පළකල දිනය : Sun, Mar 8th, 2020

බිම් අඟලක අයිතිය නැතුව කෝටිපතියෙක් වුණු පලතුරු ගොවියා

අඹ සහ පේර වගාවෙන් පමණක් රුපියල් කෝටි 17ක මුදලක් උපයා ගත් අක්කර 60ක එළවළු, පලතුරු වගා කළ හැට දෙනකුට රැකියා ලබා දී ඇති දහවැනි වසරට පමණක් අධ්‍යාපන ලැබූ අපූරු ගොවියකු දඹුල්ල වෑවල වැව ප්‍රදේශයේ දී අපට හමුවිය.

දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඩබ්ලිව්.ජී. සෝමරත්න බණ්ඩා ගොවි මහතා තවමත් 49 හැවිරිදි වියේ පසුවන අගය කළ යුතු ගොවි මහතෙකි.

ප්‍රධාන වගාවන් ලෙස අඹ සහ පේරවලට අමතරව මෙම ගොවි මහතා එළවළු වගා කරන බව අප සමඟ පැවැසීය.

මේ දිනවල සෝමරත්න මහතාගේ අඹ අස්වැන්නත් පේර අස්වැන්නත් ඉතා සරුවට පවතින අතර එළවළු අස්වනු නෙළීම, බිම් සැකසීම, පැළ සිටුවීම ආදී විවිධ තලයේ වගාබිම් ද ඔහු සතුව පවතී. සෑම එළවළු වර්ගයක්ම ඔහු වගා කරයි. ඔහුගේ වගාබිම්වලට අප යන විටත් සෝමරත්න මහතා අඹ වගාවේ අස්වැන්න සකසමින් සිටියේය. පේර වගාවේද අස්වනු කම්කරුවෝ නෙළමින් සිටියහ. ඔහු සිය පේර වගාවෙන් පමණක් මේ වනවිට රුපියල් කෝටි 10ක් අඹ වගාවෙන් රුපියල් කෝටි 07ක ආදායම ලබා අවසන් බව සතුටින් පැවැසීය.

දහවැනි වසරට පමණක් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඔහු ගොවිතැන ආරම්භ කොට තිබේ. මේ වනවිට ඔහු කෝටිපතියකු වී හමාරය. අඹ වගාවෙන් සහ පේර වගාවෙන් පමණක් කෝටි දාහතක පමණ ආදායමක් තමා ලැබූ බව නිරහංකාරව සෝමරත්න මහතා පැවැසීය.

දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහුගේ එක් දරුවෙක් මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. අනෙක් පුතා උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බව හෙතෙම පැවැසීය. ආදරණීය බිරිය නිවෙස ආසන්නයේ වෙළෙඳසලක් පවත්වාගෙන යමින් තමන්ට සහයෝගය දෙන බව ඔහු කීවේය.

අක්කර පනහක හැටක දෙකන්නය වගාකරන, පුද්ගලයන් හැට දෙනකුට පමණ රැකියා දී ඇති මෙම අපූරු ගොවි මහතා කිසිදු කළමනාකාරවරයකු හෝ තමාගේ ගනුදෙනු ලියකියවිලි සඳහා කිසිදු සේවකයකු යොදාගෙන නැති බවත් ඒ සියල්ල කළමනාකරණය කිරීම තමා විසින් සිදු කරන බවත් පැවැසීය. මෙම අපූරු ගොවි මහතා කියා සිටියේ උනන්දුව සහ කැපවීම ඇත්නම් ඕනෑම ගොවියකුට දියුණු වීමට හැකි බවයි.

තමා හම්බ කරන මුදල් ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන සහ දුප්පත් අයට නිවාස තනා දීම, සේවකයන් 60 දෙනාගේ පවුල් නඩත්තු කිරීම ආදී විවිධ සමාජ ක්‍රියාකාරකම්වලටද යෙදවීමට අමතක නොකරන බව සෝමරත්න මහතා අප සමඟ පැවැසීය.

වෑවලවැව ප්‍රදේශයේ බොහෝ දෙනකු මෙම ගොවි මහතා සමඟ දැඩි සමීප සබඳකම් පවත්වන්නේ තම දරු පවුල් ජීවත් කරවන හාම්පුතා නිසාවෙනි. එහෙත් සෝමරත්න ගොවි මහතා හාම්පුතකු ලෙස කටයුතු නොකරයි. සාමාන්‍යයෙන් සියලු දෙනාම අයියා, මල්ලී, මාමා යන නම්වලින් ඔහු විසින් ආමන්ත්‍රණය කරනු ලැබීමද විශේෂත්වයකි.

“මමයි අපේ බිරියයි, පුතාලා දෙන්නයි තමයි ඉන්නේ. මගේ බිරිය ගමේම තොග සහ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යනවා. පුතාලා දෙන්නා ඉගෙන ගන්නවා. එක පුතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ ඉන්නේ. අනෙක් පුතා ලබන අගෝස්තුවේ විභාග ලියනවා. එයා කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති යනවා.”

“දැනට මම පලතුරුවලින් කටු අනෝදා, අඹ, පේර තමයි ප්‍රධාන වශයෙන් වගා කරලා තියෙන්නේ. ඊට අමතරව දෙළුම් ටිකකුත් දාලා තියෙනවා. තක්කාලි, මාළු මිරිස්, බීලූනු, වට්ටක්කා, කරවිල, අමුමිරිස්, පතෝල, වම්බටු, මෑ කරල් ආදී එළවළු වර්ගත් වගාකරලා තියෙනවා. ඔක්කොම අක්කර පනහක් හැටක් විතර මගේ වගා භූමියේ තියෙනවා. මටම කියලා ඉඩම් නෙවෙයි අඳේට ගත්තුවා, කුලියට ගත්තුවා තමයි වැඩ කරන්නේ. අපිටම කියලා තියෙන ඉඩම්වලට තාම ඔප්පුවක්වත් නෑ. අපි පරම්පරා ගාණක් තිස්සේ මේ වගේ වැඩ කරලා අඹ ගස් හදලා, පේර ගස් හදලා තියෙනවා. හැබැයි මේ ඉඩම් අපට අහිමි වෙයි කියලත් බය හිතෙනවා. මොකද තාම ලියවිල්ලක් නැති හින්දා.”

“මේ වගාවලින් මගේ ප්‍රධානම වගාව අඹ. දෙක තමයි පේර. පේර අක්කර 30ක් විතර වගා කළා. අපේ පලතුරු ගෙනියන්න කොම්පැනිවලින් එනවා. අනෙක් ඒවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තමයි ගෙනියන්නේ.”

“මගේ ළඟ හැමදාම පනස් දෙනෙක් වැඩ කරනවා. හැමදාම එක එක හේතු නිසා දහදෙනෙක් නිවාඩු ගන්නවා. 60ක් 65ක් විතර රස්සාව කරනවා.”

“මේ අයට වැටුප් ලබාදෙන ටික අපේ නෝනා කරනවා. කඩේ ඉඳගෙන සියලු කළමනාකරණය කරන්නේ මම. තේ බොන වෙලාවට ආහාරපාන දෙන වෙලාවට වගාබිම්වලට අවශ්‍ය තෙල් බෙහෙත්, කෘමිනාශක ගෙනත් දෙන එක ඒ සියලු දෙනාටම අවශ්‍ය පහසුකම් ලබා දීම වගේම සෑම වගාවක් පිළිබඳවම සොයා බලන එක මං පෞද්ගලිකව කරනවා. ගොඩක් අවිවේකයි. පාන්දර අවදි වුණහම නිදාගන්න යන්නේ රාත්‍රියේ ‍ෙදාළහට විතර.”

“අපි පුංචි කාලේ තාත්තලා ගොවිතැන් කළේ බඩඉරිඟු, මුංඇට, සෝයා බෝංචි, කුරක්කන් වගේ ඒවා තමයි. මම 10 වසරට විතර ඉස්කෝලේ ගිහිල්ලා නැවතිලා තාත්තලත් එක්ක ගොවිතැන ආරම්භ කළා. එදා ඉඳලා තමයි දැන් තවමත් ගොවිතැන් කරන්නේ.”

“මේ වගා කරගෙන යනකොට කෘමි උවදුර තමයි විශාල වශයෙන් තියෙන්නේ. ඒ වගේම බීජ සහ තෙල් බෙහෙත්වලට යන වියදම හරිම අධිකයි. වෙළෙඳපොළේ ප්‍රශ්න සහ ගැටලු නැතිවාම නෙවෙයි. ඇතැම් වෙලාවට වෙළෙඳපොළ හැසිරෙන විදිහ හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට අපට හරි අමාරුයි. එළවළු ටික කොටුවේ තියානම විකුණන්න තියෙනවා නම් හොඳයි. මොකද ප්‍රවාහනය කරන්න ගියාම විශාල කරදරයක්. එළවළු ටික අලෙවි වෙනකම් වෙළෙඳපොළේ රැඳී ඉන්න ඕන. එතකොට එළවළු වගාවට කොටුවල තියෙන වැඩ කරගන්න බැරි වෙනවා. අපි වගේ කෙනෙක් වෙළෙඳපොළේ රැඳිලා ඉන්න එක පාඩුයි. වෙනත් කෙනෙක් යවන්නත් බෑ. මොකද වගාවේ අන්තිම බලාපොරොත්තුව තමයි වෙළෙඳපොළෙන් ලැබෙන මුදල.”

අපි රටට ආහාර නිෂ්පාදනය කළාට අඩුම තරමේ අපේ පාරක මේ එළවළු පලතුරු ටික ප්‍රවාහනය කරගන්න බෑ. පාරවල් ඔක්කොම කැඩිලා. නිෂ්පාදනය කරන එළවළු, පලතුරු වාහනවලටම තැළිලා, පොඩිවෙලා යනවා ප්‍රවාහනය කරනකොට.”

“මම වෙනත් රස්සාවක් කරන්න කැමැති වුණේ නැහැ. මොකද මට අධ්‍යාපනයක් තිබුණේ නැති නිසා. දහවැනි පන්තියට ඉස්කෝලේ ගිහිල්ලා රස්සා දෙන්නේ නෑ කියලා තාත්තා කියලා තිබුණා.”

“අද මට මගේ මහන්සියෙන් දියුණුවුණු නිසා සතුටුයි. මට අද බස් එකක් තියෙනවා. ලොරියක් තියෙනවා. වෑන් එකක් තියෙනවා. අවුට් ලෑන්ඩ් එකක් තියෙනවා. ගෙදර පාවිච්චියට ට්‍රැක්ටර් දෙකක් තියෙනවා. ගේ‍ෙදාර හදාගෙන දරුවන්ට හොඳට උගන්නලා තිබෙනවා.”

ගොවිතැන කියන එක හරියට වෙලාවට කලාවට උනන්දුවකින් කරන්න ඕන. එහෙම කළොත් ගොවිතැනින් පාඩු වෙන්නේ නෑ. කෙටි කාලීන බෝග යටතේම දිගුකාලීන බෝග ක්‍රමවේදයක් හදාගත්තම හරියට අවුරුදු හතක් අටක් විතර යනකොට තමන්ට ආදායම් දෙක තුනක් එනවා. ඒ නිසා තමයි අවුරුදු හතක් විතර යනකොට පේර වගාවෙන් මට කෝටි දහයක් විතර ගන්න පුළුවන් වුණේ. අඹ වගාවෙන් රුපියල් කෝටි 07කට වැඩිය ගන්න පුළුවන් වුණේ. තවමත් ඒ ආදායම් ස්ථීර ආදායම් හැටියට ලැබෙනවා. මේක හරියට කළමනාකරණය කර ගත්තොත් ගොවිතැනින් පාඩු වෙන්නේ නැහැ.”

“මම අපේ පැත්තේ නිවාස නැති අහිංසක පවුල්වලට ගෙවල් කිහිපයකුත් හදලා දුන්නා. ගමේ වෙහෙර විහාර හදන්න, පාරවල් හදන්න පුළුවන් අයුරින් දායකත්වය ලබා දෙනවා.”

“අදත් මගේ බිරිය අනුරාධපුරයේ ගිහිල්ලා චෛත්‍යයක් හදන්න කඩේ වහලා. අපි පෙර ආත්මේ කරපු පින් නිසා වෙන්න ඇති මේ ආත්මේ ගොවිතැනින් හරි සතුටින් ඉන්නේ. ඒ නිසා මේ ආත්මේ අපි පින්දහම් කරනවා ලබන ආත්මෙත් මේ වගේ සතුටින් ඉන්න. මගේ බිරිය ජේ.එම්. බණ්ඩාර මැණිකේ. එයා උදේ කඩේට ගියාම හවස 06 විතර වෙනකම් කඩේ ඉන්නවා. මම කඩේට ආවහම එයා ගෙදර යනවා. මම කඩේ වහලා ගෙදර යන්නේ රෑ දහයට. එයාගෙන් ගොඩක් උදවු මට ලැබෙනවා.”

“අපේ ළමයි දෙන්නා නම් කියන්නේ ගොවිතැන් කරන්න බැහැ. අව්වේ ඉන්න බැහැ කියලා. ඒ වුණත් එයාලට තේරුම් කරලා දෙනවා. මේ හදලා තියෙන ස්ථීර ආදායම පරිපාලනය කරගෙන නව තාක්ෂණය මේවට යොදාගෙන අලුත් ගොවිතැන්බත් කටයුතු ආරම්භ කරන්න කියලා මම විශ්‍රාම ගන්නවා ඒ අයට මේවා භාරදීලා. ඒක තමයි අපේ එකම අරමුණ වෙලා තියෙන්නේ.”

දඹුල්ල – කේ.කේ. ආරියදාස
Source – මව්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button