පළකල දිනය : Fri, Jul 10th, 2020

තම්බපන්නියේ වවන ලෝකයේ රසම කජු

ගමන දුෂ්කරය. එහෙත් ගමනේ අවසානයේ සරුසාර කජු වත්ත දුටු විට වෙහෙසකර ගමනේ විඩාව දුරු විය. කහ පැහැයෙන්, රතු පැහැයෙන් දිලිසෙන කජු පුහුලන් වෙසක් දවසට දැල්වෙන විදුලි පහන් වැනිය.
කජු ගස්වල කොළ ගානට කජු ගෙඩි එල්ලූණු පුහුලන්ය. ඈත, මෑත දිස් වෙන සෑම කජු ගහකම එකම වාගේ ගෙඩිය. දෙපා එරෙන තඹ පැහැති වැලි පොළවේ ඇවිද යමින් පල පිරුණු කජු වත්තේ අසිරිය සිත් පුරා අපි විඳිමින් සිටියෙමු.

‘‘සර්… සපත්තු නොදා වැල්ලෙ ඇවිදින එක අවදානම්. මේ වැලි යට පොළොංගු ඉන්න පුළුවන්…’’ දෙපා වැහෙන්න බූට් සපත්තු පැළඳගෙන අප සමඟ ඇවිද ගිය වැඩ බිම් පරීක්‍ෂක රත්නායකගේ කතාවට අපේ දෙපා නතර විණි.

‘‘පොළොංඟු වැහි වැහැලා. සීතලට කජු අතුවල වෙළිලා ඉන්නවා. උන්ගෙන් හානියක් නෑ. ඒත් කකුලට පෑගුණොත් බයයි. පොළඟා මහ නරක සතා…’’ රත්නායකගේ ඒ කතාවත් සමඟ ‘අවදානමට පෙර සූදානම යහපත්’ යැයි සිතූ අපි ජීප් රථයකට නැග්ගෙමු.

දැන් අප මේ ගමන් කිරීමට සූදානම් වෙමින් සිටින්නේ මන්නාරම කොණ්ඩච්චි කජු වත්තේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන කජු වගාව තුළය. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කජු වගා කර ඇති භූමිය අක්කර දහසකි. සම්පූර්ණ කජු වත්ත අක්කර හයදහස් පන්සියයකට ආසන්නය. උතුරින් කල්ලාරු ඔයත්, දකුණෙන් සින්නවිල්ලූවත්, බටහිරින් කොණ්ඩච්චි ප‍්‍රදේශයටත් මායිම්ව පිහිටි මේ කජු වත්තේ පූර්ණ අයිතිය පැවරී ඇත්තේ ශ‍්‍රී ලංකා කජු සංස්ථාවටය. එමෙන්ම මේ කජු වගාව ආරම්භ වී ඇත්තේ 1963 වර්ෂයේදීය. එවකට ඉඩම් අමාත්‍යවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා මන්නාරම ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකින් පසු විල්පත්තු රක්‍ෂිතයට යාබද වැලි සහිත කොණ්ඩච්චි ප‍්‍රදේශය කජු වගාවට සුදුසු යැයි පවසමින් කජු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් අක්කර හයදහස් හාරසිය හැටතුනක් කජු සංස්ථාවට පවරා දී ඇත.

කජු සංස්ථාව විසින් එම භූමි භාගයේ කජු ව්‍යාපෘතියක් ආරම්භ කර වසරින්, වසර ප‍්‍රගතියක් පෙන්නුම් කරමින් විශාල කජු අස්වැන්නක් නෙළා ගෙන ඇති බවද වාර්තා වේ. ඒ තුළින් කජු සංස්ථාවට විශාල ආදායමක් උත්පාදනය වී ඇති බවද සැබෑය. එමෙන්ම අසල්වැසි ගම්මානවල දිළිඳු මිනිසුන්ට රැකියා අවස්ථා උත්පාදනය කර දෙමින් ප‍්‍රදේශයේ රැකියා ගැටලූවට ද සාර්ථක විසඳුමක් ලබා දී ඇති බව ද වාර්තා වේ. එහෙත් රටේ කරුමයට කොටි ත‍්‍රස්තවාදය හිස ඔසවමින්, උතුර, නැෙඟනහිර භූමිය පුරා යුද්ධය වැපිරී යෑමත් සමඟ කජු වත්තේ භාරකාර මණ්ඩලය වගා භූමියෙන් ඉවත් විය. කොණ්ඩච්චි කජු වත්ත නැවත වල් වැදිණි.

වසර තිහකට ආසන්න කාලයක් පැවති ම්ලේච්ඡු කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ කර දැමූ පසු එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොණ්ඩච්චි කජු වත්ත නැවත අස්වැද්දීම සඳහා අක්කර දහසක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට පවරා දෙනු ලැබිණි. එවකට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරය දැරූ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කපිතාන් නානායක්කාරගේ මෙහෙයවීම යටතේ කජු වත්ත අස්වැද්දීමේ සංග‍්‍රාමය ආරම්භ විය. සිවිල් ආරක්‍ෂක නිලධාරීන් පනස්දෙනකුගෙන් යුත් කණ්ඩායම මෙහෙයවා ඇත්තේ යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරිවරයකු වූ ජේ. එම්. පී. රත්නායකය. විශ‍්‍රාමික යුද හමුදා නිලධාරියකු ලෙස අදටත් රත්නායක කොණ්ඩච්චි කජු වත්තේ වැඩ බිම් පරීක්‍ෂකවරයෙක් ලෙස රාජකාරි කරන්නේය. හේ දැන් අප අසල සිටින්නේය. කොණ්ඩච්චි කජු වත්තේ පුරාවෘතයක් බදු රත්නායක අපේ කතාවට දැන් නායකත්වය ලබාදෙන්නේය.

‘‘යුද්දෙ කාලේ කජු වත්ත එල්.ටී.ටී.ඊ. මර්මස්ථානයක්. කොටි කඳවුරකුත් තිබිලා තියෙනවා. අපි මේ වත්තට එනකොට මහ විශාල කැලයක්. අලි, කොටි, වලස්සු විෂකුරු සර්ප විමානයක්. උදැල්ලක් ගහන්න බෑ, බිම් බෝම්බ. පැති බෝම්බ, ජොනි බට්ටෝ වපුරලා තිබුණේ. මමයි, අපේ කොල්ලොයි නොසෑහෙන්න දුක් වින්දා. ඉන්න තැනක් තිබුණේ නෑ. බඩ පිරෙන්න කන්න කෑම තිබුණේ නෑ. මුලින්ම අපිට කන්න තිබුණේ නෙසන් පැකට්. ඒ කාලා බොන්න වතුර නෑ. දවසක් අපේ කොල්ලෙක් මළපහ කරන්න කැලේට ගිහින් වාඩි වෙලා ඉන්නකොට කොටියෙක් පැනලා පස්ස පැත්ත හපලා තිබුණා. ඒ කොල්ලගේ කෑගැහිල්ලට අනිත් නිලධාරියා කොටියට වෙඩි තියලා තමයි බේරගෙන තිබුණේ. කොටියා කාපු කොල්ලත් තාම මේ වත්තෙ වැඩ. ඒ විදිහට දුක්විඳලා මහා කැලය සුද්ද කරලා, කජු සංස්ථාවෙන් ඇට අරගෙන තවාන් දාලා, මුල්ම කජු පැළය හිටෙව්වේ 2010 අවුරුද්දේ දෙසැම්බර් මාසෙ දවසක. මුල්ම කජු පැළය හිටෙව්වේ එවකට හිටිය අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහත්තයා. එදා ඒ අවස්ථාව උත්සවශී‍්‍රයෙන් සැමරුවා…’’

‘‘කජු පැළ හිටවන්න වළවල් කපන්න ජේ.සී.බී යන්ත‍්‍රයක් දුන්නා. ඒකෙන් වළවල් හැටදෙකයි කපන්න පුළුවන් වුණේ. ජේ.සී.බී. එක කැඩුණා. ඊට පස්සෙ අපේ කොල්ලො තමයි සේරම වළවල් කැපුවේ. අක්කර දාහක අඩි දෙකයි, දෙකේ වළවල් කපලා පැළ තිස්හයදහසක් හිටෙව්වා. පුංචි කාලේ කජු පැළවලට වතුර දැම්මේ රජ කාලෙ සිට පැවත එන බින්දු ජල සම්පාදන ක‍්‍රමයට. කළගෙඩිවලින් පැළවලට වතුර වැටෙන්නෙ බින්දුව, බින්දුව. කියනකොටත් සතුටුයි… බලාගෙන හිටිද්දී පැළ හොඳට දලූ ලා වැඩුණා. පැළ හිටවලා පොඩි නිදහසක් ලැබුණට පස්සෙ අපේ කොල්ලො වත්ත ඇතුළේ සරුසාර එළවළු කොරටුවක් හැදුවා. සෑම එළවළුවක්ම ඒ කොටුවේ තිබුණා. අල, බතල, පළා වර්ග වගා කළා…’’

‘‘දණ්ඩක් විසි කළත් මේ පොළොවේ පැළ වෙනවා. මේක පුදුම පොළොවක්. කොච්චර යටට කැපුවත් තඹ පාට වැලි සහිත පස. ගල් කැටයක් නෑ. අගෝස්තු මාසෙ වෙනකොට මේ ගස් කොළන් පවා තඹ පාට වෙනවා. අපේ රටේ තියෙන වෙනස්ම පරිසර පද්ධතියක්. වගාවටම උපන් බිමක්. මේ වත්තේ කෙළවරේ තමයි විජය රජ්ජුරුවෝ ගොඩබැහැපු තම්බපන්නිය තොටුපළ තියෙන්නෙ. මේ ප‍්‍රදේශය සරුසාර භූමියක් වගේම ඓතිහාසික ප‍්‍රදේශයක්. මේ වත්ත ඇතුළේ ඉපැරැුණි පන්සලක් තියෙනවා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ඒ පන්සල කඩා බිඳලා බුදුපිළිම වහන්සේගේ හිසටත් වෙඩි තියලා. මේ පාරේ තමයි ඒ පන්සල තියෙන්නෙ. අපි එතැනට යමු…’’

වලගොඩැලි සහිත වැලි පාර දිගේ ගමන් කළ ජීප් රථය පන්සල වැව අසල වැව් පිටියට ඇතුළු විය. මහ කැලෑවෙන් වට වූ වැව් පිටිය විශාලය. සිඳී ගිය වැවේ ඉතිරි වූ දියේ අපේ රටට ආගන්තුක කුරුළු රංචුවක් තිත්ත පැටව් සොයමින් සිටිති. මෙතරම් සුන්දර තණ පිටියක වාහනයෙන් ගමන් කිරීම දෙපාවලට කරන අසාධාරණයකි. එහෙයින් ජීප් රථයෙන් බැස ගත් අපි වැව්පිටිය මැදින් ඉහත්තෑවේ පිහිටි පන්සල අසලට ඇවිද ගියෙමු. කුඩා ගොඩනැඟිලි දෙකක් කැඞී බිඳී නටබුන් වී ඇති අයුරු ඈතටම දිස් විය. තණපිටිය මැදින් ගොස් පන්සල් භූමියට පය තැබූ සැණින් දැන්වීම් පුවරුවක් මගේ ඇස ගැටිණි. ‘මෙම විහාරය ඉන්දියානු ජාතික ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විශේෂඥ ආචාර්ය පී. ආර්. ධර්මාටිකාර් මහතා විසින් එතුමාගේ දෙමාපියන් සිහිවීම පිණිස කරවන ලදී…’ ඒ වචන ටික මිමුණූ මගේ සිත ප‍්‍රීතියෙන් පිරිණි. මහා කැලෑවේ එම විහාරස්ථානය සාදවා ඇත්තේ විජාතිකයෙකි. අන්‍ය ආගමිකයෙකි. එහෙත් ඊට යාබද කුඩා බුදු කුටියේ දොරගුළු විවෘත කළ විට සිත සැලිණි. මෙවැනි පළිගැනීම් නම් දෑසින් දැකීම ද පාපයකි. බුදුපිළිම වහන්සේගේ සිරසට වෙඩි තබා තුවාල කර ඇත.

‘‘මේ බුදුපිළිම වහන්සේට වෙඩි තියපු කොටියට යහතින් යන්න බැරි වුණා. සතුන්ට ඇට වූ මරඋගුලකට පැටලිලා ඌ මැරිලා. ඒ වගේම මේ කැලේදී කොටි ගහලා අපේ හමුදාවත් ගොඩක් මැරිලා තියෙනවා…’’

‘‘මහ කැලෑව සුද්ද කරලා කොණ්ඩච්චි කජු වත්ත අස්වැද්දුවට හා හා පුරා කියා අස්වැන්න නෙළන්න බැරි වුණා නේද…’’ අපේ මාතෘකාව වෙනතකට හැරුණු නිසා නැවත මම රත්නායකට පැනයක් ඉදිරිපත් කළෙමු.

‘‘සහතික ඇත්ත මහත්තයා. දහඩිය වගුරලා දුක් මහන්සියෙන් මේ කජුවත්ත අස්වැද්දුවට අස්වැන්න නෙළන්න අපිට බැරි වුණා. ආණ්ඩු පෙරළියත් එක්ක අපි ගෙවල්වලට ගියා. අස්වැන්න නෙළුවේ වෙනත් කණ්ඩායමක්. ඒත් කජු ගස්වලට නියම සාත්තුවක් ලැබිලා තිබුණේ නෑ. නියම වෙලාවට පොහොර ටික වැටිලා තිබුණේ නෑ. කජු වත්ත වටේට දාලා තිබුණ මුර කුටි හැත්තෑවම ඉවත් කරලා ඒ ස්ථානවල හිටිය නිලධාරීන්ව ප‍්‍රධාන කඳවුරට ගත්තා. මුර කුටි ඉවත් කිරීමත් එක්ක අලි වත්තට ඇතුළු වෙලා කජු ගස් විනාශ කරන්න පටන් ගත්තා. දහවල් කාලයටත් අලි වත්ත අරක් ගෙන තිබුණා. කජු ගස් පන්දහස් ගණනක් අලි කාලා විනාශකර දාලා තිබුණා. කජුවලට ආවේණික සෙම්බෝරා පණුවෝ බෝ වෙලා තවත් ගස් තුන් හාරදාහක් විනාශ වෙලා තිබුණා. ඒ සත්තු බෝ වෙන්නෙ නිසියාකාර නඩත්තු කටයුතු සිදු නොවෙනකොට. ඒ හේතුව නිසා වසරින්, වසර අස්වැන්න අඩු වෙලා තිබුණා…’’

‘‘ආණ්ඩු පෙරළියෙන් පසු රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහත්තයා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් විදිහට පත් වෙලා ආවට පස්සෙ නැවත කොණ්ඩච්චි කජු වත්තේ සංවර්ධන කටයුතු ආරම්භ කළා. මුලින්ම සම්පූර්ණ කජු වත්තම සුද්ධ පවිත‍්‍ර කරලා සෙම්බෝරා පණුවෝ විනාශ කළා. කජු වත්ත වටේට ආරක්‍ෂක පැල් හැටදෙකක් ආරම්භ කළා. අදටත් උදේට අපේ කණ්ඩායම් දෙකක් ගස් පරීක්‍ෂා කරනවා. තවත් කණ්ඩායම් දෙකක් ට‍්‍රැක්ටර් දෙකකින් රාත‍්‍රිය පුරා සංචාරයේ යෙදනවා. ඒ ආරක්‍ෂක වැඩපිළිවෙළ නිසා දැන් අලි වත්තට ඇතුළු වෙන්නෙ නෑ. ඒත් මෙවර ලංකාව පුරා කජු වතුවලට හැදුණු මල් පිච්චීමේ රෝගය අපේ වත්තටත් බෝ වුණා. ඒ රෝගයත් පාලනය කරගෙන නියම වෙලාවට පොහොර දාලා කෘමි නාශක යොදලා නඩත්තු කටයුතු කරගෙන ගිය නිසා ඉතිහාසයේ කවරදාකවත් නැති විදිහේ අස්වැන්නක් මෙවර අපිට ලැබුණා. තවම අස්වැන්න ලැබෙමින් පවතිනවා. දැනට කජු කිලෝ එක්ලක්‍ෂ හාරදාහකට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කරලා තියෙනවා. ඒ කජු තොගය ඉදිරියට තවත් වැඩි වෙනවා…’’

රත්නායකගේ උස් හඬ ජීප් රථය තුළ රැව්පිළිරැුව් දෙන විට, මගේ දෙනෙත් රිය කවුළුවෙන් ඈතට ගොස් රතු පැහැයෙන් දිළෙන කජු පුහුලන් අතර නතර විණි. වැඩි උසක් නැති කජු ගස් සරුවට අතු විහිදී තිබෙන අයුරු පෙනේ. වැටෙන කජු ගෙඩි ඇහිඳ ගැනීමට පහසු වන සේ ඒ ගස් යට තණකොළ ගහක් නැති වෙන්න එළි කර ඇති අයුරු ද පෙනේ. කජු වත්ත පිළිවෙළට තබාගෙන වගාව සරු කරගැනීමට සිවිල් ආරක්‍ෂක නිලධාරීන් දැඩි වෙහෙසක් දරන බව ද විවිධ කාර්යයන්වල නිරත වී සිටින කණ්ඩායම් දකින විට අපට වැටහිණි.

‘‘මේ තමයි එක මුර කුටියක්. හතළිහේ පැළ…’’ රත්නායක අපට ටකරන් මඩුවක් පෙන්නුවේය. පුංචි ඇඳක්, ඊට මද දුරින් ලිපක් සහ එතැනම මැස්ස උඩ වළං තුන හතරක් පෙනේ. මොහොතකට අපි පැළ ඉදිරිපිට කෙටි බංකුවට බර තැබුවෙමු. එම ආරක්‍ෂක කුටියේ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු සේවය කරති. එසේ කජු වත්ත වටා තියෙන ආරක්‍ෂක කුටි හැටදෙක තුළ එකසිය අසූ හයදෙනකු සේවය කරති. එමෙන්ම කඳවුර තුළ රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් සංඛ්‍යාව හැටදෙනෙකි. මේ වන විට කජුවත්ත සිවිල් ආරක්‍ෂක කඳවුරේ ව්‍යාපෘති භාර අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සී. අයි. බණ්ඩාරය.

‘‘පහුගිය රජය කාලෙ අපිට දුන්නු කෑම වේලත් නැති කළා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ප‍්‍රධාන කඳවුරේ සේවය කරන අයට තුන්වේලම නොමිලේ කන්න දෙනවා. මුර කුටිවල සේවය කරන අයට රුපියල් තුන්සිය පනහක මුදලක් දෙනවා. ඒ නිලධාරීන් අවශ්‍ය වියළි ආහාර ගෙනත් තියාගෙන උයා ගන්නවා. දැන් අපේ ළමයි වැඩ කරන්නෙත් හිතේ සතුටින්. දවල්ට වත්තේ වැඩ කරලා, ?ට වත්ත මුර කරනවා. කජු ඇටයක තරම් වංචාවක් සිද්ධ වෙන්නෙ නෑ. අපේ ළමයි ආසාවට කජු ගෙඩියක් පුච්චගෙන කන්නෙ නෑ. එහෙම කන්න ගත්තොත් අපිට මේ වැඬේ කරගෙන යන්න බැරි වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නෙ ලෙලි විතරයි. ඒ නිසා කඳවුර තුළ හොඳ විනයක් පවත්වාගෙන යනවා. කෙටි කාලයකින් ඉතිහාසයේ වැඩිම කජු අස්වැන්න ලබාගන්න අපට පුළුවන් වුණේ අපේ කොල්ලො විනයගරුකව එකා මෙන්ම කැපවීමෙන් සේවය කරපු නිසයි. ඒ වගේම මේ වත්තේ දෙමුහුන් කජු ගස් නෑ. ඒ නිසා අපේ කජු නියම දේශීය කජු…’’ කොණ්ඩච්චි කජු වත්තේ ඉතිහාසයත්, වර්තමානයත් ගැන හිටපු යුද හමුදා බලලත් නිලධාරී රත්නායක පැහැදිළි කරන විට එදා එම කජු වත්තේ ආරම්භක කජු පැළය සිටුවූ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාව අපේ කතාවට සම්බන්ධ කරගැනීමට මට සිතිණි. මේ සිවිල් ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ජෙනරාල් කියන කතාවය.

‘‘මේ කජු වත්තට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒත් යුද්ධයට මැදිවෙලා මේ වත්තේ එකදු කජු ගහක්වත් ඉතිරි වුණේ නෑ. මේ වත්තේ නැවත කජු වගාව ආරම්භ කළේ අපි. මම තමයි මුල් කජු පැළය හිටෙව්වේ. ඒත් අපිට වගා කරන්න පුළුවන් වුණේ අක්කර දාහක් විතරයි. ඒ අක්කර දාහෙන් තමයි ඓතිහාසික අස්වැන්නක් ලබාගෙන කෝටි ගාණක ආදායමක් රජයට ලබා දුන්නේ. මේ කජු වත්තට අයත් භූමිය තවත් අක්කර පනස්දහස් ගාණක් තියෙනවා. ඒ භූමියත් දෙනවා නම් අපි කජු වගා කරන්න ලෑස්තියි. මේ පරිසරයත් අපිට ආදරෙයි. නැවත අපි ඇවිත් පළමු වර්ෂයේදීම ඓතිහාසික කජු අස්වැන්නක් ලබා දුන්නේ ඒ නිසයි…’’

දරුවකුට දෙමවුපියන් තරම් ආදරය කරන කෙනෙක් තවත් මිහිපිට නැත. දහඩිය වගුරුවමින්, ජීවිත අවදානමත් තුරුලූ කරගෙන කොණ්ඩච්චි කජු වත්ත දැඩි කළ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට එම වත්ත දරුවකු හා සමානය. දෙමවුපියන්ගෙන් අතහැරී කාලයක් අයාලේ ගිය දරුවා නැවත මවුපිය තුරුලට පැමිණ තිබේ. දැන් ඒ දරුවා තරුණය. පල දරන වයසය. ආදරයෙන් තුරුලූ කරගත් මවුපියන් තම දරුවාට නියම වේලාවට කෑම, බීම ලබාදී හොඳින් රැුක බලා ගත්හ. වැඩි කාලයක් අයාලේ නොගිය නිසා යහපත් මාර්ගයට ගැනීමට ද අසීරු නොවිණි. මව්පිය තුරුලට පැමිණි පළමු අවස්ථාවේදීම කොණ්ඩච්චි කජු වත්ත ඉතිහාසයේ විශාලතම කජු අස්වැන්න ලබාදී ඇත්තේ දෙමවුපියන්ට කරන කෘතගුණ සැලකීමක් ලෙස බව නොකිවමනාය…

තරංග රත්නවීර
Source – දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button