අඩු ප‍්‍රමාණයක්.

ඒ මැණික් කැටත් තුන්වැනි ශ්‍රේණියේ මැණික්. තායිලන්තයේ මේ මැණික් වෙළෙඳපොළ අපේ රටට ගෙනඒම තමයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් අපි ඒ අභියෝගය භාරගෙන තියෙනවා. ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළක් මෙරට නිර්මාණය කිරීමේ, මූලික අදියරේ වැඩ මේ මාස කිහිපයේදී අවසාන කරලා තියෙනවා…’’

‘‘ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ නිර්මාණය කිරීමට සුදුසු බිම් කඩක් මේ වෙනකොට රත්නපුර නගරයෙන් හඳුනාගෙන, ඒ භූමිය අත්පත් කරගැනීමට කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ පෞද්ගලික ආයෝජන ව්‍යාපෘතියක් විදිහට තට්ටු විස්සක මැණික් වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව සකස් කරගෙන යනවා. මෙරට බැංකු ශාඛා වගේම ලෝකයේ විවිධ රටවල බැංකු ශාඛා එම වෙළෙඳ සංකීර්ණයේ විවෘත කරනවා.

ලෝකයේ ඕනෑම රටකින් ලැබෙන මැණික්, දියමන්ති රත්නපුරේ ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළේ අලෙවි කිරීමේ වෙළෙඳ කුටි නිර්මාණය කරනවා. මැණික් කෞතුකාගාරයක් ආරම්භ වෙනවා. ආරක්‍ෂිත සේප්පු ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. මැණික් ව්‍යාපාරිකයන්ට නවාතැන් ගැනීමට සුඛෝපභෝගී කාමර සංකීර්ණයක් නිර්මාණය කරනවා. සාප්පු සංකීර්ණයේ ඉහළම මහලේ හෙලිකොප්ටරයක් ගොඩබෑමේ පහසුකම් සම්පූර්ණ කරනවා…’’

‘‘සම්පූර්ණ වෙළෙඳ සංකීර්ණය නිර්මාණය වෙන්නේ බැංකු ණය මත. වෙළෙඳ සංකීර්ණයේ සාප්පු බදු දීමෙන් ලැබෙන ආදායමෙන් බැංකු ණය මුදල පියවාගෙන යනවා. මේ වෙළෙඳ සංකීර්ණය නිර්මාණය වෙන කාලය තුළ කොළඹ රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ අවසාන වෙයි කියලා විශ්වාස කරනවා. ඒ සමඟ කටුනායක ඉඳලා ඉතාම කෙටි කාලයකින් රත්නපුරේ මැණික් වෙළෙඳපොළට ළඟාවෙන්න පුළුවන් වෙනවා. මේ නිර්මාණය වෙමින් තිබෙන පහසුකම් සමඟ ලෝකයේ මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයන් රත්නපුරේ ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළට විශාල වශයෙන් පැමිණෙන බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා.

ඒ වගේම අතිවිශාල විදේශීය සංචාරකයන් පිරිසක් මෙරටට එනවා. රත්නපුරේ අවට තියෙන සංචාරක ආකර්ෂණීය ස්ථාන දියුණු වෙනවා. රත්නපුරේ, ඇහැලියගොඩ, නිවිතිගල, කහවත්ත ආදී ප‍්‍රදේශවල මහ මඟ කෙරෙන මැණික් වෙළෙඳාමට ස්ථිර වෙළෙඳපොළක් නිර්මාණය වෙනවා. ඒ වගේම විවිධ සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත වෙමින් සිටින ප‍්‍රදේශවාසීන්ගේ ආදායම් මට්ටම දියුණු කරගන්න පුළුවන්…’’

එහෙත් මැණික් කර්මාන්තය ජාත්‍යන්තර තලයට දියුණු කිරීමට නම් පතල් කම්කරුවන් ශක්තිමත් වෙන්න ඕනෑ. ඒ නිසා ඔවුන්ගේ ආර්ථිකය, සුබසාධනය නඟාසිටුවීමට වැඩපිළිවෙළ කිහිපයක්ම ක‍්‍රියාත්මක කරනවා. කෙටිකාලීන වැඩපිළිවෙළක් විදිහට සෞඛ්‍ය සායන පවත්වමින් ඔවුන්ට තිබෙන ලෙඩ රෝග හඳුනාගනිමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන වැඩසටහන් කරගෙන යනවා. රක්‍ෂණ ක‍්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. පතල් කම්කරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ක‍්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා.

ඒ වගේම පතල් කම්කරුවන්ට දායකත්ව විශ‍්‍රාම වැටුපක් ලබාදීමට අවධානය යොමු කරලා තියෙනවා. මේ වෙනකොටත් පතල් හා මැණික් කර්මාන්තයේ කම්කරුවන් හඳුනාගනිමින් ඔවුන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. පතල් කර්මාන්තයේ තියෙන ශ‍්‍රම හිඟය, පුහුණු ශිල්පීය ඥානය වර්ධනය කිරීමට අවශ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කරලා තියෙනවා. මැණික් කර්මාන්තයේ පවතින සම්පත් හිඟයට පිළියමක් ලෙස කර්මාන්තයේ නියැළීමට නව තාක්‍ෂණ ක‍්‍රමවේදයන් හඳුන්වා දෙනවා. ඒ වගේම මැණික් කර්මාන්තයට අතිවිශාල බදු සහන ප‍්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මේ වෙනකොටත් බදු කිහිපයක් සංශෝධනය වෙමින් තියෙනවා. තව නොබෝ දිනකින් ඒ බදු සහන ටිකත් ලබාදෙනවා…’’

‘‘මැණික් කර්මාන්තයේ දියුණුවත් සමඟ දේශීය ස්වර්ණාභරණ කර්මාන්තයත් දියුණු වෙන්න ඕනෑ. මේ වෙනකොටත් ලංකාවේ විශාල ස්වර්ණාභරණ වෙළෙඳපොළක් තියෙනවා. දේශීය ගෘහ කර්මාන්තයක් ලෙස ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළෙන හාරපන්දහසක පිරිසක් රට පුරා විසිරී ඉන්නවා. ඒ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමට කිසිදු රජයකින් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළේ නෑ. මේ වෙනකොටත් ගෘහස්ත රත්තරන් කර්මාන්තය නඟාසිටුවීමට අපි කටයුතු කරගෙන යනවා. පසුගිය මාසේ 27 වැනිදා මුළු රටේම විසිරී ඉන්න ගෘහස්ත රත්තරන් කර්මාන්තකරුවන් එකතැනට රැුස් කරලා ඔවුන් ලියාපදිංචි කිරීමක් සිද්ධ කළා.

ඒ වගේම ඔවුන්ගේ ප‍්‍රශ්න හඳුනාගත්තා. ඉදිරි කාලයේදී ඔවුන්ට හැඳුනුම්පතක් ලබාදීලා ඔවුන්ගේ ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදෙනවා. නව තාක්‍ෂණ ක‍්‍රම හඳුන්වාදෙමින් පුහුණු පාඨමාලා ආරම්භ කරනවා. බැංකු ණය පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් රත්තරන් ආනයනය කර බදු අය කිරීමකින් තොරව හඳුනාගත් දේශීය ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට රත්තරන් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපි යෝජනා කරලා තියෙනවා…’’ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ රත්තරන් කතාව අවසානය.

එවැනි කතාවක් අසන්න ලැබීම ද වාසනාවකි. කරවල හොඳි සමඟ රට හාලේ බත් කා බොරදිය බී දහඩිය වගුරුවන පතල් කම්කරුවන්ට සතුටු කඳුළු හැළෙන කතාවකි. මැණික් කර්මාන්තයේ නියැළී සිටින සියලූදෙනාට සතුට දනවන කතාවකි. දේශීය ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට ලබාදෙන සහන පැකේජය කන වැකෙන විට අපේ රට රනින් බැබළෙන හැටි මගේ මනසේ සිත්තම් මැවිණි.

දැන් සිදු විය යුත්තේ මැණික් කර්මාන්තය සහ ස්වර්ණාභරණ කර්මාන්තය නඟාසිටුවීම වචනවලට සීමා නොකොට අදාළ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමය. එමෙන්ම පරිසර හානිය අවම කරගෙන, මතු පරපුරට ද මේ කර්මාන්තයන් ආරක්‍ෂා වන ආකාරයට එම සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන්නේ නම් ඉතාම යහපත් බව ද අපගේ අදහසය…

තරංග රත්නවීර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button